ජගත් කුමාරගේ ප්‍රශ්ණයට ඔහුම පිළිතුරු දිය යුතුය – පිලිප් දිසානායක

MP jagath kumara political situation

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පසුගියදා කළ ප්‍රකාශය මේ දිනවල කතාබහට ලක් වී තිබේ. ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරයෙකු විසින් ආණ්ඩු පක්ෂයම නියෝජනය කරන ප්‍රබල ඇමතිවරු දෙදෙනෙකුට එරෙහිව සිදු කළ එම ප්‍රකාශයෙන් ආණ්ඩුව ඇතුලේ තිබෙනවා යැයි පැවසෙන අර්බුදය එලියට පැමිණි ඒක් අවස්ථාවක් ලෙස එය හදුන්වා දිය හැක.

ජගත් කුමාර මන්ත්‍රීවරයාගේ චෝදනාවට මූලික පදනම වී ඇත්තේ පාදුක්ක පොලිස් ස්ථානයේ සිටි ස්ථානාධිපතිවරයා මාරුකර යවා අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාට හිතවත් ස්ථානාධිපතිවරයෙක් අළුතින් පත්කිරීමයි. මේ ක්‍රියාවලියට පොලීසිය භාර ඇමතිවරයා ද ලොකුගේ ඇමතිවරයාට සහාය දැක් වූ බවටත් ඔහු චෝදනා කරනවා.

නිදහසින් පසුව ශ්‍රී ලංකා ඉතිහාසය පුරාම රාජ්‍ය නිලධාරීන් විශේෂයෙන් පොලිස් නිලධාරීන් විවිධ අවස්ථාවලදී පත් වන ආණ්ඩු පක්ෂයේ දේශපාලඥයින්ගේ උවමනා එපා කම් මත පත්කිරීම්, දඩුවම් මාරු මෙන්ම තමන්ට හිතවත් නිළධාරීන් සදහා උසස්වීම් ඇතුලු තාන්න මාන්න ලබා දීමත් දිගින් දිගටම සිදු වුනා.

මේ හේතුව මත ඉතා වැදගත් සිද්ධි සම්බන්ධ පරීක්ෂණ සම්පුර්ණයෙන් කඩා වැටුනා. නීතිය ක්‍රියාත්මක වීම දේශපාලණ උවමනාව මත පමණක් සිදු වන දෙයක් බවට පත් වුනා. දූෂණ මෙන්ම, අපරාධ වැඩි වීම වේගවත් වූ අතර, ඒ සම්බන්ධව සිදු කෙරෙන කිසිදු පරීක්ෂණයක් සාර්ථකව සිදු නොවීම මත විශාල අපරාධකරුවන් පිරිසක් සමාජ ගත වුනා. ඒ නිසාම සමහර අපරාධකරුවන් පාර්ලිමේන්තුවට පවා පැමිණියා. මේ හේතුවෙන් අපගේ අපරාධ පරීක්ෂණ යාන්ත්‍රණය කඩා වැටී, අධිකරණය පිළිබදව තබා තිබූ ජනතා විශ්වාසයත් විශාල ලෙස පළුදු වෙමින් පැවතියා.

මීට පිළියමක් ලෙස පොලීසිය, අධිකරණය ඇතුළු රාජ්‍ය සේවය ස්වාධීනව හා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සදහා සමාජය තුළ විශාල කතාබහක් නිර්මාණය වුනා. එහි ප්‍රථිපලයක් ලෙස ස්වාධීන රාජ්‍ය සේවයක් ඇති කිරීම සදහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවත්, පොලිස් හා අධිකරණ සේවා කොමිෂන් සභාව ඇතුලු ස්වාධීන කොමිෂන් සභා 9ක් 2001 වසරේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාට ගෙන එනු ලැබූ 17 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදු වුනා.

මෙම 17 වන සංශෝධනය මේ රට ඉදිරියට ගෙන එම සදහා තැබූ මංගල පියවරක්. එමගින් රාජ්‍ය සේවකයින්ගේ උසස් කිරීම්, ස්ථාන මාරු කිරීම් මෙන්ම, පත්කිරීම් ඇතුළු සියලුම කටයුතු මෙම කොමිෂන් සභාවන් යටතට පත් වුනා. රාජ්‍ය සේවය පිළිබදව මහජන පැමිණිලි සම්බන්ධව විමර්ෂණය කටයුතු කිරීමත් මෙම කොමිෂන් සභා වෙතම පැවරුනා.

