වසංගතයෙන් පසු ශ්‍රී ලංකාව – පිලිප් දිසානායක

Sri Lanka's economy after the Covid pandemic

ආර්ථික, සමාජීය හා දේශපාලනික වශයෙන් බරපතල ගැටළු රාශියකට මුහුණ දෙමින් අති දුෂ්කර අවධියක සිටි අපේ හිස මතට කොවිඩ් 19 නැමැති මාරාන්තික වසංගතය ද කඩා වැටී මේ වන විට වසර දෙකකට කිට්ටු වී තිබේ. මේ වසංගතය අපේ හිස මත පතිත වෙන්නට පෙර අපට තිබූ ප්‍රධාන ආදායම් මාර්ග වූ සංචාරක, තේ, විදෙස්ගත ශ්‍රමික හා ඇඟලුම් යන ක්ෂේත්‍රයන්ගෙන් ලැබෙමින් තිබූ විදේශ විනිමය ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් අවහිර වීම නිසා ආර්ථික වශයෙන් ද අප කබලෙන් ලිපට ඇද දමා තිබේ.

ශ්‍රී ලංකා රජය මේ වන විට ලබා ගෙන ඇති අධික ණය කන්දරාව වෙනුවෙන් අවශ්‍ය ණය වාරික ගෙවීමත්, වසංගත පාලනය සදහා කටයුතු කිරීමත්, අනෙකුත් අනිවාර්ය රාජ්‍ය වියදම් දැරීමට නොහැකි වීමත් හේතුවෙන් මේ වන විට ඛණිජ තෙල්, ‌ඖෂධ වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ හැරුනු කොට අන් සියලුම භාණ්ඩ ආනයනයන් මේ වන විට සම්පුර්ණයෙන්ම තහනම් කර ඇත.

එසේ දැනට වසරකට වැඩි කාලයක් තිස්සේ සියළු ආනයනයන් තහනම් කර තිබුනත් තම ණය වාරිකය ගෙවා දැමීමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ඉතිරි කර ගැනීමට ඉන් නොහැකි වී තිබේ. ඒ සදහා ඉන්දියාව, බංගලිදේශය වැනි තවත් අසල්වැසි රටකින් හදිසි ණය මුදලක් ලබා ගැනීමට සිදුව තිබීමෙන් අප අද මුහුණ දෙන මෙම අර්බුදයේ ගැඹුර තේරුම් ගැනීමට පුළුවන.

නමුත්, වත්මන් ආණ්ඩුව හෝ ප්‍රධාන විපක්ෂයවත්, මේ රටේ ජීවත් වන අති බහුතරයක් වූ ජනතාවත්, අප මේ වැටී ඇති ප්‍රපාතයේ ගැඹුර පිළිබදව නිවැරදි අවබෝධයකින් කටයුතු කරන බවක් නම් නොපෙනේ.

නව රජයත්, පසුගිය රජයනුත්, නිසි සැලසුමකින් තොරව සිදු කළ විවිධ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ගිණි පොලියට ලබා ගත් අධික ණය කන්දරාව මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව ලෙස සදහන් කළ හැක. එමෙන්ම, රාජ්‍ය ව්‍යාපාර ලෙස පවත්වාගෙන යන ගුවන් සමාගම්, ඛණිජ තෙල්, විදුලි, දුම්රිය, වැනි මහජන මුදල් කාබාසිනීය කරන ආයතන පද්ධතියත්, අප වැනි රටකට කිසිසේත් දරාගත නොහැකි මිලියන 1.6 කට ආසන්න රාජ්‍ය සේවයත්, සැලසුමකින් තොරව සිදු කෙරෙන සහනාධාර වැඩසටහනුත් හේතුවෙන් ලෙහෙසියෙන් බේරිමට නොහැකි ණය උගුලක අප සියලුම දෙනාම මේ වන විට පැටලී තිබේ. එහි ප්‍රතිපලයක් ලෙස අප මේ වන විටත් චීනය, ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකට රටේ වැදගත්ම ස්ථාන කිහිපයක් දැනටමත්  විකුණා දමා හෝ උකසට තබා හෝ අවසන්ය.

