ඇමති ලොහාන් සිරකරුවන්ගේ හිසට පිස්තෝලය එල්ල කළ බවට සිරකරුවන් තහවුරු කළා – පා.ම. මනෝ ගනේෂන්

ලොහාන් අමාත්‍යවරයා බීමතින් පැමිණ  පිස්තෝලය හිසට තබා තර්ජනය කළ බවත් හදිසියේ පිස්තෝලය පත්තු වුවා නම් එල්.ටී.ටී.ඊ සිරකරුවෝ තුවක්කුව උදුරගෙන වෙඩි තබාගෙන මැරුණා කියා කථාවක් හදන්න තිබුණා යැයි සිරකරුවන් පැවසු බව  පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි.

අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින එල්.ටී.ටී.ඊ සිරකරුවන් පිරිසකට තර්ජනය කර අඩම්තේට්ටම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට ඊයේ (18) සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු පැමිණ තිබුණි. එහිදි  බන්ධනාගාර අධිකාරියට ඇතුල්වීමට ඉඩ ලබා නොදීමත් සමග බන්ධනාගාර අධිකාරිය ඉදිරිපිට උනුසුම් කාරි තත්වයක් ඇති විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, රෝහන බණ්ඩාර,  වෛද්‍ය කාවින්ද බණ්ඩාර හා අනුරාධපුර මහ නගර සභාවේ හිටපු විපක්ෂ නායක ඉන්දික අරුණ කුමාර මහතා ඇතුළු පිරිසක් මේ සදහා එක්ව සිටියහ.

පෙර දැනුම්දීමකින් අනතුරුව පැමිණ තිබූ මන්ත්‍රීවරුන්ට බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු වීමට ප්‍රධාන ගේට්ටුවේ ආරක්ෂක නියමකවරයා ඉඩ ලබා නොදුන් අතර ඒ සමග උනුසුම්කාරි තත්වයක් ඇති විය.

එහිදි මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේය.අපි පෙර දැනුම් දීමකින් මෙතන්ට ආවේ.අපි පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු අපි කාලකෝලාහල කරන්න ආවේ නෑ.අපිට යන්න දෙන්න.අපිට ජනතා නියෝජිතයන් විදියට මේක ඇතුලට යන්න පුළුවන් කම තියනවා.

ඊට විරෝධය පලකළ බන්ධනාගාර නියමකවරයා කියා සිටියේ සර් යන්න එපා ඇතුලට මට කාවවත් ඇතුළට ගන්න එපා කියලා ඉහළින් කියලා තියෙන්නේ.ඒ අවස්තාවේ සිය ජංගම දුරකථනයෙන් කථානායකවරයාට ඇමතුමක් ලබාගත් මනෝගනේෂන් මන්ත්‍රීවරයා.

කථානායකතුමා, අපි පෙර දැනුම් දීමකින් මෙතන්ට ආවේ. ඇතුලට යන්න දෙන්නේ නෑ. ඔබතුමා කියන්න අපි ඔබතුමා නියෝජනය කරන පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් කියලා අපිට අයිතියක් තියනවා සිරකරුවන් හමුවෙන්න යන්න. එයාලා පාර්ලිමේන්තුවේ කථානායකතුමාට වඩා ඉහලින් ඉන්න ලොක්කොද? යැයි විමසා සිටියේය.

බන්ධනාගාර ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුලත සිටි මන්ත්‍රීවරුන් පිරිස ගේට්ටුවෙන් පිටතට යැවීමට නිලධාරින් කටයුතු කළ අතර විනාඩ් 40කට පමණ පසුව එම ස්ථානයට අනුරාධපුර බන්ධනාගාරයේ උසස් නිලධාරියෙකු පැමිණියේය.

එහිදි මන්ත්‍රීවරුන් කියා සිටියේ අපි දැන් සෑහෙන වෙලාවක් මෙතනට ඇවිල්ලා. අපි පෙර දැනුම් දීමක් කරලා මෙතෙන්ට අවේ. මෙහෙම කරන්න එපා. අනතුරුව බන්ධනාගාර නිලධාරින් මන්ත්‍රී කණ්ඩායම බන්ධනාගාරය තුළට රැගෙන යාමට කටයුතු කළේය.

සිරකරුවන්ගේ සුවදුක් විමසීමෙන් අනතුරුව පිටතට පැමිණි මන්ත්‍රීවරුන් මෙසේ මාධ්‍යට අදහස් පල කළේය.

එහිදි කථා කළ මනෝගනේෂන් මහතා ඇතුලට ගියාට පස්සේ අපිට දැන ගන්න ලැබුණා හිටපු බන්ධනාගාර ඇමති ලොහාන් රත්වත්තේ ඇමතිතුමා දින කිහිපයකට ඉහතදි අනුරාධපුර බන්ධනාගාරයට ඇවිල්ලා බන්ධනාගාරයේ කළහකාරි අන්දමින් හැසිරිලා තියනවා කියලා. එයාගේ පසුගිය ක්‍රියා කළාපය පිළිබදව මේ සිද්ධියෙනුත් අනාවරණය වුනා..

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද බණ්ඩාර මන්ත්‍රීවරයා,

අපි ඇතුලට ගිහිල්ලා ඇහුවා මේ ආයතනයේ සී.සී.ටීවි නැද්ද කියලා. බන්ධනාගාරයේ උසස් නිලධාරින් කිව්වා සී.සී.ටීවී නෑ කියලා. අපිට හැකි වුනා මේ සිදුවීමට ලක්වෙච්ච සිරකරුවන් මුණගැහෙන්න.

ඒ සිරකරුවන් කිව්වේ මාධ්‍ය මගින් හෙළි කළ සියළුම කාරනා සත්‍ය බව. එහෙම සිදුවීමක් තමන්ට සිදුවුනා කියලා ඒ අය අපිට තහවුරු කළා. ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන හෙලිකොප්ටර් වලින් ඇවිල්ලා මේ මිනිස්සු යකා නටනවා.

සමගි ජනබලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහන බණ්ඩාර මහතා,

අපිට ආපහු සැකයක් (17දා) දිනයේ ඇති වුනා. හිටපු ඇමතිවරයා කළ ප්‍රකාශය අනුව. පිස්තෝලයක් අරගෙන යන්න මම පිස්සෙක් නෙමෙයි කියලා. අඩුම තරමේ ෆෝන් එකවත් අරන් යන්න බෑ කියලා මම දන්නවා කියලා.

මේ රැදවියන් ප්‍රකාශ කළා ඇමතිවරයා ලෝඩ් කරපු පිස්තෝලය හිසට තිබ්බා කියලා. බන්ධනාගාර නිලධාරින් කිහිප දෙනෙකු තමයි බේරගත්තේ කියලා ඔවුන් තහවුරු කළා. ඉතිං අපිට දැන් හිතෙනවා මේ ප්‍රශ්නය වෙනත් අතකට අරගෙන යන්න මේ අය උත්සහ කරනවද කියලා.

අනුරාධපුර මහේෂ් විජේසූරිය

Social Sharing
නවතම