කොරෝනා සමඟින් ළමයින් අතර ජංගම දුරකථන ක්‍රීඩා වලට වැඩි ඇබ්බැහි වීමක්!

කොරෝනා වසංගත තත්ත්වයත් සමග මාර්ග ගත අධ්‍යාපනයට යොමු වුවද පොලොන්නරුව දිස්ත්‍රික්කයේ බොහෝ ළමයින් අතර පරිගණක ක්‍රීඩා හා ජංගම දුරකථන ආශ්‍රිතව ක්‍රියාත්මකවන ක්‍රීඩාවන්වලට ඇබ්බැහි වීමේ ප්‍රවණතාවක් වාර්තා වී ඇති බව පොලොන්නරුව අතිරේක දිස්ත්‍රික් ලේකම් ඩබ්.ජී.ඩබ්.වනසිංහ මහතා පවසයි.

ඒවා පාළනය කරගැනීමට අවශ්‍ය මගපෙන්වීම් කිරීමට ද නිලධාරීන් ට කොට්ඨාශ ගම් මට්ටමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ දුෂ්කරතා පවතින බවත්  ඒ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කොරෝනා වසංගත සමයේ ළමයින් මුහුණ පා ඇති ගැටළු සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමිනි.

මෙම වසරට අදාළ ව  පොලොන්නරුව දිස්ත්‍රික් ළමා ආරක්ෂක කමි‍ටු ‍රැස්වීම් ගැනීම පවා අතපසු  වූ බවත් යොදා ගත් සෑම දිනයකම සංචරණ සීමා හා නිරෝධායන ඇදිරිනීතිය ක්‍රියාත්මක වූ බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසීය. නිලධාරින් කොරෝනා වසංගත තත්ත්වයට ගොදුරු වීමත් ඊට හේතුවක් බව ද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

“මේ දිනවල ළමයින් සම්බන්ධයෙන් අපට තොරතුරු වාර්තා වන යාන්ත්‍රණයේ ගැටළු තියෙනවා. ළමයින් නිවෙස්වල දෙමවුපියන් සමග සිටින්නේ. අපේ නිලධාරීන් ට ගම් මට්ටමෙන් තොරතුරු සොයා බැලීමට හෝ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වුණා. නමුත් ඔන්ලයින් අධ්‍යාපනය නිසා ළමයින් ගොඩක් ගේම්වලට ඇබ්බැහි වෙලා තියෙනවා.

පරිගණක ජංගම දුරකථන ආදියෙන් පාඩම්වලට ලොග් වෙලා ඉන්නවා වගේ හිටියත් ළමයින් වැඩි දෙනෙක් මේ ගේම්වලට හුරුවෙලා තියෙන්නේ.‍ ෆ්‍රී ෆයර් වැනි ගේම්ස් වලට වැඩි නැඹුරුතාවක් දක්වනවා. මේකෙන් දරුවන් මුදා ගත යුතුයි. අනිත් කරුණ තමයි ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයත් ඉහළ ගිහිල්ලා .ළමයින් ගොඩක් ගෙවල් ඇතුළේ වැඩිහිටියන්ගේ හිංසාවට ලක්වීම් වාර්තා වෙනවා. සංචරණ සීමා හා නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කළ වහාම අපි ළමයින්ගේ සුරක්ෂාව වෙනුවෙන් වැඩසටහන් කිරීමට බලාපොරොත්තු වෙනවා.” යැයි ද හෙතෙම වැඩි දුරටත් පැවසීය.

ඊෂා මුදියන්සේ පොලොන්නරුව

Social Sharing
නවතම