රක්ෂණ සමාගම් කිහිපයක් සේවකයින්ට සලකන හැටි රජයේ අවධානයට.

සේවකයන්ගේ වෘත්තීය අයිතිවාසිකම් උල්ලංඝනය  කරන ශ්‍රී ලංකාවේ රක්ෂණ සමාගම් කිහිපයක් පිළිබඳව ආණ්ඩුවට තොරතුරු ලැබී තිබේ.

මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ ජීවිත රක්ෂණ ඒජන්තවරුන්ගේ   වෘත්තීය අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව ජීවිත රක්ෂණ ඒජන්තවරුන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා  හමු වී පැමිණිලි කළ බව රජය පවසයි.

ජීවිත රක්ෂණ නියෝජිතයන් සඳහා සමාගම් කිහිපයක් EPF/ETF අරමුදලට දායක මුදල් ගෙවන නමුත්  ඇතැම් රක්ෂණ සමාගම් විවිධ තර්ක ඉදිරිපත් කරමින් එම දායක මුදල් නොගෙවීම  බරපතළ සිද්ධියක් මෙන්ම, එය රක්ෂණ නියෝජිතයන්ගේ වෘත්තීය හා කම්කරු අයිතීන් උල්ලංඝනය කිරීමක් බැවින්  එය නිවැරදි කිරීමට පියවර ගන්නා ලෙස ද මෙම නියෝජිතයන්  අමාත්‍යවරයා ගෙන් ඉල්ලා තිබේ.

ඔවුන් කම්කරු අමාත්‍යවරයාගෙන් වැඩි දුරටත්  ඉල්ලා ඇත්තේ රක්ෂණ සමාගම්හි සේවයේ නියුතු ජීවිත රක්ෂණ අලෙවි නියෝජිතයන් ද EPF/ETF සඳහා දායකවීම අනිවාර්ය කිරීමේ නීති සංශෝධනයක් ගෙන එන ලෙසටය.

සාමාජික සාමාජිකාවන් 45,000 කින් සමන්විත තම සංගමයේ  රක්ෂණ නියෝජිතයන්ට රක්ෂණ සමාගම් විසින් සිදුකරන සිය අයිතිවාසිකම් උල්ලංඝනයන් පිළිබඳව තොරතුරු හෙළිදරව් කරමින් ඔවුන් කම්කරු අමාත්‍යවරයාට  පැමිණිලි කළ අතර ,ඒ පිළිබඳව විශේෂ විමර්ශනයක් කර,අවශ්‍ය පියවර ගන්නා මෙන් අමාත්‍යවරයා  කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති ට උපදෙස් දුන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

ජීවිත රක්ෂණ ඒජන්තවරුන්ගේ සංගමය විසින් කරන ලද පැමිණිල්ලෙන් චෝදනාවට ලක්වන සමාගම්වල නම් රජය විසින් හෙළි කර නැත.

එම  සාකච්ඡාවට කම්කරු අමාත්‍යංශයේ ලේකම් මාපා පතිරණ, කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ජීවිත රක්ෂණ අලෙවි නියෝජිතයන් ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්.සී.බණ්ඩාර ,ලේකම් ඉසිර චතුරංග, ජේෂ්ඨ උපදේශක චන්දන පලන්සූරිය  ඇතුළු නියෝජිතයන් රැසක් එක්ව තිබේ.

Social Sharing
නවතම