
“අමිතා ප්‍රියන්ති භාරය” විසින් 2015 ජුලි 15 දින, කොළඹ ලක්ෂ්මන් කදිර්ගාමර් ආයතනයේදී පවත්වන ලද සංවාද සභාවේදී ඉදිරිපත් කරන ලද කරුණු ඇසුරෙනි.
ඉද්දමල්ගොඩට එදිරිව ශ්‍රියානි සිල්වා නඩුවේ තීන්දුව ශ්‍රී ලංකා නීති ඉතිහාසයේ අතිශය වැදගත් නඩු තීන්දුවකි. එය ජීවත් වීමේ අයිතිය ශ්‍රී ලංකා අධිකරණය විසින් පිළිගත් අවස්ථාවක් ලෙස සැලකේ.

ශ්‍රියානි සිල්වාගේ සැමියා වූ හිටපු හමුදා සෙබළ ලසන්ත ජගත් කුමාර පයාගල පොලිස් අත්අඩංගුවේ සිටියදී වධහිංසනයට ලක්ව ඝාතනයට ලක්විය. ඔහු වෙනුවෙන් යුක්තිය උදෙසා නීතිමය අරගලයට අවුරුදු 25ක් තිස්සේ නායකත්වය දුන්නේ ඔහුගේ වැඩිමහල් සහෝදරිය වන අමිතා ප්‍රියන්තිය. ඇයට හමු වූ දහසකට අධික සෙසු වින්දිතයන්ට යුක්තිය සාක්ෂාත් කරගැනීම සඳහා දුන් සහාය, අභියෝග හා බාධක මධ්‍යයේ ඇය මානව හිමිකම් ක්‍රියාකාරිනියක බවට පරිවර්තනය වූවාය.
“මල්ලි මිය ගිය 2000 වසරේ ජුනි 23 දවසේ සිට මා පූර්ණ කාලීනව යුක්තිය වෙනුවෙන් වැඩ කළ නිසා තමයි, ඉද්දමල්ගොඩට එදිරිව ශ්‍රියානි සිල්වා නඩුවේ තීන්දුව, අපරාධ නඩුව, වැරදි වාර්තා ලබාදුන් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයකුගේ සේවය තහනම් වීම වැනි දේ සිදුවන්නේ ඒ පෙනී සිටීම නිසායි.
“2006දී පනවන ලද ලඝු නොවන නඩුව මහේස්ත්‍රාත් උසාවියේ 67 වතාවක් කැඳවූවා. අවුරුදු හයකට පසුව 2013දි තමයි මහාධිකරණයේ නඩුව ගොනු කළේ. මේ වන විට අවස්ථා 50කට වඩා නඩුව කැඳවලා තිබෙනවා. විනිසුරුවරුන් ගණනාවක්, රජයේ නීතීඥවරුන් ගණනාවක් මාරු වුණා. මේ කාලය තුළ බොහෝ වෙනස්කම් සිදු වී තිබෙනවා. තවමත් යුක්තිය ඉටු වී නැහැ. මම දිගටම මේ වෙනුවෙන් පෙනී නොසිටියා නම්, මේ නඩුව මේ වන විට නැහැ. එය එතරම් කල් ගිය නඩුවක්.
“අප ප්‍රාර්ථනා කළ යුක්තිය අහිමි වෙලා තිබෙනවා. යුක්තිය සාක්ෂාත් කරගැනීම ලෙහෙසි නැහැ. හැම ක්ෂේත්‍රයක්ම, නිලධාරියකුම වගේ දූෂිතභාවයට ලක්වෙලා. වගඋත්තරකරුවන් රැකගැනීම වෙනුවෙන් ඔවුන් පෙනී ඉන්නවා.
“වධහිංසනයේ ගොදුරු බවට බොහෝ විට පත්වන්නේ සමාජයේ පහළ මට්ටම්වල ජීවත් වන පුද්ගලයන්. අපේ රටේ ක්‍රියාත්මක ක්‍රමය වෙනස් කිරීමට නොහැකි වන ප්‍රධාන හේතුවක් තමයි, නීතියේ සාධාරණත්වය සාක්ෂාත් කරගැනීමට නොහැකි වීම.”

අනිද්දා පුවත්පතේ කර්තෘ හා නීතීඥ කේ.ඩබ්. ජනරංජන මෙසේ පැවසීය: “තමන්ගේ පෞද්ගලික අත්දැකීම එතැනින් අවසන් වීමට නොදී සමාජය වෙනස් කරන්නට එඩිතරව කටයුතු කළ කාන්තාවක් තමයි කාන්තා. ඉද්දමල්ගොඩට එදිරිව ශ්‍රියානි සිල්වා නඩුව විසින් වින්දිතයා වෙනුවෙන් බිරිඳට නඩු පැවරිය හැකි බව පිළිගත් අවස්ථාවක්. වධහිංසාව සඳහා තමන්ට අයිතියක් ඇති බව පොලිසිය සිතන බව පෙනෙනවා. ඇතැම් සැකකරුවන්ව ඝාතනයටත් ලක්වෙනවා. ලංකාවේ රිමාන්ඩ් බන්ධනාගාරවල තත්වය අනුව රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමත් වධහිංසනයක්. ඇප දීම නීතිය හා ඇප නොදීම ව්‍යතිරේඛය වුණත්, මහේස්ත්‍රාත්වරුන්ගේ භූමිකාවේ ගැටලු නිසා මිනිසුන් කරදරයට පත්වෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවත් මෙම අකාර්යක්ෂමතාවට වගකිව යුතුයි.
“වධහිංසාව නතර කිරීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරුන්ට විශාල වගකීමක් තිබෙනවා. ඔවුන් පොලිසිය වැනි නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල රබර් සීල් නොවිය යුතුයි. ඔවුන් වධහිංසනයට, පොලිස් ඝාතනවලට එරෙහිව හරිහැටි කටයුතු කළා නම්, මේ වන විට මෙම ක්‍රියා අවසන් වී තිබිය හැකියි.
“ලංකාවේ ජනමාධ්‍ය බහුතරයක් පොලිසියට අනුව වැඩ කරන ආයතන. වධහිංසන සම්බන්ධයෙන් පොලිසිය කියන කතාව වාර්තා කරනවා හැර, ඒවා පොලිස් අපරාධද යන්න ප්‍රශ්න කරන්නේ නැහැ.”

නීතීඥ ප්‍රියන්ත ගමගේ යනු මුලින්ම මහේස්ත්‍රාත් උසාවියේදී ජගත් ලසන්ත කුමාරගේ නඩුවට පෙනී සිටි නීතීඥවරයෙකි. තම දීර්ඝ කාලීන අත්දැකීම් ඇසුරෙන් ඔහු මෙසේ පැවසීය. “ලසන්තගේ නඩුව 2006 සිට 2013 දක්වා කිසිවක් නොවී ඇදුණා. 2013දී මහාධිකරණයට යොමු වූණ මේ නඩුව 2025 වන විටත් නඩුව තවමත් විභාග වෙනවා. අපරාධයක් සම්බන්ධ නඩුව අවුරුදු 25කට පසුවත් තවමත් විභාග වෙනවා කියන එකