චින්තන ටැංකි අතර හතලිස් තුන – උදන් ප්‍රනාන්දු 

එය 1993 වසර විය හැක. මා එකල කළ රැකියාවේ කොටසක ලෙස ලංකාවේ විවිධ ක්‍රියාධර කණ්ඩායම් හා සම්භන්ධීකරණ  කටයුතු කරනට සිදු විය. සීදුව ලියනගේමුල්ල නම් ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ ලීගල් ඒඩ් සෙන්ටර් හෙවත් නීති ආධාර මධ්‍යස්ථානය නම් කුඩා නමුත් දැඩි බලපෑමක් කළ සංවිධානයක විය. මේ සංවිධානයේ වැඩ කටයුතු කෙරුණේ කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවක සේවිකාවන්ගේ වෘත්තීය අයිතීන් සුරක්ෂිත කිරීමේ අටියෙනි. කෙසේ හෝ, මේ සංවිධානයේ යම් අභ්‍යන්තර ආරවුලක ඇති වූ නිසා ඒ ගැන ස්වාධීන වාර්තාවක ඔවුනට ආධාර සැපයු එක්සත් රාජධානියේ පුණ්‍ය ආයතනයකට සම්පාදනය කිරීමේ වගකීම පැවරුණේ මට ය.  සීදුවේ අස්සක පිහිටි ඒ කුඩා කාර්යාලයට මා කිහිප වතාවක් ගියේ ආරවුලේ පාර්ශව මුණ ගැසීමට හා සංවිධානයේ ලිපිගොනු පිරික්සීමට ය. දුර්වර්ණ වූ රෝස හා කහ පයිල් කවරවල කොලපාට නූලකින් බෝ-ගැටයක් ගසා පිලිවෙලකට ගොනු කර තිබුණේ විවිධ නඩුකර, ලිපි වැනි ලේඛන ය. මේ ලේඛන මා පෙරලද්දී කොලයක් බිමට වැටිණ. එය අහුලාගෙන නැවත පයිල් කවරයට දමන්න පෙර නිකමට කියවන්න සිතුණේ එය නිල ලිපියකට වඩා පුද්ගලික ලිපියක ආකාරයෙන්, ඉරණ ලද ඇක්සයිස් පොතක පිටුවක ලියැවී තිබුණු නිසා ය.

හිතවත් (අහවලා) ලෙස පටන් ගෙන තිබුණ ඒ ලිපිය ආමන්ත්‍රණය කර තිබුණේ යට කී මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරකයාට ය. ආගිය තොරතුරු විමසීමෙන් අනතුරුව ලිපියේ මුඛ්‍ය කාරණයට පිවිස තිබුණේ මෙවැනි අකාරයකට ය: “කාලයක් තිස්සේ විවිධ පාර්ශව සමග අප කළ විවිධ දේශපාලන ක්‍රියාකරකම්වල දිගුවක් ලෙස, අපේ ම කියා දේශපාලන ව්‍යාපාරයක දියත් කිරීමට අපි දැන් පැමිණ තිබෙමු. එහි මුල් ප්‍රසිද්ධ රැස්වීම පැවැත්වෙන්නේ අහවල් දින කොළඹ මහජන පුස්තකාලයේ ය. එහි කථිකයින් වන්නේ පාඨලී චම්පික රණවක, ජානක ප්‍රියන්ත බණ්ඩාර හා අතුරලියේ රතන හිමි ය. ඔබගෙන් ඉල්ලා සිටිනුයේ පොඩි පිරිසක් එකතු කරගෙන මේ වැදගත් අවස්ථාවට සහභාගී වන ලෙස යි”. ලිපිය ලියා තිබුණේ බන්දුල චන්ද්‍රසේකර ය (ඔහු දැනුදු ජාතික හෙළ උරුමයේ ලේකම් ය).

