කොරෝනා සමග අතුරුදහන් වුණ සිරගෙදර මනුස්සකම!

Prisoners embarrassed by covid incident

(සිරකරුවන්වීම නිසා රෝගීන්ට වෙනස්කොට සැලකීම ගැන කතාවක්!) – පුෂ්පා වීරසේකර

1897 අංක 03 දරණ නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනතේ ප්‍රතිපාදන අනුව, කොවිඩ් රෝගයට ගොදුරුවන සිඟන්නාගේ පටන් කෝටිපතියන් දක්වාවූ සියලු රෝගීන් සම වරප්‍රසාද ලැබීමට හිමිකරුවෝය. සිපිරිගෙදර තාප්පයේ  ‘සිරකරුවෝද  මනුෂ්‍යයෝ‍’ යැයි ප්‍රසිද්ධ කර ඇතත් සිරගතව සිට කොරෝනා රෝගයට ගොදුරුවූ රැදවියන් පවසන්නේ තමන් රෝගීන් වුවද, රැඳවියන් වීම නිසා තමන්ට බන්ධනාගාරය තුළදී මනුෂ්‍ය සැලකුම් නොලැබුණ බවය. එසේම රෝගියෙකුට මුහුණදීමට අපහසු අමනුෂ්‍ය සැලකුම්වලට මුහුණදීමට සිදුවුණ බවය.

අනුරාධපුර හා වාරියපොළ බන්ධනාගාරවල සිට එම අත්දැකීම්වලට මුහුණදුන් ඔවුන්ගේ දුක්ගැනවිල්ල තියුණුය. එයිනුත් කොරෝනා ආරම්භයේ සිටම ආන්දෝලනයට ලක්වූ අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන්ගේ  කතා වඩාත් තියුණුය. ඒ කතා හරිහැටි තේරුම් ගැනීමට නම් අප හරිහැටි නොදන්නා සිරගෙදර තාප්පයෙන් ඇතුළත ගැන ප්‍රථමයෙන්ම හොඳ චිත්තරූපයක් මවාගත යුතුය.

තාප්පයෙන් ඇතුළත කොරෝනා වාට්ටුව

අනුරාධපුර  එල්ටීටීඊ, ඊ02 , ඊ01 වාට්ටුවලින් කොරෝනා රෝගීන් වාර්තාවීම නිසා වාට්ටු වසා දමා ඇත්තේ මාස කිහිපයක සිටය. එවිට කෑම, තේ පෝලිම් හෝ පෙරට්ටු නැත. එය සිරකරුවන්ගේ පසින් ගත්විට දිනකට දෙතුන්වරක් එහා මෙහා යෑමට තිබූ එකම අවස්ථාවත් අහිමිවීමකි. ස්නානයෙන් පසු එකම ඇඳුම අදින්නන්ට එය ඉක්මනින් වේලා ගැනීමක් හෝ අව්ව තැපීමක් නැත. බලධාරීන් පවසන්නේ එළියෙන් එන සියලු දෙනා නිරෝධායනය අනිවාර්ය නිසා වසා දමන බවකි.

ඊ02 , ඊ01 යනු අඩි 80×30 පමණ දෙමහල් ගොඩනැගිල්ලකි. යට ඇති ඊ01 වාට්ටුව අඩි 12ක උසැති බිත්තිවලින් වටවූ කාමර 9ක් සහිත වූවකි. බිත්තිවල අඩි 8ක් උසින් අඩි 3×4 ක් වැනි කුඩා කොටසකට යකඩකූරූ ගසා ඇත. වෙන ජනේල නැත. වාතාශ්‍රයක් වාට්ටුවට ලැබෙන්නේ නම් මේ යකඩකූරු අතරිනි. මිනිසුන් සියයක් පමණ සිටින වාට්ටුවක කොරෝනා මාරයා පැරදීමට අවැසි ඔක්සිජන් පෙණහලුවලට දමා ගැනීම සැබවින්ම යුද්ධයකි. රාත්‍රියේ මෙන්ම දහවලත්  දහඩිය දැමිම උග්‍රය. විදුලි පංකා කීපයක් තිබුණත් එක්කෝ වැඩ නැත. නැත්නම් සුළං නැත.

