සංවාදය – රශ්මික මණ්ඩාවල
(මෙවර ග්‍රේෂන් සම්මානය දිනූ අශෝක් ෆෙරී සමඟ කළ සංවාදය)
මා මැදපෙරදිග වැඩ කරන කාලයේ මගේ මිතුරන් අතර කේරළ ජාතික මිතුරෝ බොහෝ සිටියහ. ඉන්දියාවෙන් පැමිණ සිටින සීක්, හින්දු, බෙංගාලි ආදි පිරිස අතරින් කේරළ ජාතිකයන් බොහෝ විට ඉගනීමෙහි දක්ෂයෝ වූහ. ඉන් එක් අයෙකු මගේ මනසේ අදටත් රැඳී සිටින්නේ එක් සුවිශේෂී හේතුවක් නිසා ය. එක්තරා සැඳෑවක ඔහු මට හමුවූයේ අපේ සේවාස්ථානයෙන් පිටත බංකුවක වාඩිවී පොතක් කියවමින් සිටියදී ය. කටාරයේ බැස යන හිරුගේ මඳ හිරු රැස් යට ඉමක් නොපෙනෙන කාන්තාරය දෙස බලාගෙන සිටිය හැකි මේ බංකුවේ පසෙක මම ද වාඩිවූයෙමි. මා දුටු වහාම ඔහු පොත බංකුව මත තැබුවේ එහි පිටකවරය මුනින් අතට සිටින සේ ය. එහි නම ලෙස සටහන්ව තිබුණේ Colpetty People යන්න ය. ලේඛකයාගේ නම ලෙස සඳහන් වූයේ අශෝක් ෆෙරී යන්නයි. කොල්පෙටි යනු කොල්ලුපිටිය නම් මේ රචකයා ලංකාවේ අයෙකු විය යුතු ය. එවිට මිත්‍රයා මට කීවේ මම කියවන්නේ ඔයාගේ රටේ පොතක් කියා ය. කෙසේ වෙතත් මගේ රටේ රචකයෙකුගේ පොතක් අසල්වැසි රටේ මිතුරෙකු අතේ තිබීම සතුටක් වුවද මා එම ලේඛකයා ගැන නොදැන සිටීම මා තුළ ඇති කළේ සියුම් ලැජ්ජාවකි. දැන් එයින් වසර හය හතකට පසුව අශෝක් ෆෙරී 2022 ග්‍රේෂන් සම්මානය දිනාගත් අයුරු නරඹමින් සිටින විට මේ අතීත මතකය මගේ මනසෙහි යළි කරක් ගසන්නට විය.
එම සිදුවීමෙන් පසුව මම අශෝක් ෆෙරී නම් ලේඛකයාගේ කෘති දෙකක් කියැවීමි. ඉන් පළමුවැන්න වූ ‘කොල්පෙටි පීපල්’ කතා දාහතකින් යුත් කෙටිකතා කෘතියකි. වාක්‍යයෙන් වාක්‍යයට වින්දනය කළ හැකි, සරල නමුත් වෙනස් ආකාරයක හැඟීම් ඉතිරි කළ එය, අදට ද මගේ මනසේ මවන්නේ අලංකාර චිත්තවේගයන් ය. යම් කෘතියක් අපට සමීප වන්නේ විවිධාකාරයෙනි. මේ කෘතිය මට සමීප වූයේ මගේ කේරළ මිතුරා නිසාවෙනි. ලේඛකයෙකුගේ බලය එයයි. දේශ සීමා තරණය කිරීම කුරුල්ලෙකුට පසුව පහසුවෙන් කළ හැක්කේ ලේඛකයෙකුට බව මට සිතේ. අශෝක් ෆෙරී ද එලෙස දේශ සීමා පැන වෙනත් දේශ ගණනාවක සංචාරය කරන අතරතුර ආපසු මා අල්වා ගන්නේ කේරළ මනසකිනි.
