– කේ. සංජීව –
සල්මන් රෂ්ඩි කීවාම මට නිතරම මතක් වෙන දෙයක් තියෙනවා. මිනිහා එක සම්මුඛ සාකච්ඡාවකදී මෙහෙම කියනවා. ‘ ඔබට මරණ තර්ජනයක් තියෙනවා නම් කවුරුහරි ඔබ ගැන සැලකිල්ලෙන් ඉන්නවා නම්, ඔබ වාහනේ යනකොට ඔබට පසුපස එන වාහනය ගැන සැක හිතෙන්න පුලුවන්. එතකොට ඔබට කරන්න තියෙන්නේ Roundabout වගේ එකක් හම්බ වුණොත් ඒකේ රවුම් දෙකක් විතර යන එක. එතකොට ඔබට අර සැකය දුරු කරගන්න හෝ තහවුරු කරගන්න පුලුවන්.’ මේ වගේ එකක් තමයි ඒකේ කියලා තිබුණේ. මේක මතක් වෙනකොට මට ලසන්ත වික්‍රමතුංග මතක් වෙනවා. මිනිහා අන්තිමට ගිය ගමන මට ෆිල්ම් එකක් වගේ පේන්න ගන්නවා. මිනිහගේ නෝට් බුක් එක මතක් වෙනවා.
ඒත් පහුගිය සිකුරාද 24 හැවිරිදි Hadi Matar වේදිකාවට දුවගෙන ඇවිත් රෂ්ඩි ගේ මුහුණට, බෙල්ලට, බඩට පිහියෙන් ඇනලා කියලා ආරංචි වෙනකොට ( ඇත්තටම පිහිපාරවල් 10ක් වත් ඇග පසාරු කරලා තිබෙනවා සහ මේ සහාසික ප්‍රහාරය නිසා ස්නායු වලට වගේම අක්මාවට හානි වෙලා තිබෙනවා කියලා වාර්තා වෙනවා, බොහෝවිට රෂ්ඩිට එක ඇසක් අහිමිව යන්න පුලුවන්) මට මතක් වුණේ සෞදි මාධ්‍යවේදියෙක් වුණ Jamal Khashoggi. කෞෂෝගී ගේ ශරීරය කැබලි වුණේ තානාපති කාර්‍යාලයක් ඇතුලේ. ඒ සුමියුරු සංගීතයක් පසුබිමේ වාදනය වෙන අතරේ. කෞෂෝගී මරන්න අණ දුන්නා කියලා චෝදනාවට ලක්වෙන්නේ සෞදියේ ඔටුන්න හිමි කුමාරයා.
ඉතිං මේ මතකයන් අතරේ එතෙර මෙහෙතර යාත්‍රා කරමින් ඉන්න ඇසිල්ලක තමයි සල්මන් රෂ්ඩි දැන් හුස්ම ආධාරක යන්ත්‍රයෙන් මිදිලා ඉන්නවා, ඔහු කතා කළා කියන සුබාරංචිය එන්නේ. සල්මන් රෂ්ඩි අපි අඳුරගත්තේ ඔහු ලියපු නවකතාවල සිංහල පරිවර්තන නිසා. සල්මන්ගේ දෙවන නවකතාව Midnight’s Children 1981 දී බුකර් ත්‍යාගය දිනා ගන්නවා. ඒ එක්කම ඉන්දියාවේ ඉඳලා බ්‍රිතාන්‍යට සංක්‍රමනය වෙලා එහේ බින්න බැහැපු මේ ලේඛකයා සාර්ථක බ්‍රිතාන්‍ය කතුවරුන්ගෙන් කෙනෙක් වෙනවා. අවුරුදු 5ක් වෙහෙසිලා ලියපු මේ පොතේ පිටපත් මිලියන භාගයක් අලෙවි වුණා කියලා තමයි වාර්තාවන් කියන්නේ.
1988 දී තමයි සල්මන් රෂ්ඩි ඔහුගේ සිව්වන නවකතාව The Satanic Verses ලියන්නේ. ඒක තමයි මිනිහගේ මතභේදාත්මකම කෘතිය. මේ පොත ඉස්ලාමීය ලෝකය සුනාමියකට හසු කරනවා. බොහෝ මුස්ලිම්වරු මෙම පොතට කෝපයෙන් තමයි ප්‍රතිචාර දක්වන්නේ. හේතුව මෙහි මුහම්මද් නබිතුමාගේ නිරූපණය. මුස්ලිම්වරුන් ඒක තමන්ගේ ආගමට කරපු අපහාසයක් විදිහට තමයි භාර ගන්නේ. ඉතිං ඊටපස්සේ සල්මන්ට ජීවිතය ලේසි වෙන්නේ නෑ. බ්‍රිතාන්‍ය රජය ඔහුට පොලිස් ආරක්ෂාව දෙනවා. හේතුව තමයි ඉරානයේ උත්තරීතර නායක Ayatollah Ruhollah Khomeini, 1989 දී සල්මන් ඝාතනය කරන්න කියලා ෆට්වා නියෝගයක් නිකුත් කිරීම සහ රෂ්ඩිගේ හිසට ත්‍යාග මුදලක් නීර්නය කිරීම. මේ පොත සමග සල්මන් රුෂ්ඩිට රහසිගත සැඟවුණ ජීවිතයක් තමයි උරුම වෙන්නේ. පස්සේ ඔහු ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමනය වෙනවා. කොහේ ගියත් ඔහුට මුස්ලිම්වරුන්ගෙන් සැඟවුණ ජීවිතයක් තමයි උරුම වෙන්නේ.