වර්ග අඩි 60 ප්‍රමාණයේ කොටසක්  කාමරයකි. එවැනි තැනක මිනිසුන් දහයක් සිටීම සාමාන්‍ය දෙයකි. බිත්තිවල කකුල් වදින සේ දිග අතට එකිනෙකා ගෑවි නිදා ගත යුතුය. අලුතින් එන සිරකරුවන්ට නිදාගැනීමට ඇත්තේ කාමරවලට එහා මෙහා යෑමට ඇති දිග තීරුවය. යමෙකු නිදහස්ව ගිය විට කාමරයකට අවස්ථාව හිමිය. දහවලට එහි නිදාගැනීම ඉතා අසීරුය. මන්දයත් සිරකරුවන් තමන්ට මානසික ආතතිය දුරු කරගැනීමට එහි සක්මන් කරන නිසාත්, ඇතැමුන් පාන්දර 5 සිට රාත්‍රී 10 දක්වා දමා ඇති රූපවාහිනිය නරඹන නිසාත්ය.

මුදල්, සබන් සහ මාස්ක් අල්ලස්

ගෙදරින් ‘විසිට්’ නාවොත් එකම මාස්ක් එක, එකම ඇඳුම ඇඳන් සිටීම සුළභ දසුනකි. ස්නානයෙන් පසු තුවායක් හැද රෙදි වේලෙනතුරු සිටිය යුතුය. තුවාද හැමෝටම නැත. ඇති අය අනික් අය හා හුවමාරු කළද ඇතැමුන් හුවමාරුවට අකමැතිය.  නිවෙස්වලින් ගෙන එන කිසිවක් ඇතුළට ගන්නේ නැත. ඒ රෝගය ඇතුළට ඒම පාලනය කරන තවත් විදියකි. එහෙත් එය රැදවියන්ගේ පිරිසිදුව සිටීමේ හිමිකම කඩකිරීමකි. එය අක්‍රමිකතා සිදුවීමටද හේතුවකි. කෙනෙක් බන්ධනාගාරයට යැවීමට පෙර පවුලේ අය විසින් බන්ධනාගාර නිලධාරියකුට අඬා දොඩා කීයක් හෝ අතමිට මොලවා ඔවුන්ටත් සමග සබන්, මාස්ක් ආදී සනීපාරක්ෂක දෑ යැවිය යුතුය. ඇදුම් දීම නම් ටිකක් අසීරුය.

බන්ධනාගාර සුබසාධක සංගමයට මුදල් බැඳී විට ඇදුම්, කෑම බීම මිලට ගත හැකිය. වෙළදපොළේ රුපියල් 100ට විකිණෙන බාලම රෙද්දේ කොටකලිසමක් රුපියල් 450කි. එය මිල අඩුම ඇඳුමය. අච්චු සිරකරුවන්ට නම් ඇදුමක් නොමිලයේ ලැබෙන නමුත් අනික් රැඳවියන්ගේ ඇඳුම් තත්ත්වය ශෝචනීයය‍.   කාන්තාවන් සම්බන්ධ තත්ත්වය මෙයටත් වඩා අන්ත හා ශෝචනීයය.

ඇප ලැබුණ විට කරන PCR පරීක්ෂණයේ ප්‍රතිඵල එනතෙක් වෙනම වාට්ටුවකය. පසුව රෝගීන්ව යාපනය, අයියකච්චි කඳවුරටය. හමුදා පුහුණු පාසලක් වන එහි නේවාසිකයින් 350කට සරිලන පහසුකම් සහිතය. සෙස්සෝ දින14ක නිරෝධායනයට යටත්ව ගෙදර යවති. මෙහි භයානකත්වය ඒ වෙනතෙක් ඔවුන් දින කිහිපයක් රෝගීන් සමග සිටිමය.