පසුව 2016 වසරේදී අශෝක් ෆෙරී ගේ නව කෘතියක් එළිදැක්වෙන බව මට දැනගන්නට ලැබිණි. එහි නම වූයේ ‘දි සීස්ලස් චැටර් ඔෆ් ඩීමන්ස්’ ය. ‘යක්ෂයන්ගේ නොනවතින කතාබස්’ යන තේරුම ඇති මේ කෘතිය එක්වරම මගේ සිත් ගති. සමහර කෘති නමින් පවා අපව ආකර්ෂණය කරන්නේ එලෙසිනි. ඔහු දැනට කෘති හතක් ලියා පළ කර ඇති ප්‍රවීණ ලේඛකයෙකි.
දෛවෝපගත ලෙස ‘දි අන්මැරේජබල් මෑන්’ කෘතිය වෙනුවෙන් ඔහු ග්‍රේෂන් සම්මානය දිනාගැනීමෙන් පසුව අශෝක් ෆෙරී සමඟ සංවාදයේ යෙදෙන්නට මට අවස්ථාව ලැබිණි.
ප්‍ර: ඔබ මීට පෙර ග්‍රේෂන් සම්මානයට නිර්දේශවෙලා තිබුණා. මෙවර තමයි ජයග්‍රහණය කළේ, කොහොමද ඒ ගැන දැනෙන්නෙ?
අශෝක්: ඔව්, ඇත්තටම මම මීට පෙර හතර වතාවක් නිර්දේශවෙලා තිබුණා. මම අවුරුදු විසිපහක් තිස්සේ පොත් ලියනවා. මේ පාර තමයි සම්මානය ලැබුණෙ. ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. මෙවර සම්මානය ප්‍රධානය කරද්දි විනිශ්චය මණ්ඩලය මගේ භාෂාව ගැන විශේෂයෙන් කතා කළා. මගේ නවකතාව, භාෂාවෙන් වෙන් කරන්න බැහැ.
ප්‍ර: ඔබ පොත් සැලකිය යුතු ප්‍රමාණයක් ලියා තිබුණත් තවම එක පොතක්වත් සිංහලෙන් අපිට කියවන්න පරිවර්තනය නොවුනේ ඇයි?
ඔව් ඒක තමයි ලොකුම ප්‍රශ්නෙ. මම ඇත්තටම ආසයි මගේ නවකතා සිංහලෙන් දෙමළෙන් පළවෙනවනම්. ඒත් මේවා පරිවර්තනය කරන්න කෙනෙක් මට තාම හමුවෙලා නැහැ. එක දෙයක් මොකද මගේ පොත්වල ස්ථර කිහිපයක් තියෙනවා. උඩින් දිවෙන කතාවට අමතරව පහළට යනකොට උත්ප්‍රාසය තියෙනවා. ඒවා එක භාෂාවකින් තව භාෂාවකට පරිවර්තනය කරන්න අමාරුයි. මගේ ඔය ‘ද සීස්ලස් චැටර්ස් විත් ඩීමන්ස්’ කියන පොත දැනට අවුරුදු හතරකට විතර කලින් ප්‍රංශ භාෂාවට පරිවර්තනය වුනා. ඉංග්‍රීසිවලින් ප්‍රංශ භාෂාවට පරිවර්තනය කරන්න හරි ලේසියි. එහෙම කරන අය සෑහෙන්න පිරිසක් ඉන්නවා. ඒ පරිවර්තනය ප්‍රකාශන සමාගමේ සංස්කාරකට ගියහම එයාට ඒක දැකලා පිස්සු හැදුනා. මොකද ඒ පරිවර්තනය අසාර්ථක විදියට කරලා තිබුනෙ. අන්තිමට එයාම මැදිහත් වෙලා ඒක නිවැරදි කරලා පළ කළා. ඉතින් ඉංග්‍රීසිවලින් ප්‍රංශවලට එච්චර අමාරු නම් සිංහල දෙමළ වලට එන්න ඊටත් වඩා අමාරු වෙයි. මම හිතන්නේ තව අවුරුදු දහයක්වත් යයි මේක හරියට පරිවර්තනය වෙන්න. වැරදි පරිවර්තනයක් වෙනවට වඩා මම කැමතියි ඒක නොවී තියෙනවනම්. ඇත්තටම අපේ විශ්ව විද්‍යාලවල උපාධි තියෙන්න ඕන පරිවර්තනය සම්බන්ධව. ලියන එකට වඩා අමාරුයි පරිවර්තනය කරන්න.
