අලුත් දේශපාලන කතාබහක අවශ්‍යතාව – හර්ෂ ගුණසේන

The need for a new political dialogue in Sri Lanka - Harsha Gunasena

දීර්ඝ කාලයක් තිස්සේ ජාතිවාදය සහ ආගම්වාදය මෙරට විවිධ ජන කොටස් වලට එරෙහිව යොදවමින් ජනතාව භේද භින්න කරවමින් බහුතරයේ මානසික අනාරක්ෂිත භාවය අවුළුවමින් සුළුතරයෙන් බහුතරය ආරක්ෂා කර ගැනීමේ ව්‍යාජය ඉදිරියට ගනිමින්ද බටහිරට එරෙහිව ඊනියා දේශප්‍රේමය අවුළුවමින් දේශීය සම්පත් විදේශ සමාගම් වලට නොවිකුණන බවට පොරොන්දු වෙමින්ද බටහිරට එරෙහි ජනමතයක් නිර්මාණය කරවමින් බටහිර රාජ්‍යයන්ට ලංකාව නතුවීමේ ව්‍යාජ මතවාදයක් ඉදිරියට ගනිමින්ද රට සංවර්ධනය සඳහා ශක්තිමත් පාලනයක අවශ්‍යතාව අවධාරණය කරමින් ඒ සඳහා බලයේ කේන්ද්‍ර ගත කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් ද වර්තමාන පාලක පන්තිය යුද ජයග්‍රහණයෙන් පසුව රඟ දැක්වූ නාටකයේ තර්කානුකූල අවසානයකට අපි පැමිණෙමින් සිටිමු.

රට ගොඩ නැගිය හැක්කේ රට තුල වෙසෙන සියලු  ජන කොටස් ඒකරාශී කිරීමෙන් විනා ඔවුන් භේද භින්න කිරීමෙන් නොවේ. ලෝකය පුරා දියුණු වූ සියලුම රටවල් සිය රට තුල වෙසෙන මෙවැනි ප්‍රතිශතයකින් යුත් කිසිම ජන කොටසකට දෙවන පන්තියේ සැලකීමක් දක්වමින් දියුණු වී නැත. රටක ජන කොටස් අතර ප්‍රශ්න තිබෙන විට එම ගනුදෙනුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට තරම් පරිනත බවක් එරට ජන නායකයන්ටද එරට ජනතාවටද තිබිය යුතුය. අඩුම තරමින් තිස් අවුරුදු සිවිල් යුද්ධයකට පසුව වත් එම යුද්ධය ඇතිවූ හේතු සමනය කර ගැනීමට හැකියාවක් ඔවුන්ට තිබිය යුතුය. එමෙන්ම පසුගිය ආණ්ඩු කාලයේදී මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව කෙරුණු බොහෝ ප්‍රචාර හිස් ඒවා බව අනුක්‍රමයෙන් ප්‍රත්‍යක්ෂ වෙමින් පවතී. දොස්තර සාෆි සිද්ධිය උදාහරණයකි. මෙයට අමතරව මුස්ලිම් ජන කොටස් වර්තමාන ආණ්ඩුවට එරෙහිව මැතිවරණ වලදී ඡන්දය පාවිච්චි කිරීම නිසා ඔවුන්ට දඬුවම් වලට යටත් වීමට සිදුවුණි. සියලු සෞඛ්‍ය නිර්ණායක වලට පටහැනි වූ කොවිඩ් මරණ භුමදානයට අවසර නොදීම එක් උදාහරණයකි.