මේ පසුගිය අගෝස්තු මුල සිට අවසානය දක්වා එහි සිටි අයගෙන් ඇතැමෙකු කියූ කතාය. ‘හඳුනා ගත්තොත්නම් ගුටි, නැත්නම් සෙල්’ යැයි පැවැසූ නිසා ඔවුන්ගේ සැබෑ අනන්‍යතාවයන් ආරක්ෂා කළ යුතුය. මේ ඔවුන් තමන් හඳුන්වාදීමට කැමතිවූ වෙනත් නම්ය.

මැදවච්චියේ අමිල කිත්සිරි රෝගීන්ට ලැබෙන සැලකිලි විස්තර කළේ මෙසේය.

උණ බලන්න කීවාම ගුටිලැබෙන හැටි!

‘‘මම ගියේ අගෝස්තු මුල. මාව දාපු කාමරේ අයට කොරෝනා තිබ්බේ නෑ. වාට්ටුවේ අනික් කාමරවල දෙතුන් දෙනාට තිබ්බා. ඒත් අපි නාන්නේ එකම බාල්දියෙන්. යන්නේ එකම ටොයිලට්වලට. ඇදුම් නැති නිසා හුවමාරු කරන් අදින්නේ. සතියක් වෙද්දි හැදිලා නැති, ඇති අය කවුද හොයන්න බෑ. හවස් වෙද්දි මුළු වාට්ටුවටම උණ. ලෙඩ්ඩුන්ගේ කෙඳිරිය, වේදනාව විතරයි රෑට ඇහෙන්නේ. වාට්ටුවම නිදි නෑ. හොදටම අමාරු වුනාම කෑ ගහල කීවාම අච්චුපාටි කෙනෙක් උදේ ඇවිත් උණ බලන්න එනවා. එතකොට උණ අඩුයි, එක්කෝ උණ බැහැලා. සහලෝල උණ තියෙනවා කියල කියපු අයට බැනලා එයා යනවා. මේක බලන් ඉන්න බැරිව එක කාමර පාටි කෙනෙක් උණ බලන්න එන පාටිට කෑ ගහල කීවා උදේට කාටවත් උණ නෑ. රෑ අටට විතර උණ බලන්න එන්න කියලා. ඒත් එයාට හම්බුණේ ගුටි විතරයි.”

‘‘හිරකූඩුව වහපුවාම රෑට මොන ප්‍රශ්න ආවත් අරින්නේ උදේට. ඒ ආපුවාම රෑ කෑ ගහපු කෙනාව හොයලා පාටිල, මහත්වරුන් ගහනවා. අසාධාරණවලට කතා කරොත් බැනුම්, ගුටි නැත්නම් සෙල් එකකට දානවා. කෙටි කාලෙකට ඇවිත් යන අපට වඩා අවුරුදු ගණන් ඉන්න අච්චුපාටිලා බොරුවක් කීවත් ඒ දේ මහත්තුරු අහනවා. ඇරත් අච්චුපාටිලාට අඩුපාඩුවත්, ලෙඩවත් කීවට වැඩක් නෑ.  දවසක් එහෙම රණ්ඩුවක් වෙලා සීයක් විතර ඉන්න වාට්ටුවකට පෙනඩෝල් පෙති 20ක් දුන්නා. එච්චරයි!

‘‘මහත්තුරු ගහන ඒවයේ කතානම් හිරේදී අනන්තයි. සමහර අය මම හිටි වාට්ටුවේ කොල්ලෙක්ට ආව දවසේම එක මහත්තයෙක් කාමරේක දාගෙන එයාගේ බෙල්ට් එකෙන් ගහලා. එයාට ඒ ගහපුවාගේ අමාරුව හිරෙන් එනකනුත් තිබුණා. එයා මාස දෙකකට කලින් ආව කෙනෙක්. සමහර මහත්තුරු 33000 කේබල් තියන් ඉන්නේ කට්ටියට ගහන්න.  මෙහෙට එද්දී ගේට්ටුවෙන්ම අපේ මානව හිමිකම් නැතිවෙලා නිර්වස්ත්‍ර වෙලානේ එන්නේ. කී දෙනෙක් ඉස්සරහද නිරුවත් වෙන්නේ. මුස්ලිම් මිනිස්සු අපි වගේ නෙවේ ඒවා ලොකුවට හිතහිත වැලපෙනවා. ස්කෑන් මැෂින් හැම එකකම නැහැනේ.’’