මගේ මතකය අනුව මා ඊට පෙර චම්පික ව අවසාන වරට දුටුවේ ත්‍රිමා විතාරණ අවමගුල් පෙරහරේ ය. ඉන් පසු ව ඔහු ඇතුළු පිරිසක් රටවැසි පෙරමුණ නමින් දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කළේ එවකට ශ්‍රීලනිපයේ  මුල් පෙළ ක්‍රියාධරයන් ලෙස සිටි මංගල සමරවීර හා එස්.බී දිසානායක ඇතුළු පිරිසකගේ ක්‍රියාකාරිත්වය ද සමග ය. රටවැසි පෙරමුණේ පිරිසක එජාප රජය විසින් රාජ්‍ය කුමන්ත්‍රණ චෝදනාව මත අඩංගුවට ගෙන දින 21ක් රිමාන්ඩ් බාරයේ තබාගෙන ප්‍රශ්න කළ අතර අනතුරු ව එම පිරිස නිදහස් වී ආ ගමන් ම එක් වූයේ මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් සංවිධානය වූ පාද යාත්‍රාවට ය. තමන් හොරණ තක්ෂිලා විදුහලේ සිසුවෙක් ව සිටින කාලයේ චම්පික ජවිපෙ සමග ද යම් සම්බන්ධයක තිබුණු බව මා අසා තිබුණ ද එහි කාඩරයේ සිටි බවට නම් අසා නැත. 87-89 කාලයේ යම් අවස්තාවක අප හතර පස් දෙනෙකු තිස්ස බාලසූරිය පියනම සමග කොළඹ 10, ඩීන්ස් පාරේ කළ සාකච්චාවක ‘බාටා-දෙකක්’ ද දමාගෙන චම්පික උද්වේගකර  කතාවක කළේ අන්තරයේ නායකයෙකු ලෙස බව ද ඔහු සමග චින්තන කණ්ඩායමේ නායකයෙකු වූ පැස්කුවල් ද සිටි බවට බොඳ වුණු මතකයක් ඇත.  මීට පෙරාතුව මා චම්පික කිහිප වතාවක් ම ‘ඔස්ලෙන්’ නමැති පරිසර සංවිධානය (71’ජවිපෙ සම්භවයක ඇති වෛද්‍ය රාජා විජේතුංග විසින් ස්ථාපිත) තුල ද ක්‍රියාකාරී වනු මම දැක තිබුණෙමි. ඒ පූර්ව මිහිතල සමුළු (රියෝ ද ජනේරෝ, 1992) කාලයේ ය. පරිසරය, බලශක්ති අර්බුදය, පොසිල ඉන්ධන ක්ෂය වීමේ හැකියාව ගැන කතිකාව ජනප්‍රිය එකක වන්නට බොහෝ කලකට පෙර ය  චම්පික ඒ ගැන කතා කළේ. ඒ ගැන මට අද ද ඔහු කෙරෙහි ගෞරවයක ඇත. චම්පිකගේ අනන්‍යතාවයේ  හා නායකත්වයේ එක්තරා මල්වර වීමක සිදුවුණේ ජනතා මිතුරෝ දියත් කිරීමත් සමග බව මගේ හැඟීම ය.1994 දී පැවැති තීරණාත්මක ආණ්ඩුමාරුව (වසර 17 ක අඛණ්ඩ එජාප පාලනය අවසන් කොට) සඳහා චම්පික ඇතුළු ජනතා මිතුරෝ ද කටයුතු කළ හ.