පාස්කු ප්‍රහාරය සැලසුම් කරන ලද්දේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අනුදැනුම ඇතිව වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒමේ ව්‍යාපෘතියක් වශයෙන් විය හැකැයි සමාජ ක්‍රියාකාරික ෂෙහාන් මාලක මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. ඒ සම්බන්ධයෙන් පොලිසිය විසින් ඔහුගෙන් දීර්ඝ කට උත්තරයක් ගන්නා ලදී. යම් හෙයකින් මෙම ප්‍රකාශය සත්‍ය නම් වර්ෂ 1956 සිට කෙරුණ බලය උදෙසා ජාතිවාදය සහ ආගම් වාදය යොදා ගැනීමේ උච්චතම සහ තුච්ඡතම අවස්ථාව එයයි.

මෙම සිද්ධීන් සමග දේශපාලන ජාතිවාදයේ අවසානයට ශ්‍රී ලංකාව ළඟා වෙමින් තිබෙන බව පෙනෙන්නට තිබේ. මේ සඳහා අවශ්‍ය වන්නේ ජනතා අවබෝධයයි. එම ජනතා අවබෝධයේ තරම ඉදිරියට එන සම්ප්‍රදායික දේශපාලන තලයට අනුබද්ධ නොවන ෂෙහාන් මාලක වැනි සමාජ ක්‍රියාකාරීන් ගෙන් පැහැදිලිවේ.

වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේ දේශීය සම්පත් විදේශයන්ට නොවිකුණන බවට පොරොන්දු වෙමින්ය. මේ පොරොන්දු තනිකරම හිස් ඒවා වේ. මක්නිසාද යත් කොළඹ ශන්ග්‍රීල්ලා හෝටලය තිබෙන බිම් ප්‍රදේශය එම හෝටලයට විකුණන ලද්දේ කලින් පැවති මහින්ද රාජපක්ෂ  ආණ්ඩුව විසිනි. කොළඹ වාරයේ නැගෙනහිර ජැටිය පිලිබඳ සිද්ධියේදී එම ජැටිය පාලනය කරන සමාගමේ කොටස් වල 50% කට වැඩි අයිතිය වරාය අධිකාරිය යටතට එනසේ සහ ඉතිරි කොටස් ඉන්දියානු සහ ජපන් සමාගම් යටතට යනසේ කලින් ආණ්ඩුව සැලසුම් කර තිබූ ව්‍යාපෘතිය අතහැර එහි සංවර්ධනය සම්පුර්ණයෙන්ම වරාය අධිකාරියට පවරා බටහිර ජැටිය පාලනය කරන සමාගමේ කොටස් වල 85% ක අයිතිය ඉන්දියානු සමාගමකට යනසේ ආණ්ඩුව විසින් ගත් තීරණය මෙරට සම්පත් විදේශයන්ට නොවිකිනීමේ    තීරණයට පටහැනි වෙයි. එමෙන්ම එය මුග්ධ ද වෙයි. මක්නිසාද යත් පළමුව  නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීමට වරාය අධිකාරියට හෝ ආණ්ඩුවට හෝ මුදල් නොමැත. දෙවනුව කොළඹ වරායේ  ප්‍රතිඅපනයනය කරන බොහෝ සෙයින්ම ඉන්දියානු භාණ්ඩ වන බැවින් ඔවුන්ගේ ආයෝජනය ව්‍යාපාරයට හිතකරය. තෙවනුව මේ අනුව බටහිර ජැටියේ අයිතිය 50% කට වැඩි ප්‍රමාණයක් විදේශයන්ට දී ඇත. කොළඹ වරායේ ජාත්‍යන්තර ජැටිය චීන සමාගමකට 85% ක අයිතියට පවරා දුන්නේ පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවයි.

ශ්‍රී ලංකා රජයේ මූල්‍ය තත්ත්වය අනුව රටට විදේශ ආයෝජන අවශ්‍යවේ. ඇමෙරිකානු හෝ වේවා ඉන්දියානු හෝ වේවා චීන හෝ වේවා ලැබෙන විදේශ ආයෝජන රටට වාසි දායක ලෙස කළමනාකරණය කර ගැනීම රජයේ වගකීමයි. එය සම්පත් වල අයිතිය බදු දීමක් හෝ විකිණීමක් හෝ විය හැක. එය කල යුත්තේ විකිණීම හෝ බදු දීම හෝ හරහා රටට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව තක්සේරුවකින් පසුවය. ඒ මගින් තමන්ට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව තක්සේරුවකින් පසුව නොවේ.

