චීන නැව සහ කොන්ඩේ බැඳපු ශ්‍රීලංකන්නු..!

– කේ. සංජීව –

යුවාං වැන්ග් 05 කියන චීන පර්‍යේෂණ නෞකාව ගැන අපි දැන් කාලෙක ඉඳලා බලාගෙන ඉන්නවා. මෙ නැව ලංකාවේ හම්බන්තොට තියෙන චීන වරායට (මේක හදන්න ලංකාව ඩොලර් බිලියන 1.4ක් චීනයට ගෙව්වා. පස්සේ මේක 99 අවුරුදු බදු දුන්නා චීනයට. බදු මුදල තමයි ඩොලර් බිලියන 1.12) එලබෙන අගෝස්තු 16 එනවා කියලා දැන් කියනවා. ඇත්තටම මේක හම්බන්තොට චීන වරායේ නැංඟුරම්ලන්න තිබුණේ අගෝස්තු 11. මේ දින 05ක ප්‍රමාදයට හේතුව මොකද්ද?

දිල්ලි දේශපාලනය

ඇත්තටම මේකට හේතුව තමයි නවදිල්ලිය මේ නැව හම්බන්තොට වරායට එන එකට විරුද්ධ වීම. ඇමරිකා එක්සත් ජනපදයත් ඉන්දියාව එක්ක එකට සිටගනිමින් මේ නැව එන එක ගැන සිය විරෝධය දක්වලා තිබුණා. මේ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම නිසාම ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලා හිටිනවා, ගමන ටිකක් ප්‍රමාද කරන්න කියලා. ‘අපි මේක බැලන්ස් කරගන්න කම් ටිකක් හෙමින් එන්න’ වගේ ඉල්ලා සිටීමක් ඒක. මේ නැව හම්බන්තොට වරායට එන්න හැරෙව්වට පස්සේ ඉන්දීය මාධ්‍ය මේක සෑහෙන්න ප්‍රමුඛතාවයක් දීලා වාර්තා කළා. විශේෂයෙන් NDTV. ඒකට හේතුව මේක තමයි වර්තමාන ඉන්දියානු සාගර කලාපයේ භූ දේශපාලනය.

සාගර පත්ල සිතියම්ගත කිරීම, රෙඩාර් සංඥා නිරීක්ෂණය, බැලැස්ටික මිසයිල පිළිබඳ ගවේශනයක් වගේ පුලුල් පරාසයක අධ්‍යයන සහ පර්‍යේෂනයන් සඳහා පහසුකම් තියෙන බව කියන මේ නෞකාව තමන්ගේ මිදුලට පැමිණීම නවදිල්ලි පාලනය නොරිස්සුම් සහගතව භාරගැනීම ඉන්දු ලංකා භූ දේශපාලන චිත්‍රය අස්සේ තේරුන් ගැනීමට බැරි නැහැ. දකුණු ආසියාවේ කලාපීය බලවතා තමයි ඉන්දියාව. ඉන්දියාව සහ චීනය අතරේ, දේශ සීමා ප්‍රශ්නවල ඉඳලා කලාපීය වෙළඳාම දක්වා විශාල පරිමාවක ප්‍රශ්න තොගයක් තිබෙනවා. එම ප්‍රශ්න චීන ඇමරිකානු ආතතිය නිසා තීව්‍ර කරලා. චීනය ඇමරිකාව පරයා ලෝක බල දේශපාලනයේ මුදුනා වෙන්න හදනකොට ඉන්දියාව සීඝ්‍රයෙන් තම ආර්ථිකය ප්‍රසාරණය කරගනිමින් ඉන්නවා. මේ බල දේශපාලනය අස්සේ මෙවැනි නෞකාවක් ලංකාවට පැමිණීම ඉන්දියාව සුමුදු විදිහට භාරගනීවි යැයි කියලා අපිට හිතන්න බෑ.

