අජියා, විප්ලවේ සංගීතකාරයා

අපි කොළඹට ආපු මුල්ම කාලේ තමයි අජියගේ නැත්තං අජිත් කුමාරසිරිගේ සින්දු මුලින්ම ඇහෙන්නේ. ඕෆ් රඟහලට සෙට් උනාම අජියගේ සින්දු සමීපව ඇහෙන්න උනා. ඒක මාර අත්දැකීමක්. ජෝතිපාලගේ අමරදේවගේ කොරින් අල්මේදගේ ඇනස්ලිගේ සුනිල් අයියගේ සින්දු අහ අහා පතල් වාඩිවල ඉඳලා කොළඹ ආපු අපිට අජියගේ සින්දු වෙන සවුන්ඩ් එකක් වුණා. ඒක කනට කරන්ටෙක වදින සවුන්ඩ් එකක්. මට තවම මතකයි ඕෆ් එකේදි සෙට් වුණ අපේ නාට්‍යකාරයෙක් අජියා ගැන කියපු කතාවක්. ඌ මෙහෙම කිව්වා. ‘මල්ලි මියුසික් කියන්නේ කනට ප්‍රිය එකක්. හැබැයි අජියගේ මියුසික් කියන්නේ කන් කරච්චලයක්. ගෝෂාවක්. ඉතිං කොහොමද බන් ඕක මියුසික් වෙන්නේ’ මේක තමයි ඒ කාලේ අපිට වඩා උඩ පරපුර අජිත්ව දැකපු විදිහ. කනෙක් කියවපු විදිහ. මෙහෙම යනකොට මට ඕෆ් එකේදි සෙට් වෙනවා නිර්වාන කියලා බෙල්ලේ පච්චයක් ගහගෙන හිටපු මිත්‍රයෙක්. නම තිලිණි වගේ තමයි මතක. ඌ දැන් මිසින්. මම මේ ළඟදිත් හෙව්වා. මේ පච්චය ගැන අහන කොට තමයි මට කෝබියන්ව (Kurt Cobain) සෙට් වෙන්නේ. ඊටපස්සේ මම ඌගේ සින්දු අහන්න උනා. ඒකාලෙම එනවා ෆිල්ම් එකක්. ඒක කරන්නේ ඇමරිකාවේ ඉන්න හොලිවුඩ් ආරට වෙනස්ව ෆිල්ම් කරන Gus Van Sant කියන චිත්‍රපටකාරයා. ඒකේ නම ලාස්ට් ඩේස්. මේකේ තියෙන්නේ Kurt Cobain තමන්ගේ තරුණ ජීවිතේ අවසන් කාලේ ගතකරපු හැටී. ඒක පිස්සු ෆිල්ම් එකක්. මරණය ගැන මට තවමත් මේ වගේ ෆිල්ම් එකක් දකින්න ලැබිලා නෑ.

ඉතිං නිර්වාන සංගීතේ පස්සේ පිස්සුවෙන් යනකොට මම වැඩි වැඩියෙන් අජියාව දැනෙන්න වෙනවා. මම අජියට ලව් කරන්න පටන් ගන්නවා. ‘ මම සල්ලිකාරයෙක් වෙච්ච දවසට බත් වෙනුවට කන්නේ ආදරේ’ කියලා කියනකොට ‘මම ග්‍රීස් ගහේ මුදුනටම ගියා ඇය අවුරුදු කුමරිය වී නගරයට ගියා’ කියලා අජියා කියනකොට මම ඒක උපරීමයෙන් විඳින්න පුරුදු වුණා. මේ වචන එහෙට මෙහෙට වෙලානම් කමන්න. හමන්නන්නේ නැතුව.

පාර්ලිමේන්තුව ඇතුලට සඳ පායනවා කියලා අජියා කියනකොට කවුරුවත් 225ම එපා කියලා කීවේ නෑ. හේයි ජිනීවා අපි දැන් කනවා විතරමයි කියලා අජියා කියනකොට හැවෝටම රණවිරු ගාය හැදිලා තිබුණේ හොඳටම. මේ රට මගේ නෙවෙයි, අම්මගෙත් නෙවෙයි කියලා කියන කොට හැවෝම රට ඉඳලා පෝලිමේ ඇවිත් ගෝඨාභයට ඡන්දය දුන්නා. රට ආරක්ෂා කරගන්න. දේශපාලන ෆකයෝ මම උබලට කැමති නෑ කියලා කියනකොට හත්තිලව්වේ හැවෝම අප්පච්චිට දරුවෝ තෑගි දෙන්න පොරකෑවා. එහෙව් අතීතයක් අස්සෙන් ඇවිත් අජියා අද මහපාරේ අරගලයේ හැමතැනම ඉන්නවා.

ඇත්තටම කිව්වොත් මේ අරගලයේ මුලින්ම හිටගත්ත කලාකාරයා තමයි අජියා. අජියාට මේ අරගලය වෙනුවෙන් අලුතින් සින්දු ලියන්න හදන්න මියුසික් කරන්න දෙයක් නෑ. දශක ගානක් අජියා මේ විප්ලවය වෙනුවෙන් තමයි සින්දු ලිව්වේ සහ සංගීතවත් කළේ. ගැයුවේ. මේ ළඟදී මරාගේ මරණය කියලා පොඩි සිම්පනි ටයිප් එකේ වැඩක් අජියා බේකරිය අවකාශයේ කරනකොට මෙහෙම දෙයක් වෙයි කියලා, මෙහෙම අරගලයක් පාරට එයි කියලා අපි හිතුවේ නෑ. දැන් ඇත්තටම මරා මැරිලා. මළ කඳ තමයි ‘මම යන්නේ නෑ හාන්දුරුනේ’ කියලා කෑගහන්නේ. මිනී මැරුවා කියලා චෝදනා තියෙන ගෝඨාභය රාජපක්ෂ අනී මම ජනමතයට හිස නමන්නම් කියලා කොටුවේ ජනාධිපති ගෙදර හැංඟිලා ඉන්නේ.

ඒ හින්දා අජියයි මේ අරගලයයි වෙන් කරන්න බෑ. සංගීතය කියලා කියන්නේ මිනිස්සු ජීවත් වෙන විදිහ වෙනස් කරන, වෙනස් කරන්න බලපෑම් කරන ප්‍රබලම මාධ්‍ය කිව්වොත් හරි. ලෝකයක් වෙනස් කරපු සංගීත පිස්සෝ ඕනෑ තරම් ඉන්නවා. අජියා කියන්නෙත් ඒ වගේ පිස්සෙක්. අජියා මට මේ ළඟදී යෝජනාවක් ගේනවා, අපි මේ අරගලය ගැන සිම්පනියක් කරමු මචං කියලා. මම ඉතිං සල්ලි ටිකක් සොයාගන්න කියලා කීපදෙනෙක්ට කතා කළා. උන් මගෙන් අහනවා සිම්පනි කියන්නේ මොකද්ද කියලා. ඔන්න ඕකයි තත්ත්වය. සිම්පනි අපිට තවමත් කරගන්න බැරිවුණත්, අජියගේ මියුසික් ලංකාවේ කොල්ලෝ කෙල්ලන්ට දැනිලා ඉවරයි. ඒක උන්ගේ ලේවලට සෙට්වෙලා ඉවරයි. ඒක තමයි හතු පිපෙනවා වගේ පිපෙන මේ තරුණ බලයේ අරුමය..!

 

කේ. සංජීව

Social Sharing
නවතම විශේෂාංග