රට මුහුණපා ඇති අගාධයේ තරම ජනතාවට දැනෙන ප්‍රමාණය අනුව විදේශ ආයෝජන හෝ සම්පත් විකිණීම හෝ බදු දීම හෝ පිළිබඳව ජනතාවට ඇති විරෝධයේ ප්‍රමාණය අඩුවනු ඇත. එමෙන්ම මෙම ආණ්ඩුවේ ක්‍රියා කලාපය අනුව ඒ සඳහා ඇති දේශපාලනික විරෝධයද නැතිවී යනු ඇත.

ආර්ථිකය සම්බන්ධයෙන් රජය අනුගමනය කරන්නේ ප්‍රඥාවන්ත නොවන ක්‍රියා මාර්ගයකි.වර්තමාන ආර්ථික අර්බුදය වර්තමාන ආණ්ඩුවේ ක්‍රියා මත නොව මෙතෙක් පැවති ආණ්ඩු වල ක්‍රියාකාරකම් මත මෝදු වූවකි. අපේ ආර්ථිකයේ මූලික ගැටළුව දීර්ඝ කාලයක් මුළුල්ලේ පවතින අයවැය හිඟය සහ වෙළෙඳ ශේෂයේ හිඟයයි. මේනිසා විදේශ ණය වැඩිවී එය ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබේ. මෙයට ප්‍රතිකර්මයක් වශයෙන් ආණ්ඩුව අනුගමනය කරන ගෙවුම් ශේෂ අර්බුදය සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෝගය ලබා නොගැනීමේ ප්‍රතිපත්තිය නිසා ආනයන සීමා කිරීම් වලට රටට මුහුණ පෑමට සිදුවී තිබේ. එමතුද නොව ආණ්ඩුව විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ වලට සහ විදේශ විනිමය අනුපාතිකයටද මිල පාලනයක් පනවා තිබේ. ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගන්නේ නම් අයවැය හිඟය අඩු කිරීම සහ ඒ සඳහා ගන්නා ක්‍රියාමාර්ග ඇතුළු ඔවුන්ගේ කොන්දේසි වලට යටත් වීමට සිදුවේ. මෙය කෙටි කාලීන දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගැනීමට බාධාවල් වුවත් දීර්ඝ කාලීන වශයෙන් රටට හිතකර වේ. වර්තමාන වැඩපිළිවෙල මගින්ද ආණ්ඩුවේ දේශපාලන අරමුණු වලට බාධා සිදුවන බැවින්  රටට දීර්ඝ කාලින වශයෙන් හිතකර ක්‍රියා මාර්ගයක් ගැනීම වඩාත් ප්‍රශස්තය.