පපුව අමාරුවට සෙල් එකේම එල්ලීම.

බන්ධනාගාර නිලධාරීන්ගේ කැපවීම් ගැන කීවේ විලච්චියේ සංජීව විතාරණය .

‘‘කිසිම නිලධාරියෙක් වාට්ටුව පැත්ත පළාතේ එන්නේ නෑ. කොරෝනා බයට. කෑම ටික දුන්නෙත් ලන්ච්ෂීට්වල දාලා ජනේලවල කම්බිකූරූ අස්සෙන්. පීසීආර් කරලා දාපු වාට්ටුවේදී රෑ 10ට විතර අපෙන් කෙනෙකුට පපුව අමාරුව හැදිලා ගොඩක් අමාරුවුණා. එයාගේ තාත්තත්, අයියලත් හිටියා. අයියා කෙනෙක් මහත්තුරුන්ට කෑගහල කීවා බේත් ටිකක් අරන් දෙන්න කියලා. මුකුත් නෑ මහත්තුරු ආවා, ගුටිනොකා බේරුණේ ලෙඩ්ඩු ටිකදෙනා විතරද කොහෙද. අපි ළගට එන්න බයයිනේ.

අනික් අයට ගහන අතරේ අමාරු වෙච්චි කෙනා ඔලුව කොන්ක්‍රිට් එකක ගහගත්තා වේදනාව දරාගන්න බැරිව. එයාගේ අයියා අල්ල ගත් නිසා ටිකක් හිටියා. ඊට පස්සේ අරන් ගියා හොස්පිට්ල්එකට. පස්සේ එයාට කීව තරම් අමාරුවක් නෑ කියල  ගහලා සෙල් එකකට දාලා. ඒකේ නෙට් දාන ලණුවෙන් ජනේලයක එල්ලිලා මැරෙන්න ගිහින්. වෙලාව කියන්නේ එතනින් ගියපු අච්චුපාටි කෙනෙක් නිකමට බලද්දි එල්ලිලා. මලපහත් පිටවෙලා. ඒත් මැරිල ඉදල නෑ. හොස්පිට්ල් අරන් ගියාම දොස්තර කීවලු තව විනාඩි 5ක් පරක්කු වුණානම් ඉවරයි කියලා.

අපි ඉද්දි එක එක හේතුවලට දෙතුන් දෙනෙක් එල්ලිලා මැරුණා. දෙන්නෙක්ම එල්ලුනේ සෙල්වලදි. අච්චු හිරකාරයෙක් තව කොල්ලෙක් එක්ක ආදර සම්බන්ධයක් තියලා. රෑට ඉතින් සමහර කොල්ලෝ කොල්ලෝ එකට ඉන්නවා. හිරගෙවල්වල අවුරුදු ගණන් ඉද්දි ගෑනු කොහෙද? මහත්තයෙක්ට මාට්ටු වෙලා එක කොල්ලෙක්ට ගහල සෙල් දාලා. ඒකා ලැජ්ජාවටයි දුකටයි එල්ලිලා මැරුණා.

සත්තුවත්තේ සිංහයා ගැනනම් මීට වඩා බැලුවා

හොරොව්පතාන ක්‍රිෂාන් සංජය බන්ධනාගාරයේදී කොවිඩි වලට මුහුණදුන් ආකාරය හෙළිකළේ මෙසේය.