චී ලංකාව

අනෙක තමයි හම්බන්තොට වරාය චීනය සතුවීමේ දේශපාලන සහ ආර්ථික කාරණාවේ ඉඳලා කොළඹ ඉදිවෙන වරාය නගරය දක්වා ලංකාවේ චීන ආධිපත්‍ය ගැන ඉන්දියාව විමසිල්ලෙන් ඉන්නේ. ඒ වගේම ඉන්දියාවට ‘රාජපක්ෂවරුන්ගේ ලංකාව’ අස්සේ චීනයට තිබුණ තැන තමන්ට දිනාගැනීමට අවශ්‍යයි. ඒ වෙනුවෙන් ඔවුන් ලංකාවේ ආර්ථික අර්බුදය මේ වෙනකොට පළල්ව භාවිතා කරමින් ඉන්නවා. ඇත්තටම කීවොත් පහුගිය කාලේ ලංකාවට හුස්ම පිම්ඹේ ඉන්දියාව. ඔවුන් ඒක මේ නැව් ප්‍රශ්නය වෙලාවෙත් මතක් කරනවා. ඉන්දියානු මාධ්‍යත් ඉන්දියාවේ මේ ණයට දීමේ උදව් දේශපාලනය සහ චීනයට ගැති ලංකාවේ විදෙස් ප්‍රථිපත්තිය සෑහෙන්න ප්‍රමානයකට තමන්ගේ ජනතාව වෙත අරගෙන යමින් ඉන්නවා. චීන ණය උගුල ගැන අපිට වඩා කතා කරන්නේ ඉන්දියාව..!

සාධාරණ හේතු තිබිය හැකිද?

කොහොමවුණත් මේ වෙනකොට ලංකා ආණ්ඩුව චීන නැවට හම්බන්තොට වරායට ඇතුල් වෙන්න අවසරය දීලා තියෙනවා. ඉන්දියානු මාධ්‍ය සහ ලංකා මාධ්‍ය, ලංකාවේ බලධාරීන් උපුටමින් කියන්නේ ඉන්දියාවට සහ ඇමරිකාවට මේ නෞකා ගමන වැළැක්වීම සඳහා සාධාරණ හේතු දැක්වීමක් කරන්න නොහැකිවුණ නිසා මේ අවසරය ලබා දුන්නා කියලා. ඒ වෙනුවෙන් එක්සත් ජනපද තානාපති ජූලි චුන්ග් ගෙන් ජනාධිපති වික්‍රමසිංහ කරුණු විමසූ බවත් විදෙස් අමාත්‍ය අලී සබ්‍රි ඉන්දියා බලධාරීන්ගෙන් කරුණු විමසූ බවත් මාධ්‍ය වාර්තා කරනවා. අභ්‍යන්තර තත්ත්වය ගැන හරි හැටි කරුණු නැතත් පිළිගත හැකි සාධාරණ හේතු නැති නිසා මේ ආගමනයට අවසර ලබාදුන්නා කියලා තමයි ලංකා බලධාරීන්ගේ පැත්තෙන් එන කතාව. ඇත්තටම රටවල් අස්සේ තියෙන මෙවැනි ඊගෝ ප්‍රශ්න වලට සාධාරණ හේතුන් තියෙනවාද? එහෙමත් හිතෙනවා..!

කොහොමවුණත් මේ ප්‍රශ්නය මෙහෙම සරළ තැනකින් විසඳෙයි කියලා අපි හිතුවත් මේවා අළු යට ගිනි පුපුරු විදිහට පවතින්න පුලුවන්. ඉන්දියාවත් මේ වෙනකොට ලංකාව වටේ තියෙන මුහුදේ ආරක්ෂාව වෙනුවෙන් තමන්ගේ කැපවීම සහ සූදානම පෙන්වමින් ඉන්නවා. ඒ වගේම ඔවුන් ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, කොරියාව සහ ජපානය එක්ක එකතුවෙලා ඉන්දියන් සාගර කලාපයේ චීන ආධිපත්‍යට විරුද්ධව කටයුතු කරමින් ඉන්නවා. මේ යතාර්ථය අස්සේ අපේ රාජ්‍යතාන්ත්‍රික දේශපාලනය කොහොම වෙන්න ඕනෑද? ජනාධිපති වික්‍රමසිංහ නම් හැම නායකයාම වගේ නොබැඳි පිලිවෙතක් වෙනුවෙන් තමන් වැඩ කරනවා කියලා තමයි කීවේ. ඇත්තටම වර්තමාන ලෝක දේශපාලන පර්‍යාය තුළ සහ අපේ ආර්ථික අර්බුදය හමුවේ අපිට එහෙම ඉන්න පුලුවන් ද?

