
මියන්මාරයේ හමුදා පාලනය විසින් හිටපු රාජ්‍ය නායිකා අවුන් සාන් සුචී මහත්මිය බන්ධනාගාරයෙන් නිවාස අඩස්සියට මාරු කළ බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබුණද, ඇයගේ පුත්‍රයා වන කිම් ඇරිස් ඒ පිළිබඳව දැඩි සැකයක් පළ කර ඇත.
වසර තුනකට වැඩි කාලයක් හමුදා සිරභාරයේ සිටින තම මව තවමත් ජීවතුන් අතර සිටින බවට පවා කිසිදු ස්ථිර සාක්ෂියක් තමන්ට ලැබී නොමැති බව ඔහු ප්‍රකාශ කරයි. හමුදා නායක මින් අවුන් ලියැන්ග් විසින් ඇයගේ ඉතිරි සිරදඬුවම් කාලය නියමිත නිවසක සිට ගෙවා දැමීමට අවසර දුන් බව ප්‍රකාශ කළද, එය පිළිබඳව විශ්වාසයක් තැබීමට තරම් තොරතුරු නොමැති බවත් ඔහු අවධාරණය කරයි.
රාජ්‍ය මාධ්‍ය විසින් මෙම නිවේදනය සමඟ ප්‍රචාරය කළ ඡායාරූපය 2022 වසරේ ලබාගත් පරණ ඡායාරූපයක් බව කිම් ඇරිස් පෙන්වා දෙයි.
“අවම වශයෙන් ඇය සමඟ සන්නිවේදනය කිරීමටවත් මට ඉඩ දෙන තුරු, මම මේ කිසිවක් විශ්වාස කරන්නේ නැහැ,” යනුවෙන් ඔහු පවසා ඇති අතර, මෙම නිවේදනය හමුදා පාලනයේ තවත් ප්‍රචාරක උපක්‍රමයක් විය හැකි බවට ද චෝදනා කර ඇත.
වසර දෙකකට වැඩි කාලයක් පවුලේ කිසිදු සාමාජිකයෙකුට ඇයව හමුවීමට හෝ ඇය පිළිබඳ තොරතුරු දැනගැනීමට ඉඩ නොදීම හේතුවෙන්, ඇයගේ සැබෑ සෞඛ්‍ය තත්ත්වය සහ ඇය රඳවා සිටින ස්ථානය පිළිබඳව තවමත් ලෝකයට පැහැදිලි තොරතුරු නොමැති බව වාර්තා වේ.
දැනට 80 හැවිරිදි වියේ පසුවන අවුන් සාන් සුචී මහත්මිය රඳවා සිටි බන්ධනාගාරයේ තත්ත්වය “මධ්‍යකාලීන යුගයේ” මෙන් අතිශය දුෂ්කර හා සෞඛ්‍යයට අහිතකර වූ බව ඇයගේ හිටපු උපදේශක ෂෝන් ටනෙල් ද සඳහන් කර ඇත. දුර්වල සෞඛ්‍ය පහසුකම් සහ අවම ආහාර පාන සහිත එවැනි සෛලයක 80 හැවිරිදි වියේ පසුවන අයෙකු රඳවා තැබීම අතිශය කනගාටුදායක තත්ත්වයක් බව ඔහුගේ අදහසයි.
රෝහින්ග් මුස්ලිම් ජනතාවට එරෙහිව හමුදාව සිදු කළ ක්‍රියාකාරකම් ජාත්‍යන්තර අධිකරණය ඉදිරියේ ආරක්ෂා කිරීමට ගත් තීරණය හේතුවෙන් ඇයගේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට යම් කැළලක් ඇතිවුවද, මියන්මාර ජනතාව අතර ඇය කෙරෙහි පවතින ගෞරවය හා සහයෝගය තවමත් නොඅඩුව පවතින බව විචාරකයන් පවසයි.
ඇයගේ සිරදඬුවම් කාලය කිහිප වතාවක් අඩු කර ඇති පසුබිමක, මෙම නවතම නිවාස අඩස්සියට මාරු කිරීමේ පියවර ඇයගේ සම්පූර්ණ නිදහස සඳහා පෙරනිමිත්තක් ද යන්න පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව දැඩි අවධානයෙන් පසුවෙයි.
උපුටා ගැනීම රට.lk