එතකොට ඔබ සමඟ සමීපව වැඩකරලා ඔය පරිවර්තනය කරන්න බැරිවෙයිද?
එහෙම කෙනෙක් තමයි ඕන. මම එයත් එක්ක ඉඳගෙන කියන්න ඕන මම අදහස් කරන්නේ මෙන්න මේක. හැබැයි තව එකක් තියෙනවා. මගේ සිංහල දැනුම හොඳ මදි. මේක පරිවර්තනය වෙලා ආවත් ඒ අදහස එනවද කියලා මට වැටහෙන්නෙ නෑ. ඉතින් දෙපැත්තකින් මේකට බාධාවක් තියෙනවා. ඇත්තටම කොල්ලෙටි පීපල් පබ්ලිෂ් කළේ 2004 අවුරුද්දෙ අග වගේ. දැන් අවුරුදු දාහතක් දහඅටක් විතර ගිහින්. තාමත් ඒක ලංකාවේ වැඩියෙන්ම විකිණෙන ඉංග්‍රීසි පොත.
දැන් ඔබ ඉංග්‍රීසියෙන් ලිව්වත් ඔබ ලියන්නේ වැඩි ප්‍රමාණයක් ලංකාව ගැන? එතකොට මේක සිංහලෙන් සහ දෙමළෙන් කියවන්න කැමති ලාංකීය පාඨකයෝ ඉන්නවා?
ඔව්. ලංකාවේ ඉංග්‍රීසි පාඨකයෝ සීමිතයි. ඊට වඩා වැඩි ප්‍රමාණයක් සිංහලෙන් කියවන අය ඉන්නවා. දෙමළ භාෂාවට පරිවර්තනය කළොත් දකුණු ඉන්දියාවෙත් පාඨකයො ඉන්නවා. ඉතින් එහෙම වෙනවනම් මම ඉතාම සතුටුයි. ඒත් මට බැරිවෙලා තියෙනවා තාම මේක පරිවර්තනය කරගන්න.
ඔබේ පොත් ගැන විදේශිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?
මට විදේශික පාඨකයො කියන දෙයක් තමයි මගේ පොත්වලින් ඒ අය ලංකාව තේරුම් ගන්නවා කියලා. ඒත් මට ඒක තේරෙන්නෙ නැහැ. මම නිකන් කතන්දරයක් ලියනවා. ඒත් මම නම් හිතන්නේ ලංකාව කියන්නේ හරිම සංකීර්ණ රටක්. මේක ඉන්දියාවටත් වඩා සංකීර්ණයි. මොකද ඉන්දියාව වගේ විශාල භූමියක නෙමෙයි හරිම පොඩි දූපතක මහ විශාල ප්‍රමාණයක් ජනවර්ග එකට ගුලි වෙලා හරියට සාඩින් ඇහිරුවා වගේ ජීවත් වෙනවා. මේක තේරුම් ගන්න ලේසි නැහැ. මිලියන විසිදෙකක් අස්සේ මේ සේරම හිරවෙලා තියෙද්දි ඒක කොච්චර සංකීර්ණද? ඉතින් විදේශිකයන්ට මේක තේරුම්ගන්න අමාරුයි. ඒ අය සතියකට දෙකකට මාසෙකට ඇවිත් යනවා. ඒ අය හිතනවා එයාලට මේක තේරෙනවා කියලා. වැරදියි. ඒක අවුරුදු විස්සක් හිටියත් තේරුම්ගන්න අමාරුයි.
ඔබට කොහොමද ලංකාවෙ මේ සංකීර්ණතාවය තේරෙන්නේ?