1948 දී බ්‍රිතාන්‍යනයන් අපට නිදහස ලබා දෙන විට ආර්ථික හා සමාජීය මට්ටමින් ජපානයට දෙවැනි වූ ශ්‍රී ලංකාව අද වන විට මේ ආකාරයේ ලෙහෙසියෙන් ගොඩ ඒමට නොහැකි දකුණු ආසියාවේ අසාර්ථකම රාජ්‍යයන් අතරට ඇද දැමීම සම්බන්ධව 1948 සිට මේ රට පාලනය කළ ආණ්ඩු මෙන්ම, ඒම ආණ්ඩු බලයට පත්කළ ඡන්ද දායකයින් මේ තත්ත්වයට එකසේ  වග කිව යුතුය.

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙස පැවති සමයේ රටේ යම්කිසි සම්පත් ප්‍රමාණයක් ඔවුන් විසින් රැගෙන යනු ලැබුවත්, බ්‍රිතාන්‍යයින් විසින් අප රටේ එවකට පැවති අර්ධ වැඩවසම් සමාජ ක්‍රමය උඩු යටිකුරු කොට යම් කිසි ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීමට මුල පිරුවාය. ඒ සදහා සැලකිය යුතු රාජ්‍ය ව්‍යුහයක් ඇති කරනු ලැබීය. පාලන ත්‍රන්ත්‍රය සදහා නියෝජිතයින් පත්කිරීමට සර්වජන ඡන්ද බලය නිදහස ලබාදීමටත් පෙර එනම්, 1931 වසරේ දී ශ්‍රී ලංකාවට හදුන්වා දෙනු ලැබීය. ඒ සමග වැවිලි කර්මාන්තයත්, මුතු මැනික් හා මිනිරන් කර්මාන්ත ඇතුලු වෙනත් කාර්මාන්තයන් ද, වරාය ගුවන්තොටුපල, දුම්රිය මාර්ග, මහා මාර්ග ඇතුළු යටිතල පහසුකම් ද ඔවුන් විසින් සැලකිය යුතු ලෙස දියුණු කළාය. එමෙන්ම,  පාලන තන්ත්‍රය පවත්වාගෙන යාම සදහා අවශ්‍ය අධිකරණ පද්ධතිය, පොලීසිය හා බන්ධනාගාර පද්ධතියත්, සිවිල් පරිපාලන කටයුතු සදහා අවශ්‍ය ව්‍යුහයන් ද ස්ථාපිත කළාය. මෙම පද්ධතියේ කටයුතු කිරීමට අවශ්‍ය පුද්ගලයින් ගොඩනැගීම සදහා සැලකිය යුතු අධ්‍යාපන ක්‍රමයක් ද ස්ථාපිත කළාය.

1948 තෙක් පියවරෙන් පියවර දියුණු වෙමින් පැවති මෙම රාජ්‍ය ව්‍යුහය නිදහසින් පසු බලයට පැමිණි ස්වදේශිකයින්ගෙන් සමන්විත ආණ්ඩු විසින් එම රාජ්‍ය ක්‍රමය දුරටත් ශක්තිමත් හා කාර්‍ක්්‍යෂම කර පවත්වාගෙන යනවා වෙනුවට දුර්වල කර බලයට පත් වූ නියෝජිතයින්ගේ අවශ්‍යතා අනුව සැලකිය යුතු මට්ටමින් වෙනස් කරනු ලැබීය. එමෙන්ම, බලය සුරක්ෂිත කර ගැනීම හෝ නැවත බලය ලබා ගැනීම වෙනුවෙන් රටේ සිටි ප්‍රධාන ජාතීන් අතර විරසකයන් නිර්මාණය කරමින් ඒ තුළින් තම බලය තහවුරු කර ගැනීමටත්, රාජ්‍ය දුර්වලකර පවත්වාගෙන යාමටත් එය අවස්ථාවක් කර ගත්තාය.

එහි ප්‍රතිපලයක් වශයෙන් ප්‍රධාන ජාතීන් අතර විශාල යුද්ධයක් නිර්මාණය කළ අතර, එය පාලනය කිරීමට නම් සියලු බලතල සහිත තනි පුද්ගලයෙකු අවශ්‍ය බවට ජනමතයක් රට තුළ ගොඩනගමින් 1978 ගෙන ආ අලුත් ව්‍යවස්ථාව තුළින් රටේ සියලු බලතල ඒක් පුද්ගලයෙකු වෙත පැවරුවාය.