දහනව වන ව්‍යවස්ථා සංශෝධනයේ ජනාධිපති බලතල අඩුකිරීම නිසා පාලනය ක්‍රියාශීලිව කර ගෙන යාම අපහසු බව පාස්කු ඉරිදා ප්‍රහාර ඉතාමත් වැරදි ලෙස අර්ථ කථනය කරමින් ජනතාවට ඒත්තු ගැන්වීමට උත්සාහ කල ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ව්‍යවස්ථාවේ විසි වන සංශෝධනය හරහා ජනාධිපති වරයාට ඇති විශාල බලයක් පවරන ලදී. ඔහුට ඇති ඒකාධිපති බලතල පාවිච්චි කරමින් ඇමතිවරුන්ට ද ඇහුම්කන් නොදෙමින් තමන්ද අසමත් වෙමින් රටද අසමත් කරමින් මේ යන ගමන හරහා ඇති විශාල බලයක් එක් පුද්ගලයෙක් අත ඒකරාශී වීම රටට අහිතකර  බව ජනතාවට පැහැදිලි වෙමින් පවතී. මේ බලය ඒකරාශී කිරීමේ ආසන්නම අවස්ථාව වර්තමාන හදිසි නීති තත්ත්වයයි. ඒ මගින් ජනාධිපතිවරයාට තවත් බලතල ලැබේ. ඒ  හරහා අසමත් වීම තවත් තීව්‍ර වනු ඇත. කොවිඩ් කළමනාකරණය සඳහා වෛද්‍ය වරුන්ගෙන් අදහස් නොවිමසමින් ඒ සඳහා හමුදාව ඉදිරියට ගනිමින් මුල පටන් ගෙන ගිය අත්තනෝමතික මුග්ධ ප්‍රතිපත්තිය නිසා කොවිඩ් සම්බන්ධයෙන් අපේ රටට විශාල මරණ සංඛ්‍යාවක් දරා ගැනීමට සිදුවී ඇත.

මෙම තත්ත්වය නිසා නුදුරු අනාගතයේදී රට අරාජික වන ලකුණු පෙනෙන්නට තිබේ. ආණ්ඩුව රට වැසීමට කිසිම ක්‍රියාමාර්ගයක් නොගන්නා තත්ත්වයක් තුළ රට පුරා වෙළෙඳ සංගම් සිය ප්‍රදේශවල වෙළෙඳ සල් වසා දැමීමට තීරණය කරන ලදී. එය එක්තරා ආකාරයකට  විපක්ෂයේ අභිලාෂයන් ද ඉක්මවා යමින් ජනතාව විසින් බලය අභ්‍යාස කිරීමකි. මෙය ඉතාමත්ම හොඳ ප්‍රවණතාවයක් වන අතර මෙම ප්‍රවණතාවය ඉදිරියට ගෙන යා හැකිනම් එය වඩාත් පුළුල් දේශපාලන වෙනසක් සඳහා ජනතාව පෙළගැස්වීමට ඉවහල් වනු ඇත.

ඊලඟ මැතිවරණයේ බලය තට්ටු මාරු ක්‍රමයට විපක්ෂයට ලැබුන හොත් රටේ අභාග්‍යය ඉදිරියටම යනු ඇත. රටේ තත්ත්වය අනුව සුපුරුදු පරිදි ජනතාවට සහන ලබාදීමේ පොරොන්දුව මත බලය ලබා ගැනීම ඉතාමත් අමනොඥ ක්‍රියාවක් වනු ඇත. දැන් ජනතාවට ඇත්ත කිව යුතුය. එමෙන්ම මීළඟට බලය ගන්නා පාර්ශ්වය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පුළුල් කොන්දේසි වලට යටත් කිරීම සඳහා ජනතාව විසින් පියවර ගත යුතුය.

රටේ බහුතරය තුල තිබෙන සමාජ හීනමානය සමඟ මුසුවූ  ගෝත්‍රික මානසිකත්වය රට මේ තත්ත්වයට ඇද වැටීමේ එක් ප්‍රධාන හේතුවකි. මේ නිසා බටහිරට විරුද්ධ සහ දෙමළ සහ මුස්ලිම් ජනතාවන්ට විරුද්ධ ආකල්ප පතුරුවා බලය ලබා ගැනීමට දේශපාලනඥයන්ට අවස්ථාව හිමි වී තිබේ.  මේ දේශපාලනයේ ප්‍රෝඩාව මිට බොහෝ කලකට පෙරද සනාථවූ නමුත් දැන් එය වඩාත් තීව්‍ර ලෙස සනාථ වෙමින් තිබේ.