මම ලංකාවේ තමයි ඉපදුණෙ. මට අවුරුදු අටේදි මගේ තාත්තට සිද්ධ වුනා සෝමාලියාවට යන්න. එතනින් නයිජීරියාවට. ඊටපස්සෙ මම එංගලන්තෙට ආවා. මම ලංකාවට ආවෙ අවුරුදු 31 දී. දැන් මට 65. දැන් අවුරුදු 34ක් මම ලංකාවේ ජීවත් වෙනවා. මම විශ්වාස කරන්නේ නැහැ මට ලංකාව තේරෙනවා කියලා. එච්චරට සංකීර්ණයි. ? ඒ වගේම අපි හැමෝටම තියෙනවා පින්තූරයක්. ඒ වගේ එකිනෙකාට වෙනස් මිලියන විසි දෙකක පින්තූරවල එකතුවක් කියන්නේ කොච්චර සංකීර්ණතාවයක්ද? මම එක සැරයක් ලිව්වා ලංකාව හරියට මාළුවෙක් වගේ. ලේඛකයෙක් විදියට මට තියෙන්නේ අර මාළුවගෙ වල්ගෙ අල්ලගෙන ඒක හීනි කරන එක. මේ සමස්ථ පින්තූරෙ මට කවදාවත් තේරෙන්නෙ නැහැ. ඒක හරිම වර්ණවත්. වෙනස් වෙනස් වර්ණ. එකක් දෙකක් අරගෙන බැහැ. ඔක්කොම ගන්න ඕන.
ඔබේ ද සීස්ලස් චැටර්ස් විත් ඩීමන්ස් පොත පටන් ගන්නේ “ඉපදෙනකොටම මං කැතයි. මගේ අම්මා හැමතිස්සෙම කිව්වෙ එහෙමයි” කියන වාක්‍යෙයන්. මට මතකයි දොස්තයෙව්ස්කිගෙ නෝට්ස් ෆ්‍රොම් අන්ඩර්ග්‍රව්න්ඩ් කියන පොත පටන් ගන්නෙත් “මම ලෙඩ මිනිහෙක් … මම කුඩුකේඩු මිනිහෙක්. මම අනාකර්ශනීය මිනිහෙක්” වගේ වාක්‍යයකින්. මේ පොත් දෙක ඇතුළෙම මම දකිනවා යම් යම් සමානකම්. දේශ සීමා නැතිව යක්ෂයා ගැන සංකල්පය ඔබ දකින්නේ කොහොමද?
ඔබ කියන පොතේ කතාකෙරෙන තේමාව වෙන්නේ ශෝකය යනු කුමක්ද කියන එක. දැන් ඒ පොතේ අවසානටෙ තියෙනවා සුනාමියට අහුවෙලා දෙන්නෙක් මැරෙනවා. ඒකෙ මම එක පේලියක් විතරයි දාලා තියෙන්නේ, ඇයි මේ අය සුනාමියකින් මැරුණෙ? සර්වබලධාරී දෙවිකෙනෙක් ඉන්නව නම් ඇයි මේ මිනිස්සු මැරුණෙ? මනුස්සයෙක්ගේ ජීවිතේ ඔහු කොච්චර යහපත් ද? කොච්චර නරකද? යක්ෂයා අපෙන් අහන්නේ ඒකයි. ඔය පොතේ එනවා කුමාරිහාමි කෙනෙක්ගේ චරිතයක්. එයා තමන්ගේ සේවිකාව අරගෙන ගිහින් ගබ්සාවක් කරවනවා. දැන් මේක හොඳද නරකද? එයාට ළමයව බේරන්න තිබුණා, හැබැයි එතකොට කසාදය විනාස වෙනවා. කසාදය බේරන්න නම් ළමයා විනාස වෙනවා. මම ප්‍රශ්නය මතුකරනවා හැබැයි මම උථ්තර දෙන්න යන්නෙ නැහැ. ඒක ලේඛකයෙක්ගේ වැඩක් නෙමෙයි කියලයි මම දකින්නෙ. උත්තර දෙන්න ගියොත් ඒ ප්‍රබන්ධය විනාස වෙනවා. පාඨකයාට පුළුවන් ඒක කියවලා උත්තර හිතන්න. මේ ප්‍රශ්නෙට පාඨකයා දෙන පිළිතුර ඒ කියවන කෙනා කොයිවගේද කියලා එළිදරව් කරනවා. එංගලන්තෙ ඉන්නවා ප්‍රසිද්ධ කෙනෙක්. සර් ඩේවිඩ් හෑන්ස් කියලා. එයා මේ පොත ගත්තා ගාල්ලෙන්. එයයි එයාගෙ නෝනයි මේ පොත කියෙව්වා. එයා මට කිව්වා ගාල්ලෙ ඉඳලා කොළඹට එනකම් මුළු චාරිකාව පුරාම එයයි එයාගේ නෝනයි දෙන්නා වාද කළා කියලා. කවුද හරි කවුද වැරදි කියලා. ඒක තමයි මට ඕන. ඒ වගේ ආචාර ධාර්මික ප්‍රශ්න තියෙනවා පොත ඇතුළෙ පාඨකයා උත්තර දිය යුතු. හැබැයි ප්‍රබන්ධ රචකයෙක් කවදාවත් ප්‍රශ්න වලට උත්තර දිය යුතු නැහැ. පනස් දනෛක් කියෙව්වොත් පනස් විදියකට දකියි.