ඉන් පසුව එතෙක් පැවති රාජ්‍ය උඩුයටිකුරු වී, එක් පුද්ගලයෙකු විසින් මෙහෙය වන ඒසේ නැත්නම් ජනාධිපතිවරයා හෝ ඔහුගේ නියෝජිතයින් විසින් සම්පුර්ණයෙන් මෙහෙයවනු ලබන රාජ්‍යයක් දක්වා අපේ රාජ්‍යය අද පවතින තත්ත්වය දක්වා දුර්වල කරනු ලැබුවාය. කිසියම්ම හෝ රාජ්‍ය නිලධාරියෙකු තබා තම ආණ්ඩුව නියෝජනය කරනු ලබන මැති ඇමතිවරයෙකුටවත් තම හෘද සාක්ෂිය අනුව ස්වාධීනව හා යුක්ති සහගතව කටයුතු කිරීම මින් පසුව සම්පුර්ණයෙන් ඇණ හිටවනු ලැබුවාය.

ඇති වූ මේ වෙනස නිසා රාජ්‍ය මුල්‍ය පාලනය, අල්ලස දූෂණ හා අපරාධ පාලනය, සංවර්ධන සැලසුම්, විදේශ ප්‍රතිපත්ති, ආර්ථික සැලසුම්, රාජ්‍ය වියදම්, රාජ්‍ය අංශයේ කාර්්‍යක්ෂමතාවය, විගණනය හා වගවීම වැනි මූලික කරුණු පිළිබදව අධීක්ෂණය හා ක්‍රියාමාර්ග ගැනීම සදහා පත්කර තිබූ රාජ්‍ය ව්‍යුහයන් සම්පුර්ණයෙන් හෝ අර්ධවශයෙන් අඩපන කර දැමුවාය.

අද වන විට මෙහි දරුණු ප්‍රතිපල අප බුක්ති විදින අතර, මෙවැනි වසංගත තත්ත්වයක් තුළ සාමාන්‍ය රාජ්‍යයක් කටයුතු කරන ආකාරයට වඩා හාත්පසින් වෙනස් ආකාරයේ සිදුවීම් අපේ රටෙන් වාර්තා වෙන්නේ මේ හේතුව නිසාය. මෙවැනි බරපතල වසංගත තත්ත්වයක දී හෝ සුළු වශයෙන් හෝ ස්වාධීනව හෝ අපක්ෂපාතීව කිසියම් නිළධාරියෙක් කටයුතු කරනු ලැබුවහොත් ඔහු හෝ ඇය මෙම විධායකයේ උදහසට ලක්වීම වැලැක්විය නොහැකි වනු ඇත. එය මෙහි ස්වභාවයයි.

එසේ නම්, අප මේ මොහොතේ කළ යුත්තේ කුමක් ද? දශක හතකට වැඩි කාලයක් තිස්සේ වරින් වර බලයට පැමිණි මෙම ආණ්ඩු රාජ්‍ය නැමැති මෙම නිවසේ තිබූ බොහෝ වැදගත් කොටසක් විනාශ කර දැමීම සිදු කර තිබුනි. ඊට ඔවුන් පත් කළ ඡන්ද දායකයින්ගේ සහායද නොඅඩුව ලැබුනි. මේ වන විට බිත්ති හතරත්, අඹලන් වූ වහලක් සහිත බැලූ බැල්මට නිවසක් ලෙස පවා නොපෙනෙන මේ ශ්‍රී ලංකා රාජ්‍යයේ වාසය කරන්නන්ට අතීතයේ කැළයේ ගහක් හෝ ගලක් යට සිටි අවධියේ ලැබුනු ආකාරයේ ආරක්ෂාවක්, පහසුකමක් හැරෙන්නට වෙනත් රටක පවතින ආකාරයේ රාජ්‍යයකින් ලැබිය යුතු ආරක්ෂාවක් හෝ වෙනත් වරප්‍රසාදයක් ලබා ගැනීමට නොහැකි වී තිබේ.

