විවිධාකාර ගිනස් වාර්තා සිය දහස් ගණනක් ඇති බව අප දනිමු. මෙයින් බොහෝ වාර්තා එවැනි වාර්තාවක් පිහිටුවීමේ අරමුණින්ම යම් යම් පුද්ගලයන් විසින් ගත් උත්සාහයන්ගේ ප්‍රථිපලයන්ය. එසේ නොවන අනෙක් ඒවාද, එවැනි වාර්තාවක් පිහිටුවීමේ අරමුණින්ම නොකලද, වාර්තාවක් බිහිවීමේ අවකාශය දැනගෙන කල කී දෑය.
මේ දෙවර්ගයටම අයත් නොවන අපූරු ලෝක වාර්තාවක්ද තිබේ. එය නම් ලොව යම් කිසි රටක් වෙතින් සිදු කරන ලද දරුණුතම සොරකම වෙනුවෙන් වූ ලෝක වාර්තාවය. මෙයට හිමිකම් කියන්නේ 1965 සිට 1986 තෙක් වසර විසි එකක් පිලිපීන රට පාලනය කල ෆර්ඩිනන්ඩ් මාර්කෝස් නම් ජනාධිපතිවරයාය. ඔහු පුද්ගලයකු ලෙස ඍජුවම එරට රාජ්‍ය දේපල වලින් මංකොල්ල කන ලද මුළු මුදල ඩොලර් බිලියන 10ක් පමණ වෙතැයි සැලකේ. අවස්ථා ගණනාවකදී ඔහු විසින් එරට මහ බැංකුවෙන් මංකොල්ල කන ලද ඩොලර් මිලියන හයසියයක් පමණ වන මුදලද මීට ඇතුලත්ය.
1962 වසරේදී පිලිපීනයේ සෙනට් මණ්ඩල සභිකයන් තෝරාගැනීමේ ඡන්දය අභිමුව ඉතාමත්ම සිත්ගන්නා සුළු ප්රචාරක ව්‍යාපාරයක් දියත් විය. මේ ප්රචාරක ව්‍යාපාරය වෙතින් ජනතාවට හඳුන්වා දුන්නේ ඉන් ඉකුත් දශක දෙක තුලදී එරට වෙනුවෙන් දිවි හිමියෙන් සටන් වැදුණු හමුදා නායකයෙක්වය. එම ප්රචාරක ව්‍යාපාරයට අනුව දෙවන ලෝක යුද්ධයේදීත් ඉන් අනතුරුවත්, මිත්‍ර පාක්ෂික හමුදා මෙන්ම ජපන් හමුදා සමගද විවිධ ගැටුම් මෙන්ම ගනුදෙනුවලට යමින් පිලිපීන ජනතාවට, “ජීවත් වන්නට රටක් ඉතුරු කොට තිබුනේ” මේ හමුදා නායකයා විසිනි. මේ කියන යුධ ක්‍රියාන්විත වලට කලියෙන් වැඩිපුර දෙනෙක් නොදැන සිටි හමුදා නායකයකු මෙන්ම ඉතා පහල මට්ටමේ දේශපාලන නායකයකුද වූ මොහු ගැන අධිකරණය සහ නීති පද්ධතිය නම් හොඳින් දැන සිටියේ, තම ප්‍රතිවාදීන් ඝාතනය කිරීම් චෝදනා බර ගණනක් ඔහුට ඒ වන විටත් එල්ල වී තිබුණු නිසාය.
මේ වෙනින් කිසිවකු නොව ෆර්ඩිනන්ඩ් මාර්කෝස්ය. වසර දෙකක් පමණ පිම්මේ දිවූ මේ ප්රචාරක ව්‍යාපෘතිය සාර්ථක විය. 1965 දී ෆර්නැන්ඩෝ මාර්කෝස් රටේ නායකත්වයට පත් විය.
ඔහු බලයට පත් වුනු විගසම සිදු කළ දෙයක් නම් තමන්ට හිතවත් වූ හමුදා නිලධාරීන් බර ගණනක් රටේ විවිධ ආයතනවල ප්‍රධානී තනතුරු වලට පත් කිරීමය. ඉන් පසු ඉතාම අධික පොලියට දසතින් ණය ලබාගත් ඔහු රට පුරා විවිධාකාර ඉදි කිරීම් කරන්නට පටන් ගත්තේය. රටේ බහුතර ජනගහනයක් මූලිකම අවශ්‍යතා පවා සපුරා නොගෙන සිටි පසුබිමක් යටතේ මාර්කෝස් ජනාධිපතිවරයාගේ අවධානය යොමු වූයේ නගර අලංකරණය, විනෝද උද්‍යාන ඉදි කිරීම, විශාල සාප්පු සංකීරණ ඉදි කිරීම වැනි දේ කෙරෙහිය. හෙක්ටයාර් දෙසිය විස්සක් පුරාවට ඉදි කෙරුණු “පිලිපීන සංස්කෘතික මධ්‍යස්ථානය (Cultural Center of the Philippines Complex)” මෙවැනි මුල් කාලීන ජනප්‍රිය ඉදි කිරීමක් විය. එය මෙම කලාපයේ මුලින්ම ඉදි කෙරුණු එම පන්නයේ විනෝද සංකීර්ණයක්ද වුනු බව කියවේ. ගිනි පොලියට ලබා ගත් ණය වලින් විශාල මුදල් වියදම් කරමින් රූප සුන්දරී තරඟ, සිනෙමා උළෙල වැනි දේ සංවිධානය කෙරිණි. මේ සියල්ල යටින් සොරකමද වේගයෙන් සිදු විය.