පාඨකයෙක් පොතක් කියෙව්වම ඒක අලුත් පොතක් වෙනවා කියලා මතයක් තියෙනවා. ඒ වගේම එකම පොත විවිධ අවධි වලදි කියෙව්වම ලැබෙන අත්දැකීම වෙනස් නේද?
හරියටම හරි. දැන් කොල්පෙටි පීපල් වගේ පොතක් අවුරුදු දහයකට පස්සේ විතර කෙනෙක් නැවත කියවලා බැලුවොත් එයාට ඒක වෙනස් විදියට දැනෙනවා. වචන වල වෙනසක් නැහැ. ඒත් පුද්ගලයා වෙනස් වෙලා අත්දැකීම්වලින්.
ඔබේ නවතම කෘතිය ‘ද අන්මැරේජබල් මෑන්’ වෙනස් නමක් තියෙන පොතක්. මේ පොතෙත්, ඔබේ සාහිත්‍යයෙන් කොල්ලුපිටියට වැඩි තැනක් හිමිවෙනවා. එහෙම වෙන්නේ ඔබ ජීවත්වෙන පරිසරය නිසාද? නැත්නම් වෙන සුවිශේෂි කාරණයක් නිසාද?
එකම හේතුවයි. මම හැදුනෙ වැඩුනෙ එතන. ලේඛකයා තමන් දන්න දේ ලියන්න අවශ්‍යයි. මට බැහැ යාපනේ ගැන හෝ අනුරාධපුරේ ගැන ලියන්න. එතකොට ඒක ව්‍යාජයක් වෙනවා. ඒත් මම අවුරුද්දක් මාස අටක් විතර එහෙ ජීවත් වුනොත් මට ලියන්න පුළුවන්. එහෙම අදහසකුත් තියෙනවා ඉදිරියේදි. ඒත් දැනට මම හිතන්නේ මම දන්න තැන ගැන ලියන එක හොඳයි. නොදන්න තැනක් ගැන ලියන්න යන එක භයානකයි. මොකද වරදින්න පුළුවන්, ඒ වගේම ඒක හරිම අමාරු වැඩක්.
ඉදිරියේදී අලුත් පොතක් ගැන අදහසක් තියෙනවද?
දැනට එකක් මගේ ඔළුවෙ වැඩකරනවා. මම සාමාන්‍යයෙන් ලියන්න කලින් පොතක් ඔළුවෙ තියාගෙන කාලයක් ගතකරනවා. මම හිතන්නේ මේකත් එක්ක තව අවුරුදු දෙකක් ගත කරන්න වෙයි. හුඟක් ලේඛකයො ලියලා පස්සේ සංස්කරණය කරනවා. මම ඒකට කම්මැලි.
ඔබ ඒක ඔබේ මනසින් සංස්කරණය කරගත්තට පස්සෙයි ලියන්නේ?
ඔව්. හරියට හරි.
උපුටාගැනීම : ෆේස්බුක්