
ඉන්දීය මධ්‍යම රජයට මෙන්ම ශ්‍රී ලාංකීය දෙමළ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන්ද තීරණාත්මක බලපෑමක් ඇති කළ හැකි තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව, එළැඹෙන 04 වැනිදා පස්වරුවේ මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතව ඇත.
තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද විමසීම පසුගිය අප්‍රේල් 23 වැනිදා ඉතා උණුසුම් දේශපාලන වාතාවරණයක් මධ්‍යයේ නිමාවට පත්විය. සමස්ත ඉන්දියාව පමණක් නොව ලොව පුරා වෙසෙන ද්‍රවිඩ ජනතාවගේ අවධානය මේ වන විට යොමුව ඇත්තේ මෙම ඡන්ද ප්‍රතිඵලය වෙතය.
මෙවර මැතිවරණයේ විශේෂත්වයක් ලෙස වාර්තාගත ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වී ඇති අතර, සියයට 85.15%ක් පමණ ඡන්දය භාවිත කර තිබූ බව වාර්තා වේ. මෙය තමිල්නාඩු මැතිවරණ ඉතිහාසයේ ඉහළම ඡන්ද ප්‍රතිශතයක් වන අතර, 2021 වසරට සාපේක්ෂව 11%ක වර්ධනයක් ලෙසද දැක්වේ.
මෙවර දේශපාලන සටනේ විශේෂ අවධානය යොමුව තිබුණේ තමිලග වෙට්රි කලගම් (TVK) පක්ෂයෙන් මැතිවරණයට පිවිසි ජනප්‍රිය චිත්‍රපට නළු විජේගේ දේශපාලන ආගමනය වෙතය. ඔහුගේ පක්ෂය තරුණ ඡන්ද පදනම අතර විශාල අවධානයක් ලබාගත් බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙති.
කෙසේ වෙතත් වර්තමාන ප්‍රධාන අමාත්‍ය එම්. කේ. ස්ටාලින්ගේ නායකත්වයෙන් යුත් ද්‍රාවිඩ මුන්නේත්‍ර කලගම් (DMK) සන්ධානය සහ අන්නා ද්‍රාවිඩ මුන්නේත්‍ර කලගම් (AIADMK) පක්ෂය නායකත්වයෙන් යුත් BJP සහාය ලබන සන්ධානය අතර තියුණු දේශපාලන තරඟයක් පැවති බව සඳහන් වේ.
ඉන්දීය දේශපාලන විචාරකයින්ගේ මතය අනුව, මෙවරද ද්‍රාවිඩ මුන්නේත්‍ර කලගම් DMK සන්ධානය ජයගැනීමට වැඩි හැකියාවක් ඇති බවට පුරෝකථනය කර තිබේ. TVK පක්ෂය තරුණ ඡන්ද පදනමට බලපෑමක් සිදු කළද, මැතිවරණ ජයග්‍රහණයේ වාසිය ද්‍රාවිඩ මුන්නේත්‍ර කලගම් DMK සන්ධානයට හිමිවිය හැකි බව ඔවුන් පෙන්වා දෙති.
ආසන 234කින් සමන්විත තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ බලය ලබා ගැනීම සඳහා එක් කණ්ඩායමක් අවම වශයෙන් 118 ආසන ජයග්‍රහණය කළ යුතුය.
අවසන් වරට පැවැති තමිල්නාඩු මැතිවරණයේදී ද්‍රාවිඩ මුන්නේත්‍ර කලගම් DMK සන්ධානය ආසන 159ක් දිනාගත් අතර, AIADMK සන්ධානයට ආසන 75ක් පමණ හිමිව තිබුණි.
මෙම මැතිවරණයේ ප්‍රතිඵලය ඉන්දීය මධ්‍යම රජයේ දේශපාලන ස්ථාවරයටද සෘජු බලපෑමක් ඇති කළ හැකි අතර, තමිල්නාඩුව ඉන්දියාවේ දෙවන විශාලතම ආර්ථිකය හිමි ප්‍රාන්තයක් වීම එයට හේතුව ලෙස සැලකේ.
එමෙන්ම මෙම ප්‍රතිඵලය ශ්‍රී ලංකාවටද සෘජු බලපෑමක් ඇති කළ හැකි බව විචාරකයින් පෙන්වා දෙති. විශේෂයෙන්ම කච්චතිව් දූපත සම්බන්ධ මතභේද, ඉන්දු–ලංකා ආර්ථික සබඳතා සහ ශ්‍රී ලාංකික දෙමළ ජනතාවගේ ගැටලු පිළිබඳව තමිල්නාඩු රජය දරන ස්ථාවරය ඉදිරියේදී ඉන්දු–ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සඳහා වැදගත් සාධකයක් වනු ඇත.