“දවස් 14කට හිරගෙට ගියාට ගෙදර එන්නේ දවස් 28කට පස්සේ. ඊ01 වාට්ටුවේ තමයි කාමරයක් හම්බුණේ. ඒකේ අටක් හිටියා. අතපය දිගහැරලා නිදාගන්න බැහැ. සතියකින් වගේ දැනුණා මටත් හරි කියලා. හුස්මගන්න අමාරු නිසා දවස් කිහිපයක්ම නිදා ගත්තේ නැහැ. එළිවෙනකම් ඉඳගෙන හිටියා. එතකොට ටිකක් හරි පහසුවෙන් හුස්ම ගන්න පුළුවන් වුණා. සෙම්ගෙඩිවලට කොල්ලෙක්ට කියලා සිඞාලේප ගාලා මසාජ් කරගත්තා. ගෙවල්වලින් විසිට් ආව අයට හම්බුණු සිඞාලේප කීපයක් වාට්ටුවේ තිබුණා. හැමෝම ගෑවේ ඒවා තමයි.  තුන්වන දවසේ උදේ දත් මදිනකොට උගුරේ මොනාද හිරවෙලා වගේ දැණුනා. උගුරට ඇගිලි දාලා කාරලා ගත්තාම  කළුපාට සෙමත් එක්ක ලේ ගුලි නහයෙන් කටින් දැම්මා. රෑ හුස්මගන්න බැරිව හිටියේ ඒවා හිරවෙලයි. සිඞාලේප නැත්නම්  හුස්ම ගන්න බැරිව හරි සෙම ගුලි හිරවෙලා හරි මැරෙන්නත් තිබ්බා. සත්තුවත්තේ සිංහයට තිබුණු සැළකිල්ලවත් අපට නෑ.

වැඩියෙන්ම හිරේ දැම්මේ කොරෝනා කාලේ

අන්තර් විශ්ව විද්‍යාල බලමණ්ඩලයේ නියෝජිත රත්කරව්වේ ජිනරතන හිමි,

Prisoners embarrassed by covid incident“ලෝකෙම රටවල් කොරෝනා පටන්ගද්දි හිරගෙවල් හිස්කළා. ලංකාවේ ඒකේ අනික් පැත්ත. වැඩියෙන්ම හිරේ දැම්මේ කොරෝනා කාලේ. නිරෝධායන නීති මුවාවෙන් ආණ්ඩුව ජනතාවට කොරෝනා හැදෙන්න ඉඩ සලස්සන එකයි කළේ. එකොළොස්දාහක් ඉන්න පුළුවන් හිරගෙවල්වල තිස්දාහක් දාලා ඉන්නේ. කිසිම පහසුකමක් නැහැ. සිසුජන ව්‍යාපාරයේ පස්දෙනාට හැදුනේ බදුල්ල, තල්දෙන නිරෝධායන මධ්‍යස්ථානයේදී .ඒකේ ඉඩ තිබුණේ රැදවියන් 80කට. ඒත් 165ක් හිටියා. අගෝස්තු 26 වෙනකොට 125කට PCR කරලා 80ක් පොසිටිව්. ’’

සිරකරුවන්ට කොවිඩ් පරීක්ෂණ කරන්නේ බරපතල නම්  විතරයි.

බන්ධනාගාර නිලධාරීයකුද සිය අනන්‍යයතා හෙළි නොකරන පොරොන්දු මත අපට කතාකළේය.

“සතියට දෙකට එන අය එක තැනක නිරෝධායනය කරවනවා. සාමාන්‍යයෙන් කොවිඩ් පරීක්ෂණ කරන්නේ බරපතල රෝගාබාධයකදී රෝහල්ගත කිරීමකට පෙරදීයි. නැත්නම් විශේෂ අවශ්‍යතා මත අධිකරණයට ඉදිරීපත් කිරීමට පෙර හෝ ඇප හෝ නිදහස්වෙලා යද්දීයි. දවසකට එහෙම පරීක්ෂණ 20ක් කළාම 4ක් 5ක්විතර පොසිටිව් වෙනවා. මිනිස්සු හිරේට එන්නේ සතුටෙන් නෙවේ. ඒ නිසා පොඩි අඩුපාඩුවක් වුවත් ලොකුවට දකිනවා.”

