බැසිල් – ගෝඨා අවුලට බෙල්ල දුන්න, මිල්කෝ උස්සපු ලසන්ත

පාඩු ලබන රාජ්‍ය ආයතන ලාභ ලබන මට්ටමට උස්සනවා කියන්නේ ලේසි නෑ. ඒකට ඒ ක්ෂෙත්‍රය ගැන දැනුමක් තියෙන හොඳ පරිපාලන හැකියාවක් තියෙන මනුස්සයෙක් ඒ ආයතනයේ උසම පුටුවට එන්න ඕනෑ. අපේ රාජ්‍ය ආයතනවලට එහෙම මිනිස්සු එනවා අඩුයි. අපේ රාජ්‍ය ආයතනවල ලොක්කෝ විදිහට ගොඩක් වෙලාවට පත්වෙන්නේ දේශපාලන එහෙයියෝ. නැත්තං අදාළ අමාත්‍යවරයාගේ පවුලේ සාමාජිකයෙක්, හිතවතෙක්. දැන්නම් ඉතිං රාජපක්ෂ පවුලට සම්බන්ධයක් තියෙන පුද්ගලයෙක්. නැත්තං පොහොට්ටුවට සම්බන්ධ කෙනෙක්. දැනුම පළපුරුද්ද නායකත්වය ඒවා පයිසයකට මායිම් කරන්නේ නෑ මේ පත්වීම් කරද්දී. ඒත් පසුගිය කාලේ මිල්කෝ ආයතනය පැත්තෙන් ආපු ආරංචි කීවේ වෙන කතාවක්. පාඩු ලබපු මිල්කෝ දැන් ලාභ ලබනවා කියලා තමයි ඒ කතාව. ඒකට හේතුව මිල්කෝ සභාපති විදිහට ලසන්ත වික්‍රමසිංහ පත්වීම. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් ගණිතය පිළිබඳ උපාධිය අරගෙන තිබෙනවා. දැනගන්නට තියෙන විදිහට නිෂ්පාදන කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ඔහුට තියෙනවා. මේවා නෙවෙයි වැදගත්, ඔහු මිල්කෝ එකට මොකද කළේ කියන එකයි වැදගත්.

ඔහු දක්ෂ‍යෙක්

සිළුමිණ කියන විදිහට 2017 / 2018 කාලේ මිල්කෝ ආයතනය රුපියල් මිලියන හයසීයකට වඩා වැඩි පාඩුවක් ලබලා තියෙනවා. 2019 දී විතරක් ලබපු පාඩුව මිලියන 800ක් කියලා තමයි මිල්කෝ ගැන තොරතුරු වාර්තා කරන සිළුමිණ කියන්නේ. ඒත් 2020 වෙනකොට මේ තත්ත්වය වෙනස් වෙලා මිල්කෝ ලාභ ලබන ආයතනයක් වෙනවා. ඒකට හේතුව මේ සභාපතිවරයාගේ පරිපාලනය. 2020දී මිල්කෝ ලබපු ශුද්ධ ලාභය මිලියන 417ක්. 2021 දීත් මිලියන 400ක් ලාභ ලැබුවා කියලා තමයි කතාව.

මෙහෙම දක්ෂයෙක් ඇයි හිටි හැටියේ අයින් කරලා වෙන කෙනෙක් මේ පුටුවට දැම්මේ? මේ ප්‍රශ්නයට ආණ්ඩුව පැත්තෙන් එන ආරංචි කියන්නේ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර ලිට්‍රෝ සභාපති අයින් කිරීම නිසා ඇතිවුණ අවුල සමනය කරන්න තමයි මේක කළේ කියලා.. ඒ කතාව මොකද්ද? අපි දන්නවා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ නියමයෙන් ලිට්‍රෝ සභාපති තෙසාර ජයසිංහ එම තනතුරෙන් ඉවත් කරන්න කටයුතු කළා. තෙසාරව ඉවත් කරලා ඒ තනතුරට ගෙනාවේ රේණුක පෙරේරා. මේ අයින් කිරීම සහ පත් කිරීම ගැන ජනාධිපති ලිට්‍රෝ පරීශ්‍රයට ගිහිං කීවේ, තමන් මේ ගැන කිසිඳු දෙයක් දන්නේ නෑ කියලා. අන්තිමට අලුතින් ලිටෝ එකට පත්වෙලා ආපු පොහොට්ටුවේ පරිපාලන ලේකම් රේණුක පෙරේරා ට හිස් අතින් ගෙදර යන්න වුණා. ඔහු එහෙම ගෙදර ගියාට මේක පොහොට්ටුව අස්සේ විශාල අවුලක් හැදුවා කියන එක තමයි දැනගන්නට තියෙන්නේ. අවසානයේ මේ අවුල සමනය කරන්න නම් පොහොට්ටුවේ පරිපාලන ලේකම් රේණුක පෙරේරාට තනතුරක් දෙන්නම වෙනවා කියන එක රාජපක්ෂවරුන්ට තේරෙන්න ඇති.

මිල්කෝ නැඟ්ගුවාට කිම්? පොහොට්ටුව බහිනවා නම්..

මේ අවුලේ අවසාන ප්‍රථිපලය තමයි දක්ෂයෙක්ගේ බෙල්ල ගහලා යාම. අන්තිමට මිල්කෝ සභාපති ලසන්ත වික්‍රමසිංහට තමන්ගේ පුටුව රේණුක පෙරේරාට දෙන්න වෙනවා. මේක ගැන ලසන්ත වික්‍රමසිංහගෙන් මාධ්‍ය ඇහුවාම ඔහු කියනවා වැඩේ ඇත්ත ඒත් අයින් කරන්න හේතුවක් දන්නේ නෑ තමන්ට කියලා නෑ කියලා. තමන් අදාළ අමාත්‍යවරයාගෙන් අහන්න උත්සාහ කළත් දූරකථනය ආන්සර් කළේ නෑ කියලා ඔහු කියනවා. මේක තමයි රාජ්‍ය පරිපාලනයේ ඛේදය. දේශපාලන පත්වීම්වල අනුහස. රේණුක පෙරේරා කියන්නේ නිකං දේශපාලන චරිතයක් විතරයි. ඔහු නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති විදිහටත් වැඩකරලා තියෙනවා. ඒත් කරපු දෙයක් ගැන කතාවක් නෑ. මේක තමයි රාජ්‍ය ආයතන කාබාසිනියා වීමේ ඇත්තක අරුමය.

කේ. සංජීව

Social Sharing
නවතම