1988 සැප්තැම්බර් තමයි මේ නවකතාව පාඨකයාගේ අතට එන්නේ. මට එතකොට අවුරුදු 06යි. මේ පොතට දැන් ආසන්න විදිහට අවුරුදු 34ක් විතර වෙනවා. සල්මන් රෂ්ඩිට මරණීය තුවාල කරපු ලෙබනන් සම්භවයක් තිබෙන පුද්ගලයාට දැන් අවුරුදු 24යි. ඒ කියන්නේ මේ පොත ඇවිත් දශකයකට පස්සේ මේ ලෝකෙට ආපු මිනිසෙක් තමයි රෂ්ඩි ඝාතනය කරන්න උත්සාහ කරන්නේ. ඇමරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ පදිංචි 24 සැකකරු සහ ඔහුගේ පවුලේ අය දකුණු ලෙබනනයේ Yaroun නගරයේ ඉඳලා තමයි එක්සත් ජනපදයට සංක්‍රමණය වෙලා තිබෙන්නේ. ඔහු හිස්බුල්ලා සංවිධානයේ ආධාරකරුවෙක් වෙන්න පුලුවන් කියලා බටහිර මාධ්‍ය ඉඟි පළ කරනවා.
මේ ඝාතන තැතත් එක්ක ආයෙත් ඉරානය ගැන වඩාත් කතාබහ කරන්න පටන් අරගෙන. ඉරාන ඇමරිකානු න්‍යෂ්ටික අවි ගැටලුව කරළියේ රඟනකොට තමයි මේ ඝාතන තැත දියත් වෙන්නේ. කොහොමවුණත් මේ ඝාතන තැත ගැන ඉරාන රජය ලොකු සද්දයක් කරන බවක් පේන්නේ නෑ. ඒත් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මේ ඝාතන තැත ගැන සිය ප්‍රතිචාරය දක්වනවා. ඔහු කියන්නේ රෂ්ඩි; සත්‍යය, ධෛර්යය සහ ඔරොත්තු දීමේ මූලික පරමාදර්ශ වෙනුවෙන් පෙනී සිටි ශ්‍රේෂ්ඨයෙක් කියලා. සල්මන් රෂ්ඩිගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් සහයෝගීව ගැඹුරෙන් පෙනී සිටිය යුතු බව ඇමරිකානු ජනාධිපති අවධාරණය කරනවා.
කෙසේ වුණත් ඉරාන මාධ්‍ය වාර්තා ගැන වාර්තා කරන බටහිර මාධ්‍ය ප්‍රකාශ කරන්නේ මෙම පිහි ඇනුම පිළිබඳව ඉරාන මාධ්‍ය සිය සතුට පළ කර ඇති බවයි. බටහිර මාධ්‍ය වෙත මෙම ඝාතන තැත පිළිබඳව අදහස් දක්වන ඉරාන වැසියන් මේක ආගමට අපහාස කිරීමට ලැබුණු ප්‍රතිපලයක් විදිහට භාර ගන්න කැමති බව තමයි පෙන්වන්නේ. ඔවුන් බොහෝ දෙනෙක් සිය සතුට ප්‍රකාශ කරනවා මේ ඝාතන තැත ගැන. කොහොම වුණත් මේ පිහි ඇනුම ඉරාන අතීත ප්‍රතිචාරයේම දිගුවක් කියලා සහ ඉරාන නායකයාගේ උසිගැන්වීමේ ප්‍රකෝපකරණයේම දිගුවක් කියලා තමයි බටහිර මාධ්‍ය වාර්තා කරන්නේ.
කොහොම වුණත් කෞෂෝගි ගේ ඝාතකයන් ඇමරිකාවේ උදහසට ලක් වුණේ නැත්තේ සෞදිය ඇමරිකානු හිතවාදී නිසා. නමුත් ඉරානය සහ ඇමරිකාව අතර තිබෙන දේශපාලන සහ යුධ ආතතිය නිසා මේ ඝාතන තැත පිළිබඳව පරීක්ෂන සහ නීතිමය ක්‍රියාවලිය බොහෝ දුර යන්න පුලුවන්. කොහොම වුණත් කොයි ලෙසකින් ක්‍රියාත්මක වුණත් අපි ආගමික අන්තවාදය පිටු දැකිය යුතුයි. භාෂනයේ සහ ප්‍රකාශනයේ නිදහස කියලා කියන්නේ කුරානය බයිබලය හෝ ත්‍රිපිටකය නෙවෙයි. ඒත් මේ හැමදෙයක්ම අද බල දේශපාලනය අස්සේ කැරකෙන දේවල් විතරයි.