13ක් නිදහස්!

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව රැස්වීමට ආසන්න වත්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන සිටි තවත් සැකකරුවන් දහතුන් දෙනකු මුදා හැර තිබේ.

එරාවුර් පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන මාස 13 ක් සිරගත කොට සිටි කේ.සෝබනන්, වයි.යෝගේෂවරන්, වී.විවේක් සහ කේ.ජෙගනාදන් යන තරුණයන් සිව්දෙනා නීතිපති උපදෙස් මත රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත නිදහස් කර ඇත්තේ එරාවුර් වැඩ බලන මහේස්ත්‍රාත්වරිය වන කරුපයියා ජීවරාණි විසිනි.

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ සේයාරුවක් ඔවුන්ගේ ‘ෆේස්බුක්’ පිටුවල හුවමාරු කර ගැනීම හේතුවෙන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ චෝදනා කරමින් මොවුන් සිව් දෙනා පොලිසිය මගින් 2020 නොවැම්බර් 26 සහ 27 දින වල අත්අඩංගුවට ගෙන තිබේ.

ලංකා රජය  මගින් තහනම් කරනු ලැබූ සංවිධානයක නායකයකුගේ ජායාරූප පළ කිරීම හා එකිනෙකා අතර හුවමාරු කිරීම ලෙස පොලිසිය ඉදිරිපත් කළ චෝදනාවලට එරෙහිව තරුණයන් සිව් දෙනා වෙනුවෙන් පෙනී සිටී නීතිඥ ටී.ජෙයසිංහම් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් පසුගිය 02 දා සලකා බැලු මහේස්ත්‍රාත්වරිය ඇප නියම කළාය.

චෙන්කලඩි, එරාවුර්, චිත්තාන්ඩි සහ අයියන්කේනි ප්‍රදේශයන් හි ගම්වැසියන් වන මොවුන් සිව් දෙනාට සෑම මසකම පළමු ඉරිදා එරාවුර් පොලිසියේ පෙනී සිටින ලෙස ද අධිකරණය නියෝග කොට තිබේ. මේ අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා ගෙන සිටී සැකකරුවන් 9 දෙනකු රුපියල් ලක්ෂ 50 ක ශරීර ඇප මත නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 02දා නියෝග කර තිබේ.

Social Sharing
නවතම