ඉන් අනතුරුව චම්පිකගේ දේශපාලන ගමන මා දුටුවේ තරමක ඈතක සිට ය. ජාතික සංඝ සභාව (1996), ත්‍රස්ත විරෝධී  ජාතික ව්‍යාපාරය (1998),  සිහල උරුමය (2000), ජාතික හෙළ උරුමය (2004) ස්ථාපනය වුණේ ඔහුගේ තීරණාත්මක නායකත්වය යටතේ ය. මේ දේශපාලන ව්‍යායාමයන් මා පිළිකෙව් කළේ ඒවා එක් ජන වර්ගයක් හා එක් ආගමක් මත අනවශ්‍ය ලෙස සංකේන්ද්‍රණය වීම නිසා ය.  ජනවාර්ගික හා ආගමික අනන්‍යතාව මා අගය කරන නමුදු සිංහල, දෙමල, මුස්ලිම් පදනම මත දේශපාලනය ධ්‍රැවීකරණය මා දකින්නේ නිෂ්ඵල දෙයක ලෙසිණි. චම්පිකගේ කෝණයෙන් යට කී ප්‍රතිචාරය සාධාරණීකරණය කරන්නේ එකල දැඩි ආගමීක හා ත්‍රස්තවාදී තර්ජනයක් තිබුණ බව යි.  දැන් ඔහු කියන්නේ එවැනි සාධක දැන් සංදර්භයේ තව දුරටත් නැති නිසා ඒ අතීතයේ ගැළී සිටීම නිෂ්ඵල බවයි. කෙසේ හෝ ලංකාවේ ප්‍රධාන දේශපාලන ධාරවන් ද්වය සමග ම ඇමතිකම් කළ චම්පික තම කතාව ඇවිද පෙන්වීය. විෂයක ගැන තමනට ඇති දැණුම හා විශ්ලේෂණ හැකියාව පමණක නොව ක්‍රියාත්මක කිරීම හා කළමනාකාරීත්වය ඔප්පු කර පෙන්වී ය.

ඇක්සයිස් පොතක පිටුවක් ඉරා යට කී ලියුම ලියූ බන්දුල චන්ද්‍රසේකර ම මීට සති කිහිපයකට පෙර කදිමට මුද්‍රිත ආරාධනා පත්‍ර යවනට කාර්ය බහුල වුණේ චම්පිකගේ නායකත්වයෙන් වසරකට පෙර දියත් කරන ලද 43 සේනාංකය ව්‍යාපාරයේ ග්‍රෑන්ඩ් මොනාර්ක් සමුළුවට ය. 1993 දී ඇක්සයිස් පිටු ඉරා යවන ලද ලියුං කඩදහි ලැබ මහජන පුස්තකාලයට ආ පිරිසෙන් කොටසක් ග්‍රෑන්ඩ් මොනාර්කියට පැමිණියා විය හැක. එහෙත් එහි සතියකට පෙර සිටි පිරිස 1993 ට වඩා බොහෝ වෙනස් පුළුල් පසුබිමක් නියෝජනය කරන බවක් පෙන්වී ය. වඩා වැදගත් වන්නේ ග්‍රෑන්ඩ් මොනාර්ක් පෝඩියම අබියස සිට ගත් චම්පිකගේ වෙනසයි. ශූර කථිකත්වය, විචක්ෂණභාවය හා පෘථුල විෂය දැනුම චම්පිකට මා ඔහු ඔස්ලෙන් හී දකින විටත් තිබිණ. වයසට යාම නිසා අමුතුවෙන් පෑදුණු නුවණක් ද නැතැයි කියන්නේ එකල ද චම්පික සිතුවේ පප්පා කෙනෙකු ලෙසිණි. එසේ නම් 2022 දී මතු වී ඇති වෙනස කිම?

තින්ක් ටෑන්ක්ස් නමින් හඳුන්වන දේශපාලන පක්ෂවලට හා ආණ්ඩුවලට ආණ්ඩුකරණය සම්බන්ධයෙන් බුද්ධිමය අදහස් හා ප්‍රතිපත්ති සම්පාදනය කරන බලවත් සංවිධාන ප්‍රභේධයක් තිබේ. බෘකින්ස් හා හෙරිටේජ් උදාහරණය ය. ඒවා සමග සැසඳීමේ දී  ‘වියත්මග’ හා ඊට පූර්වගාමී වූ ‘එළිය’ පෙට්ටි කඩ වැනි ය. වියත්මග කොපියක ලෙස ගෙන ජවිපෙ විසින් ඇටවුණු විද්වත් සංවිධාන ගොන්න ද පෙට්ටි කඩවලට වඩා ලොකු වෙනසක් නැත. පක්ෂය විසින් දෙන ලද බුලත් දුංකොළ ටික ගෙන මහැදුරුවරුන් විසින් ඔතන ලද විට ය ඒවායේ විකිණෙන්නේ . වියත්මගේ වියත් බව තමන් උපදෙස් දුන් ආණ්ඩුවේ මෙතෙක් කළ කෙරුවාවෙන් ඔප්පු වී හමාර ය.