රෝහල්වල ලෙඩ්ඩුන්ට තියෙන සැලකිල්ල හිරේදී නැහැ!

මේ සම්බන්ධව අධිකරණ වෛද්‍යවරයකුගේ අදහස් විමසූ අතර ඔහු සිය අනන්‍යතාව හෙළිනොකරන ලෙස පවසා මෙසේ අදහස් දැක්වීය.

අධිකරණයෙන් හිරේට එවන අයව පොලීසියේදී හෝ බන්ධනාගාරයේදී කොවිඩ් පරීක්ෂණයක් කර ඇතුළට ගන්න නීතිමය පදනමක් හැදෙන්න ඕන. එහෙම නොවෙන එකයි ගැටලුව. හිරේදි කෙනෙක් මියගියොත් ඇන්ටිජන් එකක්වත් නොකර මරණ පරීක්ෂණයට අධිකරණ වෛද්‍යවරු අතක් තියන්න කැමති නැහැ. හොස්පිට්ල්වලට පවා හදිසි රෝගීන් එනවිට ඔවුන්ට කොවිඩ් පරීක්ෂා කරලයි ගන්නේ. ඒ සැලකිල්ල හිරගෙදරට නෑ. ඒකට විසඳුම අත්අඩංගුවට අරන් පොලිස් කූඩුවට දාන්න කලින් පොසිටිව්ද නැද්ද කියා බලන එක. පොලීසියටයි ඒ වගකීම පැවරෙන්නේ. නැත්නම් පොලීසියටයි, උසාවියටයි, හිරගෙටයි කොවිඩ් යන එක නවතින්නේ නැහැ.

දැන් ඇතුළේ කොවිඩ් ෆාම්දාලා වගෙයි!

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කම්ටුවේ නීතිඥ සේනක පෙරේරා මහතා,‍

සිරකරුවන් අතර මීටරයක් තබා අගලක පරතරයක්වත් තියා ගනු බෑ

‘‘කොරෝනා වසංගතය ලංකාවට එන්නත් කලින් 2020 මාර්තුවලදී අපි රජයට යෝජනා මාලාවක් ඉදිරිපත් කළා. කොරෝනා වසංගතයට වැඩිම අවධානමකට ලක්විය හැකි; මාරාන්තික හෝ බරපතල රෝගඇති අය, ඉතා වයෝවෘද්ධ අය, වැඩිහිටියන් සහ මව්වරුන්, දරුවන් ගැන වැඩි අවධානයක් යොමුකරන ලෙසයි අප  ඉල්ලා සිටියේ. එය ක්ෂණික, කෙටිකාලීන, හා දිගුකාලීන ක්‍රියාමාර්ග වලින් සමන්විත  යෝජනාවලියක්. ජනපති, නීතිපති, බන්ධනාගාර හා අධිකරණ ඇමති, සෞඛ්‍ය ඇමති, ආදී බලධාරීන් රැසකට ඒ යෝජනාවලිය භාරදුන්නා.

පවුල් හමුවීම් නැවැත්වීම නිසා සිරකරුවන්ට සබන්, තුවා, මුව ආවරණ‍, නොලැබෙන නිසා ඒවාට මූල්‍ය සම්ප‍ත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලබා දෙන්න කීවා. ඒවා වුණේ  නැහැ. ගෙවල්වලට කෝල් කරන්න ඉඩ දෙන්න කියු එකනම් කළා. ඒත් තාමත් සමහර හිරගෙවල්වල ඒක කෙරෙන්නේ නැහැ. ලෙඩ හැදිල කියා සැක කරන වාට්ටු පිටින් වහලා දානවා. කෝල් කරන්නත් නැහැ. හමුවීම් තියන්නත් බැහැ.

රජයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දැනුම්දීලා තිබුණේ ඇන්ටිජන් හෝ පීසීආර් කරලා ඇතුළට ගන්න කියලයි. අපිත් ඉල්ලීමක් කළා ඇතුලේ ඉන්න සියලුම අයව පීසීආර් කරන්න කියලා.  හිරගෙවල්වල මුලින් නොතිබුණු කොරෝනා දැන් ෆාම් දාලා වගේ පැතිරිලා ඉවරයි.