1970 ගණන් වල රටේ සම්පත් කොල්ලකන විදේශ බහු ජාතික සමාගම් ගැන ජනතාව කථා කළහ. එයින් පසුව ඇතිවූ විවෘත ආර්ථිකය අවදියේදී ලංකාවේ බොහෝ  සමාගම්  බහු ජාතික සමාගම් බවට පත්විය. උදාහරණයක් වශයෙන් හේලීස් සමාගම සහ එයිට්කන් ස්පෙන්ස් සමාගම මුල් කාලයේම විදේශ වල ව්‍යාපාර පටන්ගත් කොළඹ මුලස්ථානය ඇති බහු ජාතික සමාගම්ය. එවැනි සමාගම් විශාල ප්‍රමාණයක් ලංකාවේ දැන් තිබේ. මෙම තත්ත්වය අවබෝධ කර ගැනීම සමාජ  හීනමානී මානසිකත්වයෙන් මිදීමේ මාර්ගයකි. මෙය ජනතාවට එතරම් සමීප අත්දැකීමක් නොවන නමුත් මෑත කාලයේදී යොහානි ද සිල්වා   ගැයූ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය විවිධ රටවල් වල ලැබූ ජනප්‍රියත්වය රටේ මෙම අඳුරු අවස්ථාවේදී මෙරට පිළිබඳව ඇති සමාජ හීනමානීය හැඟීම් සමනය කර ගැනීමට ජනතාවට ලැබුන අගනා අවස්ථාවකි.  1996 ලෝක කුසලාන ජයග්‍රහණය ද 1948 සහ 2000 දී ලැබුණ ඔලිම්පික් පදක්කම් ද මෙවර පැරා ඔලිම්පික් තරඟයේදී දිනේෂ් ප්‍රියන්ත ලද රන් පදක්කමද මෙවැනි අවස්ථා වේ.  මෙම නැතිවන සමාජ හීනමානය විසින් ඇතිවන හැකි සංඥාව විසින්  සමාජ බිය තුරන් කරනු ඇත.

එබැවින් මේ අවස්ථාවේදී ප්‍රබල ජනතා ව්‍යාපාරයක් සඳහා අලුත් කතා බහක අවශ්‍යතාව තිබේ. එය දේශපාලනඥයන්ගේ බලය අතික්‍රමණය කරමින් ඔවුන්ගේද සහයෝගය ඇතිව මහජන ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමේ සිට රටට සරිලන පොදු ප්‍රතිපත්ති මාලාවක් සකසා ගැනීම දක්වා විය යුතුය. රට මුහුණ දෙන ආර්ථික සහ දේශපාලන අර්බුදය පිළිබඳව සවිඥානිකව මෙය කල යුතුවේ. 2015 දී තිබුන අවශ්‍යතාවද එයම වේ. දැන් තත්ත්වය ඊට වඩා බරපතලය.  2015 න් ලැබුන පාඩම් ද සහිතව මෙම මැදහත් වීම කල යුතුවේ. ඊට අමතරව ඇත්තේ විකල්ප දෙකකි. එයින් පළමුවැන්න මිලිටරි ආණ්ඩුවකි. අන්තවාදීන් කෙරෙහි යම් පමණකට හෝ තිබුන මෙම කැමැත්ත ජනාධිපතිවරයා විසින් කරන ලද මිලිටරි පත්වීම් වලින් ඇතිකරන ලද ප්‍රතිඵල මත ජනතා අප්‍රසාදයක් බවට පෙරලී තිබේ. දෙවැන්න සන්නද්ධ කැරැල්ලකි. සන්නද්ධ කැරලි තුනකින් පාඩම් ඉගෙන ගෙන ඇති රටක් වන අප මෙයට ඇති ඉඩ ප්‍රස්ථාව නවතා දැමිය යුතුය. එබැවින් මේ අවස්ථාවේදී ඇති එකම විකල්පය පවතින ක්‍රමය වෙනස් කිරීමේ ප්‍රබල ප්‍රජාතන්ත්‍රවාදී නිර්ප්‍රචණ්ඩ ජනතා මැදහත් වීමකි.

Social Sharing

Related posts