පොලිස්පතිවරයා හැර අනෙකුත් සියළු නිලයන් සම්බන්ධව බදවා ගැනීම්, මාරු කිරීම් හෝ උසස් කිරීම් ඇතුළු කටයුතු ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත පැවරුනා. පොලිස් නිලධාරීන්ගේ විසින් සිදු කරනු ලබන අකටයුතු කම් මෙන්ම, පොලිස් නිලධාරීන්ට ඉහල නිලධාරීන්ගෙන් සිදු වන අකටයුතුකම් සම්බන්ධව ද විමර්ෂණය කිරීමට ද එම කොමසමට පැවරුනා.

17 වන සංශෝධනය තුළින් ඇති කළ මෙම කොමිෂන් සභා ඇති කිරීමෙන් පසුව පැවති තත්ත්වයේ සැලකිය යුතු වෙනසක් ඇති වුනා. රාජ්‍ය නිළධාරීන් බියෙන් හා සැකයෙන් තොරව යම් ස්වාධීනත්වයකින් කටයුතු කිරීම ආරම්භ කරනු ලැබුවා. එම හේතුවෙන් සැලකිය යුතු ප්‍රගතියක් රටේ බහුතර ජනතාවකට ලැබෙමින් පැවතුනා.

නමුත් මෙම තත්ත්වය ආණ්ඩු පක්ෂය නියෝජනය කළ සමහර දේශපාලඥයින්ට හිසරදයක් වෙලා තිබුනේ. මෙතෙක් තමුන්ගේ පදේට නටමින් සිටි බොහෝ රාජ්‍ය නිලධාරීන් දේශපාලඥයින් මායිම් නොකරමින් තම රාජකාරී කිරීම මේ තත්ත්වයට හේතු වුනා.

ඒ හේතුව නිසාම මේ තත්වය හරියට පැවතියේ වසර 9ක් වැනි කාලයක් පමණයි. මහින්ද රාජපක්ෂ රජය විසින් ගෙන එනු ලැබූ 18 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් මෙම සියළු කොමිෂන් සභා නාමික සභාවන් බවට පත් වුනා. ඒ නිසා පරණ සෙල්ලම නැවත් රාජ්‍ය සේවය තුළ පැතිරෙන්නට වුනා. කොන්ද කෙලින් තබාගෙන කටයුතු කිරීමට කිසිදු රාජ්‍ය සේවකයෙකුට නොහැකි වුනා.

කෙසේ හෝ මෙම තත්ත්වයට නැවතත් රටේ විශාල විරොධයක් ගොඩනැගුනා. ඒම බලවේගයන්ගේ ශක්තියෙන් 2015 වසරේ දී බලට පත් යහපාලන රජය විසින් නැවතත් මෙම කොමිෂන් සභාවන් හි කටයුතු ස්වාධීනව පවත්වාගෙන යාම සදහා 19 වන ව්‍යවස්ථා සංශෝධනය 2015 වසරේ  මැයි මාසයේ දී ගෙන එනු ලැබුවා. ඒ හේතුවෙන් නැවතත් රාජ්‍ය සේවයේ  ක්‍රියාකාරීත්වය වෙනසකට භාජනය වෙමින් පැවතුනා.

නමුත්, මේ ආකාරෙයෙන් පොලීසිය ඇතුළු රාජ්‍ය ආයතන ස්වාධීනව කටයුතු කිරීම සම්බන්ධව විරෝධය යහපාලන ආණ්ඩුව ඇතුලතින් පැමිණි මුත්, එය පාලනය කර ගැනීමට එවකට සිටි යහපාලන නායකයින් සමත් වුනා.

මේ අතර, අවස්ථා ගනනාවක දී ආණ්ඩුවේ විරෝධතා එලියට පැන්නා. ඒ එක් අවස්ථාවක් වුයේ, එවකට ආණ්ඩුපක්ෂයේ නියෝජ්‍ය ඇමතිවරයෙකුව සිටි පාලිත තෙවරප්පෙරුම මහතා තම නියෝගය අනුව පැසැලකට ළමයින් ඇතුලත් නොකිරීම සම්බන්ධව විරෝධය පා එම පැසැලට කඩා වැදී විදුහල්පතිවරයාගේ කාර්යාලයේ විදුලි පංකාවේ එල්ලී විරෝධය දැක්වීම සම්බන්ධ සිද්ධියයි.