මේ බව ඉවෙන් මෙන් දැනගත් ශ්‍රී ලංකික තරුණ තරුණියන් වැල නොකැඩී එසේ ආරක්ෂාව හා පහසුකම් සහිත රාජ්‍යයන් වෙත නීත්‍යාණුකූලව හෝ එසේ නොවන අයුරින් හෝ තම ජීවිතය පවා පරදුවට තබා තෙප්පම්, බෝට්ටු, හෝ ට්‍රෝලර් වල නැගී මේ රටෙන් පිට වී යන්නේ මේ නිසාය.

නමුත් ඒ ආකාරයෙන් අප සියලු දෙනාට මේ රට අත්හැර යාමට කිසිදු හැකියාවක් නැත. ඒ නිසා මෙහි ජීවත්වීමට සිදුවී ඇති අය විසින් අර්ධවශයෙන් විනාශ වී ගිය මෙම රාජ්‍ය තමන්ටත්, අනාගත පරම්පරාවටත් ආරක්ෂිතව හා සුරක්ෂිතව ජීවත්විය හැකි තමුන් මුහුණ දෙන ප්‍රශ්ණ පහසුවෙන් විසදා ගත හැකි මට්ටමේ රාජ්‍යයක් බවට පත්කර  ගත යුතුය.

එය අපේ දරුවන් යන්න වඩාත් කැමති ඇමරිකාව, ඔස්ට්‍රේලියාව හෝ යුරෝපීය රාජ්‍යයක් ආකාරයට නොවූවත්, අඩුම ගානේ ජපානය හෝ දකුණු කොරියානු පන්නයේ රාජ්‍ය මට්ටමටවත් ගොඩනගා ගැනීමට උත්සාහ කළ යුතුය.

එමෙන්ම, එය ඊලග මහ මැතිවරණ හෝ ජනාධිපතිවරණ ජයග්‍රහණය කිරීමෙන් පමණක් සිදු කිරීමට නොහැකි වනු ඇත. එය යම් කිසි නීතියක් හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමක් හරහා පමණක් සිදු කිරීමට නොහැකි වනු ඇත. එය අනාගතයේ අප සමග ගිවිසුම් ගත වන තවත් පොදු අපේක්ෂකයෙකු හරහා පමණක් සිදු කිරීමට නොහැකි වනු ඇත. එසේ නම් එය කළ හැකි වන්නේ මේ පිළිබදව අවබෝධයක් ඇති, නවීන අදහස්වලින් පිරුණු කැපවීමෙන් හා අධිෂ්ඨානයෙන් කටයුතු කළ හැකි මිනිසුන් විසින් නායකත්වයක් ගන්නා ස්වාධීන හා නිදහස් මහජන ව්‍යාපාරයක් ගොඩනැගීම හරහා පමණක් වනු ඇත.

ඒ අර්ථයෙන් ගත් කළ මෙම වසංගතයද කළු වලාවේ ඇති රීදී රේඛාවක් ලෙස ද නම් කළ හැක. වර්තමානය වන විට මේ ක්‍රමයට යා හැකි උපරිමයට අප ලගා වී තිබේ. එමෙන්ම, වර්තමානයේ අප මේ මුහුණ දෙන ගැටලු සදහා මේ වන විට පවතින කිසිදු පක්ෂයකට හෝ කිසියම් පුද්ගලයෙකුට ස්ථිර විසඳුම් නොමැති බවත් ඔවුන්ගේ ප්‍රකාශයන් තුළින් තව දුරටත් පැහැදිලි වේ .

හුදු විරොධතා, සටන් පාඨ, වීදි සටන්, වැඩවර්ජන වලින් ඔබ්බට ගොස් අප වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩඒම සදහා සාමුහික ප්‍රයත්නයන් ගත යුතුය. දැනට පවත්වාගෙන යන ආයතන හා ව්‍යුහයන් පිළිබදව අප ගැඹුරින් නැවත සලකා බැලිය යුතුය. මේ සදහා නවීන ප්‍රවනතා තේරුම්ගෙන කටයුතු කළ හැකි සක්‍රීය පුරවැසියන්ගෙන් සමන්විත ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන ව්‍යුහයක් සහිත ව්‍යාපාරයක් ගොඩ නැගීම සදහා මැදිහත් විය යුතුය. ඒ සදහා අලුත් කතාබහක් නිර්මාණය කළ යුතුය.

Social Sharing

Related posts