RTI කොමිසමට නාම යෝජනා කැඳවේ.

ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබද කොමිෂන් සභාවේ දැනට පුරප්පාඩුව පවතින සහ ඉදිරියේදී පුරප්පාඩු වීමට නියමිතව ඇති සාමාජික තනතුරු සඳහා නාමයෝජනා කැදවීමට පාර්ලිමේන්තු සභාව තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

මේ අනුව ශ්‍රී ලංකා නීතීඥ සංගමය, ප්‍රකාශකයන්ගේ සංගම්, කර්තෘවරුන් සහ ජනමාධ්‍යවේදීන් සහ අනෙකුත් සිවිල් සංවිධානවලින් නාම යෝජනා කැඳවීමට පාර්ලිමේන්තු සභාව තීරණය කළ බව ද ඒ මහතා කියා සිටියි .

මෙම තීරණය ගෙන ඇත්තේ  කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාර්ගගත ක්‍රමයට (Online) පාර්ලිමේන්තු සභාව රැස්වූ අවස්ථාවේදීය.

මෙම රැස්වීමට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ධීවර කටයුතු පිළිබඳ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් යන මහත්වරු සහභාගී වී ඇත.

නාමයෝජනා කැඳවීම සදහා භාෂා ත්‍රිත්වයෙන් සති අන්තයේ සහ සතියේ දිනවල පුවත්පත් දැන්වීම් ප්‍රකාශයට පත් කිරීමට සහ එවැනි නාම යෝජනා ඉදිරිපත් කිරීමට සති 2 ක කාලයක් ලබා දීමටත් පාර්ලිමේන්තු සභාව මෙහිදී තීරණය කොට ඇත.

වත්මන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ (RTI කොමිසම) සේවා කාලය පහුගිය සැප්තැම්බර් මාසයෙන් අවසන් වීය . 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතෙහි 11 වන වගන්තිය ප්‍රකාරව RTI කොමිසම පිහිටුවන අතර මෙය වසර පහක ධූර කාලයකට යටත් වේ. සභාපතිවරයෙකුගෙන් සහ සාමාජිකයන් සිවු දෙනෙකුගෙන් සමන්විත වන තොරතුරු කොමිසම පත්කිරීම, 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පෙර සිදු කරනු ලබන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මතය.

කෙසේ වුවද,20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා මෙම පත්කිරීමේ ක්‍රමවේදය මඳ වෙනසකට ලක් විය. ඒ් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කර ඒ වෙනුවට පාර්ලිමේන්තු සභාව ස්ථාපිත කිරීම හේතුවෙනි. මෙම පත් කිරීම් සම්බන්ධව පාර්ලිමේන්තු සභාවේ කාර්යභාරය වන්නේ පනතේ නියම කර ඇති ආකාරයට නාම යෝජනා ලබා දීමට හැකියාව ඇති සිවිල් සමාජ සංවිධාන, ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ ජනමාධ්‍ය සංවිධාන වලින් ලබා ගන්නා වූ නාම යෝජනා පිළිබඳ නිරීක්ෂණ ජනාධිපතිවරයාට ලබා දීමය.

ජනාධිපතිවරයා විසින් එකී පත්කිරීම් සිදු කිරීමේදී පාර්ලිමේන්තු සභාවේ නිරීක්ෂණ ඉල්ලා සිටීම අනිවාර්ය කාර්යභාරයකි.

මේ පිලිබඳ පහුගියදා හිටපු කථානායක කරු ජයසුරිය මහතාද අදහස් දක්වමින් කියා තිබුනේ මෙම කොමිසමට ආණ්ඩුවේ තනි කැමැත්තට පුද්ගලයින් පත් නොකරන ලෙසිනි.

ශානි

Social Sharing
නවතම