සාමාන්‍ය හෝ සුළු වැරදිවලට පොලිස් ඇපමත නිදහස් කරනවනම් හිරගෙවල් මෙහෙම පිරෙන්නේ නෑ. හිරගෙවල්වල ඉන්න අයගෙන් වැඩි පිරිසක් දඩයක් ගෙවාගන්න බැරිව ඉන්න අය. ”

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් එම්. බාලසූරිය මහතා පැවසුවේ නිසි දැනුම්දීමක් සිදුවන්නේනම් ඇන්ටිජන් සහ පී.සී.ආර් පරීක්ෂණ කිරීමට තමන් සූදානම් බවය.

“සමහර අවස්ථාවල බන්ධනාගාරවල රැදවියන්ගෙන් සැක කටයුතු අය වැඩිපුර ඉන්නවනම් තමා ඒ ගැන නිලධාරින් ළගම තියෙන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල දැනුවත් කරන්නේ. එවිට අපි පී.සී.ආර් හෝ ඇන්ටිජන් පරීක්ෂණ කරනවා. අපේ නිලධාරීන් හත්දෙනෙක් බන්ධනාගාරවල ඉන්නවා. ”

නිලධාරීන්ගේ ප්‍රතිචාර

බන්ධනාගාරය තුළදී කොවිඩ් රෝගීන්ට,රෝගීන් ලෙස සැලකීමට නොහැකිවී ඇත්තේ ඇයි? කොවිඩ් ආසාධිත සිරකරුවන් කොපමණ ප්‍රමාණයක් මේ වනවිට වාර්තාවී තිබේද? රැඳවියන් සහ සිරකරුවන් නඟන චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකාරිත්වය දක්වන ප්‍රතිචාර කෙබඳුදැයි තොරතුරු අයදුම්පත් මගින් සහ සම්මුඛ සාකච්ඡා මගින් වැඩිදුර විස්තර දැනගැනීමට අප විවිධ උත්සාහයන් කිහිපයකම නිරත වුණෙමු.

වාරියපොළ බන්ධනාගාර අධිකාරීවරයා හා බන්ධනාගාර වෛද්‍යවරයා මුණ ගැසී ප්‍රතිචාර ලබාගැනීමට දැරූ උත්සාහයේදී දොරටුව විවර කිරීමකින් තොරවම දුරකථන ක්‍රියාකරු මගින් ප්‍රතිචාර දක්වමින් ඔවුන් සඳහන් කළේ ‘එකී විස්තර කොළඹට යවා ඇති නිසා තමන්ට පැවසීමට කිසිත් නොමැති බවය.’ අනුරාධපුර තත්ත්වයද එබදු විය. එහි අධිකාරීවරයාගේ  සහය නිලධාරීනිය දූරකථනයට ප්‍රතිචාර දක්වමින් ‘තොරතුරු කොවිඩ් අංශයට යවා ඇතැයි’ කීවාය. මීට අදාළ තොරතුරු විමසමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට හා තොරතුරු නිලධාරිට යොමුකළ තොරතුරු අයදුම්පත් සඳහා තවමත්  තොරතුරු ලැබීනැත.

එහෙත් දැඩි උත්සාහයක් දැරීමෙන් පසු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එම්.ටී.එන් උපුලදෙණිය මහතා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට හැකිවූ අතර එහිදී ඔහු ප්‍රකාශ කළේ ‘කොවිඩ් ආසාදිත රැදවියන්ට පහරදීම ගැන තොරතුරු තමාට දැනගන්නට නොලැබුණ’ බවයි.