මීට වසරකට පෙර 43 සේනාංකය තවත් ව්‍යාපාරයක් ලෙස  ඇටවෙණ විට මට ඈනුමක් ගියේ ය. එහෙත් එහි ආරම්භක රැස්වීමට සූම් මාර්ගයෙන් සම්බන්ධ වීමට සිතා ගත්තේ වෙන්නේ කුමක් ද යන සාමාන්‍ය කුතුහලය නිසා ය. එදින වැඩසටහන ගෝල් ෆේස් හෝටලයේ සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් (එකල පැවැති කෝවිඩ් සීමා නිසා) පැවතුණ අතර මා ඇතුළු තුන් සීයක වැනි පිරිසක් අදාළ සූම් ප්ලැට්ෆෝමයට ලොග් වී, වැඩසටහන පටන් ගන්න තුරු තරමක වෙලාවක් රැඳී සිටිය හ. ඒ අතර සිංහල නොතේරෙණ මගේ බිරිඳ මගෙන් ඇසුවේ සූමය කුමක් ද යන්න ය. මා ඈට ඉංග්‍රීසියෙන් දුන් පිළිතුර චම්පිකගේ ජාතිවාදී හා ආගම්වාදී නැමියාව කැටිකරගත් උපහාසාත්මක එකක විය. එසැණින් ම මට ආචාර්ය රාම් මානික්කලිංගම්ගෙන් දුරකථන ඇමතුමක් ලැබිණ. “යකෝ, උඹ ඔය කියන දේ අපි හැමෝට ම ඇහෙනවා” යී රාම් කොළඹ සිට ගිගුළ අතර මට එවිට ය සිහි වුණේ සූම් හී මගේ මගේ මයික්‍රපෝනය මා අක්‍රිය (මියුට්) කොට නැති බව !

වසරකට පසු පැවතුණ 43 සේනාංකයේ මොනාර්ක් රැස්වීම ගැන ද මගේ ලොකු අපේක්ෂා නොවී ය. මා එය නැරඹුවේ දිනකට පසු ව ය.  එහෙත් එම ශාලාවේ සිටි පිරිස, ඔවුන්ගේ විවිධත්වය හා ඔවුන් නියෝජනය කරන පසුබිම් මා මවිතයකට පත් කළේ ය. චම්පිකගේ එදින කතාවේ අන්තර්ගතය හා අවධාරණය දේශපාලන වේදිකාවල කෙරෙන කතාවලින් සහමුලින් ම වෙනස් එකක විය. එහි සාරය ලෙස මා දුටුවේ ආසන්න අර්බුදයෙන් ගොඩ ඒමට හා ඉන් ඔබ්බට ගමන් කිරීමට අවැසි ගැඹුරු කතිකාවක් හා බරපතල නායකත්ව අන්තර්ගතයක් (ලීඩර්ෂිප් මෙටීරියල්) ලෙසිණ. චම්පිකගේ කතාව ගැලරියට නොවැදුණත්, අදාළ කොටස්වලට සන්නිවේදනය වී ඇති බව පෙනෙයි. එහි ගම්‍යතාව හෙවත් මොමෙන්ටමය ගොඩනැගෙන්නේ කෙළෙස ද යන්න මේ දේශපාලන මොහොතේ වැදගත් කාරණයක බව කිව යුතු ය.

අනිද්දා පුවත්පතේ පළවෙන මෙම කොලම උදන් ප්‍රනාන්දුගේ මුහුනු පොතින් උපුටාගනු ලැබීය

 

Social Sharing
නවතම විශේෂාංග