මුල් අදියරේදී මේ නව ඉදි කිරීම් සහ පිලිපීන අගනගරයට ඒවායින් ලැබෙන ආලෝකය එරට වැසියන්ට මහත් ආශ්වාදයක් විය. නමුත් අර්බුධය පටන් ගන්නේ ඔහුගේ පාලනයේ දෙවැනි වාරය ආරම්භ වීමෙන් අනතුරුවය. අති විශාල ණය කන්දරාවක් ගෙවීමට රටවැසියාට සිදු වී තිබුණු අතර එම ණය ආයෝජනය කොට තිබුනේ සත පහක හෝ ආදායමක් ලැබෙන ව්‍යාපෘති තුල නොවේ. ලබා ගත් ණය වලින් වැඩි කොටසක් ඒ ලබා ගත් රටවලටම නැවත ඇදී ගියේ කොන්ත්‍රාත් වැනි දේ හරහා ය.
විවිධාකාර ව්‍යාපෘති හරහා වක්‍රාකාරව කිරීමෙන් නොව, ඍජුවම රටේ මහ බැංකුවෙන්ම මංකොල්ල කෑ හැකි බව මාර්කොස්ට වැටහුනේ මින් පසුවය. මහබැංකුවේ මුල් පුටුවට සොරකමෙහි දක්ෂ තම අන්තේවාසිකයකු පත් කරගත් ඔහු එතනින් පසුව ඉතා පහසුවෙන් භාණ්ඩාගාර බිල්පත්, බැඳුම්කර වැනි දේ ආධාරයෙන් සීග්‍ර ලෙස මහ බැංකුවෙන් මුදල් සොරකම් කරන්නට විය. උක්ත කී ලෝක වාර්තාවට ඔහු යන්නේ ඉන් අනතුරුවය. මීට සමගාමීව හමුදා අංශ තවතවත් ශක්තිමත් කෙරුණු අතර, විරුද්ධ මතයක් යයි සිතිය හැකි ඕනෑම දෙයක් අනුකම්පා විරහිතව මර්ධනය කෙරිණි.
මේ අතරතුර රටේ ජනතාවගේ ජීවන තත්වය පියවරෙන් පියවර පිරිහෙන්නට විය. පිලිපීන අගනගරය අපරාධ කරුවන්ගේත් මංකොල්ල කරුවන්ගේත් පාරාදීසයක් බවට පත් වීමට වැඩි කලක් ගත වුණේ නැත. රටේ ජනයා හාමතේද, රෝ බියෙන්ද, සකලවිධ ක්ෂේත්‍ර වල අවිධිමත් බවින්ද පීඩා විඳින අතරතුර මාර්කෝස් පවුල සහ ඔවුන්ට හිතවත් නිලධාරි කාටලය ඉතා සුඛෝපබෝගී ජීවිත ගත කරන්නට විය.
වසර විස්සක පාලනයකට පසුවත් පිලිපීනය මාර්කෝස් ගෙන් ගැලවෙන්නේ ලෙයින් යකඩින් අති විශාල වන්දියක් ගෙවීමෙන් අනතුරුවය. ඔහුව බලයෙන් පහ කිරීමට ක්‍රියාත්මක වුනු උද්ඝෝෂණ සහ සිවිල් කැරළිවලදී තරුණයන් මිය යන්නේ සිය ගණනින් නොවේ නම් දහස් ගනනිනි. ඒ සිදුවීමෙන් දශක තුනකට වඩා ගෙවී ගිය මේ මොහොතේදීත් පිලිපීනය නැවත නැගී සිට නැත. මර්කොස්ගෙන් පසු අවධියකදී එරට ලෝකයේ නොම්මර එකේ කුඩු ජාවාරම්කාර තිප්පොළක් වන අතර සෑම නාගරික තරුණයන් පහෙන් එක් අයකුම ඍජුව හෝ වක්‍රව කුඩු ජාවාරමේ බලපෑමට හසු වන තත්වයකට පත් වේ. මේ අතරතුර තරුණියන්ගේ පහසු ජීවන් වෘත්තීය බවට පත් වන්නේ ගණිකා වෘත්තියයි. මේ ද්වයම ආශ්‍රිතව එරට කේන්ද්‍ර කොටගෙන සුවිශාල මිනිස් ජාවාරමක් ආරම්භ වන අතර මේ ත්‍රිත්වයම අද වන තෙක්ම එරට ඉතා සක්‍රීයව ක්‍රියාත්මකය. මීට වසර කීපයකට ප්‍රථම එරට කුඩු ජාවාරම ආශ්‍රිතව සිදුවුණු වෙඩි තැබීම් වලින් මාස හයක් තුලදී මිය ගිය ගණන හයදහසකි. මාර්කෝස් ගේ සාපයෙන් ගැලවී දශක තුනක් ගත වන තැනදීත් රටේ ඉරණම කුමනාකාරයේ එකක්ද යන්න වටහා ගැනීමට ඒ ප්රමාණවත්ය.
මාර්කෝස් ගේ බලවත්ම ආයුධය වුයේ ජාතිකවාදයයි. රටේ ආරක්ෂාවයි. එපිටින් දමා ඔහු විසින් කරනු ලබන ඕනෑම සාහසික ක්‍රියාවක්, සොරකමක් සාධාරණීකරණය කරන පුහුණු පිරිසක් එරට සිටියහ. මොවුන්ගේ දෙඩුම් බස් වලටත් ලේ කුපිත කරවන සුළු කතා වලටත් හසු වුනු වන්දිය ඉන් පරම්පරා දෙකකට පසු තවමත් පිලිපීන වැසියන් ගෙවමින් සිටිති.
උපුටා ගැනීම : දිනෙත් මල්ලිකාරච්චිගේ ෆේස්බුක් පිටුවෙන් ය.