මේ රජය එක බිම් අඟලක් විකුණලා නැහැ – ඇමති රෝහිත අබේගුණවර්ධන

මේ  රටේ දේපල විකුණනව කියල කෑ ගහන්නෙ පසු ගිය කාලේ රටේ දේපල “ගෙඩිය පිටින්ම” විකුණගන කාපු පිරිසක් යැයි”, වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන   මහතා  පවසයි.

ඉදිරි  අය වැය මගින්  ඉදිරි වසරේදී   ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කිරිම පිළිබද පලාත් පාලන ආයතන නියෝජිතයින් සමග බුලත්සිංහල ශ්‍රවණාගාරයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව ඇමතිවරයා මේ අදහස් පළ කළේය.

“ මේ රජය බාරගත් පසු එක බිම් අගලක්  විකුණලා  තියෙනවද කියල පෙන්වන ලෙස මම අභියෝග කරනවා. විදේශීය හෝ දේශීය ආයෝජකයෙකු මේ රටට ඇවිත් රාජ්‍ය හෝ පෞද්ගලික ව්‍යාපාරයක් ආරම්භ කරනව නම්  ඒකට කාටවත් විරුද්ධ වෙන්න බැහැ. ෆෝට්සිටිය හදන එක ආරම්භකළා. අපි ඒ වෙනුවෙන්  එක රුපියලක් වියදම් කලේ නැහැ. අමෙරිකානු ඩොලර් බිලියන එකයි  දශම  හතරක (1.4) මුදලක් පෝට්සිටිය ගොඩ කරන්න චීන සමාගම වැය කළා. ඒ භුමිය තියෙන්නෙ  ශ්‍රී ලංකා රජය හැටියට යැයිද අමාත්‍යවරයා පවසයි.

ඉන්දියාවෙ අදානි සමාගම සහ ජෝන් කීල්ස් සමාගම සමග වරායේ බටහිර පර්යන්ත සංවර්ධන ගිවිසුම මා පසු ගිය දා අත්සන් කළා. ඒ සදහා ඩොලර් මිලියන 700 ක් ආයෝජනය කරනවා. ඒ මුදල එන්නෙ ලංකාවටයි. මේ සියල්ල අපේ ජනතාවට ලැබෙනවා. වසර 35 කට පසුව මෙහි සම්පුර්ණ අයිතිය අපට ලැබෙනවා. මේක  ප්‍රති අපනයන මධ්‍යස්ථානයක්, නාවිකන කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙනවා. මෙවැනි ව්‍යපෘති සිංගප්පුරුව, ඩුබායි වගේ රටවල කරල තියෙනවා. අපි මේක කරන්න යනකොට ඒකට විරුද්ධ වෙනවා. කුහකකම, ක්‍රෝධය, වෛරය දේශපාලනයට අරගන මේවට විරුද්ධ වෙනවා. මේ කුහකකම් කරන්නෙ මේ රටේ අනාගත පරම්පරාවටයි.

කොවිඩ් වසංගතයක් තියෙන වෙලාවක මේ රටේ මිනිස්සුන්ගෙ බට ගහන එක සුදුසු නැහැ. මේ රටේ ඉන්නෙ තුන්වේල  බත් කන මිනිස්සු.  කවුරුහෝ ව්‍යාපාරිකයෙක්  ඒ බත්පත උදුරගන කන්න හදනව නම්  ඒක මහා අසමජ්ජාති වැඩක් බව කිව යුතුයි. ගොවියා බේරා  ගැනිමටත් අනෙත් පැත්තෙන් පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනිමටත් ආණ්ඩුවට සිදුවෙලා තියෙනවා. නමුත් අතර මැද ඉන්න මෝල් හිමියෝ කිපදෙනෙක් දිනනවා. එම නිසා ජනාධිපතිතුමා සමග සාකච්ඡාකර ගොවියාත්, පාරිභෝගිකයාත් ආරක්ෂාකර ගැනිමට වැඩපිළිවලක් ගේනවා. ඒ සදහා පිටරටින්හෝ සහල් ගෙන ඒමට සිදුවෙනවා. දණ ගැහුවෙ කවුද කියල එතකොට බලා ගන්න පුළුවන් වෙනවා යැයි අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කර සිටියි.

ඩොලරයේ අර්බුදය, අනෙත් පැත්තෙන් නැව් ගාස්තු සියයට සියයකින් ඉහළ ගිහිල්ලා තියෙනවා. ලෝක වෙළදපලේ කිරි පිටි,ගෑස් සහ තෙල් මිළ ඉහළ ගිහිල්ලා තියෙනවා. මෙවැනි තත්වයක්  තුළ මේ භාණ්ඩ මිළ ඉහළයාමට යම් ඉල්ලිමක් තියෙනවා. නමුත් ඒ බර රජයක් ලෙස දරාගන ජනතාව මත පටවන්නෙ නැතිව  මේක ඉදිරියට යන්නෙ කොහෙ‍ාමද කියල බලනවා යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

එස්. පොද්දෙණිය – මීගහතැන්න

Social Sharing
නවතම