‘‘බන්ධනාගාරවල කොවිඩ් මේ වෙද්දි බොහෝදුරට පාලනය වෙලා තියෙන්නේ. අයියකච්චි හමුදා කඳවුර, පල්ලේකැලේ හා අගුණකොළපැලැස්ස බන්ධනාගාරවල, කොළඹ බන්ධනාගාර රෝහලේ හා අඹේපුස්ස කොවිඩ් මධ්‍යස්ථාන තියෙනවා. අඹේපුස්සට දාන්නේ කාන්තාවෝ. තල්දෙන, වටරැක දැන් වහලා තියෙන්නේ. ආශ්‍රිතයන් නිරෝධායනයට තල්දෙන යැව්වේ. පොසිටිව් අය නෙවේ.

රැදවියන්ට පහරදීම ගැන ඔබ කියන තොරතුරු ගැන මට වාර්තාවුණේ නැහැ.කොවිඩ් වාට්ටුවලට කවදාවත් නිලධාරීන් එහෙම ගහන්න නම් යන්නේ නැහැ. ඒක පොඩ්ඩක් බලන්න ඕනෑ. කොවිඩ් හැදුන ගමන් එයාලව වෙන්කරනවා. නිලධාරින්වත් ළගට යන්නේ නැහැ. පහුගිය කාලේ  කොවිඩ් උත්සන්න වෙලා තියෙද්දි අපේ සෙන්ටර් සේරම පිරිල තිබුණේ. යවන්න කලින් දවස් දෙකතුනක් ප්‍රිසන්වල වෙනම තැන්වල තියන් ඉන්නවා ඉඩක් ලැබෙනකම්. දවස්14ක් සෙන්ටර්වල තියන්න ඕනනේ.

බන්ධනාගාරවල දිවිනසාගැනීම් නම් වරින්වර වාර්තා වෙනවා. කොවිඩ් හැදිලා වගේම නඩුවලිනුත් විසඳුමක් නැතිව ගියාම එයාලා පීඩනය වැඩිවෙලා  එහෙම වෙනවා ඇති. ප්‍රිසන් එකෙන්වත් අපට පැමිණිල්ලක් ආවෙනම් නැහැ. ප්‍රිසනර් කෙනෙක්ට එහෙම දෙයක් වුණානම් එයාලට පැමිණිල්ලක් දාන්න පුළුවන්. නැත්නම් මුලස්ථානයට කතාකරලා දාන්නත් පුළුවන්. එහෙම එකක් ආවෙත් නැහැ. මම ඒ ගැන හොයලා බලන්නම්.”

සිරගෙදර සිටිනා තවත් රැඳවියන් රැසකගේ කතා අප සතුය. තොරතුරු ඉල්ලම් පාදාගැනීමේ ප්‍රතිඵලයක් ලෙස තව තවත් අලුත් කතාද එම ගොඩට ඒක්වෙමින් තිබේ. එම කතාවලට සවන්දෙන විට මෙය අනුරාධපුරයට හෝ වාරියපොළට පමණක් සීමාවූ හිංසාකාරී තත්ත්වයක් නොව මෙරට ඇති බන්ධනාගාර 28ටම පොදුවූ තත්ත්වයක් බව පෙනේ.

සිරගෙදර කොරෝනා තදින් පැතිරී තිබූ බව මේ වනවිට ප්‍රසිද්ධ රහසකි. රෝගියා කවර තරාතිරමකට අයත් පුද්ගලයෙකු වුවද ඔහු හෝ ඇයට රෝගියෙකු ලෙස සැලකීමට ශිෂ්ට සමාජයකට හැකිවිය යුතුය. සිරකරුවන්වීම නිසා රෝගීන්ට වෙනස්කොට සැලකීම කිසිසේත්ම ශිෂ්ට සම්පන්න සමාජයකට අනුමත කළහැකි තත්ත්වයක් නොවේ. සිරගෙදර තාප්පයේ කියැවෙන ආදර්ශපාඨය පොදුවේ සිරකරුවන්ට කෙසේ වෙතත් රෝගී සිරකරුවන් සම්බන්ධයෙන්වත් වහාම ක්‍රියාවට නැංවීම අදාළ සියලු බලධාරීන්ගේ යුතුකමක් මෙන්ම වගකීමකි.

*****

ඡායාරූප අන්තර්ජායෙනි…

Social Sharing

Related posts