නමුත්, මෙහි දී ඇමතිවරයාට අවශ්‍ය ලෙස විදුහල්පතිවරයා කටයුතු නොකළ අතර, පොලීසිය විසින් ඇමතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරනයට ඉදිරිපත් කරනු ලැබුවා. එම සිද්ධිය ඇති වුයේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර දෙමසක් ගත වන්නටත් මත්තෙනි. අදාල ඇමතිවරයා එසේ අත්අඩගුවට පත් වුයේ 2015 ජූලි 05 දාය.

මේ අකාරයේම සිදු වීමක් 2018 වර්ෂයේ දී නාවලපිටියෙන් වාර්තා වූ අතර, එවකට ආණ්ඩුපක්ෂයේ හිටපු මන්ත්‍රීවරයෙකු වූ ආනන්ද අලුත්ගමගේ මහතා උදෑසන 3ට පමණ තම ඡන්ද බල ප්‍රදේශය තුළ කළ සංචාරයක් සදහා ආදල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා සම්බන්ධ නොවීම පිළිබදව විරෝධය පා පොලිස් ස්ථානය ඉදිරිපිට මහපාරේ නිදියමින් උපවාසයක් කරමින් ඉල්ලා සිටියේ අදාල පොලිස් ස්ථානාධිපතිවරයා වහාම මාරුකරන ලෙසයි. ඒසේ නොකරන්නේ නම් තමන් මාරාන්තික උපවාසයක් සිදු කරන බවට පොලීසිය බාර ඇමතිවරයාට තර්ජනයක් සිදු කරන ආකාරයක් අප මාධ්‍ය හරහා දුටුවෙමි. ( https://www.youtube.com/watch?v=N7NVfiibsSc ) නමුත්, ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාට අදාල ස්ථානාධිපතිවරයා මාරු කිරීම පසෙක තබා ඔහුට උපවාසය අත් හැරීමට සිදු විය.

ඉන් පෙන්නුම් කරනු ලැබුවේ දේශපාඥයින් කොපමණ බලවත් වුවත්, නීතියට පිටින් කිසිදු රාජ්‍ය නිළධාරියෙකුට එරෙහිව පියවරක් ගැනීම මෙම කොමිෂන් සභා විසින් අවහිරකර ඇති ආකාරයයි.

නමුත්, මේ තත්ත්වය 2020 ඔක්තෝබර් මාසයේ දී නැවතත් උඩු යටිකුරැ විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවට ගෙනා 20 වන සංශෝධනයෙන් තිබූ තත්ත්වයට වඩාත් නරක තත්ත්වයකට රට නැවත පත් විය. නමුත් මෙම 20 වන සංශෝධනය ගෙන ඒම සදහා ආණ්ඩුපක්ෂයේ සියළුම මන්ත්‍රීවරු මෙන්ම, විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු ද සහාය දැක්වූවාය. ඊට නොමද සහායක් රටේ බහුතර ඡන්ද දායකින් විසින්ද ලබා දුන්නාය. නීතියක් නොමැති පාලනයක් ඇති කිරීම සදහා මෙන්ම,  අපරාධ හා දූෂනයන් ගෙන් පිරිණු රටක් නිර්මාණය කිරීමට ඔවුන් වක්‍රව දායකත්වය ලබා දී තිබේ.

ආණ්ඩුපක්ෂය නියෝජනය කරන ජගත් කුමාර මන්ත්‍රීවරයා අද මුහුණ දී සිටින ගැටලුව පිළිබදව අපට ද කණගාටුවක් තිබේ. නමුත් එය ඔබ විසින්ම ඇතිකරගත් තත්ත්වයක ප්‍රථිපලයක් මත බව ඔබ තේරුම් ගත යුතුය. එමෙන්ම මේ තත්ත්වයට ඔබ ද වගකිව යුතුය.

Social Sharing

Related posts