නොබැඳී සිටිය හැකිද?

මටනම් හිතෙන්නේ අපිට එහෙම නොබැඳි පිළිවෙතක් නඩත්තු කරන්න බැහැ කියලා. ඒ වගේම ඒක උපායශීලී නැහැ කියලා තමයි මට නම් හිතෙන්නේ. ඉදිරි අවුරුදු 50 අස්සේ ලෝක බල කේන්ද්‍රය ආසියාවට හිමිවෙනවා. ඒක පරාජයට පත් කරන්න බටහිරට බැරිවෙන හැඩක් තමයි චීනයේ සහ ඉන්දියාවේ නැඟීම පෙන්වන්නේ. මේ තත්ත්වය අස්සේ චීනය සහ ඉන්දියාව කියන රාජ්‍යයන් දෙකම වැදගත්. ඒත් මේ දෙකෙන් වඩා වැදගත් කුමක්ද කියන තෝරාගැනීම කරන්න වෙනවා. එහෙම තෝරාගැනීමක් කරනවානම් අපිට වැඩි ප්‍රමුඛතාවය දෙන්න වෙන්නේ ඉන්දියාවට. පහුගිය කාලේ ඉන්දියාව අමතක කරලා අපි වඩාත්ම චීන වුණා. දැන් අපි වඩාත්ම ඉන්දියා වුණොත් යම් ප්‍රමානයකට මේ අවුල ලෙහාගන්න පුලුවන් වෙයි. ඇත්තෙන්ම දැන් අපිට තියෙන්නේ කාසියේ අනික් පැත්ත මාරු කරන්න. චීනය පිළිගන්න… හැබැයි ඉන්දියාවට වඩා අඩුවෙන්..

ලංකාවේ ආර්ථිකය ඉන්දියාව එක්ක ගැටගැහුවොත් විතරයි වර්තමාන ලෝක දේශපාලන සහ ආර්ථික පර්‍යාය අස්සේ අපිට ගොඩයන්න පුලුවන් වෙන්නේ. ඒකට ටිකක් විතර චීන විරෝධී දේශපාලනයක් නඩත්තු කරන්න වෙනවා. ඒකට මෙවැනි සිදුවීම් වලට ප්‍රතිචාර දක්වන විදිහ ඉතාමත් වැදගත්. හැබැයි දැනට පේන විදිහට මේ ප්‍රතිචාරය චීනයට වාසි සහගත ප්‍රතිචාරයක්. ඒක ඉන්දියාව කොහොම භාරගනීවි ද කියලා අපිට තවමත් කියන්න විදිහක් නෑ.

ලංකාවේ යම් යම් රාජ්‍යතාන්ත්‍රික තීන්දු තීරණවලට ඉන්දියාව 1980 දශකයේ ප්‍රතිචාර දක්වපු විදිහ අපි දන්න නිසා ඒ ගැන සිතා බැලීම වටිනවා. කොහොමත් ඉන්දියානු ආර්ථික සහ දේශපාලන උපාය මාර්ග සිතියම අස්සේ අපිට ඉන්දියාවෙන් වියුක්ත ස්වෛරී ගමනක් නෑ. ඒ නිසා ඒ දේශපාලන සිතියම අපේ වාසියට හරවාගෙන රටක් විදිහට දියුණු වෙන එක සහ පවතින එක තමයි කරන්න වෙන්නේ. ඒ දේශපාලන සිතියම ආපස්සට හරවන්න කාටහරි ලංකාවේ පාලකයෙක්ට හිතෙනවා නම් ඔහුට කරන්න තියෙන්නේ යුරෝපා සංගමය වගේ එකක් දකුණු ආසියාව අස්සේ හෝ ගොඩනඟා ගන්න පොඩි ටර්‍යි එකක් දෙන එක. ඒ සඳහා පෙරමුණ ගන්න එක..

 

Social Sharing
නවතම විශේෂාංග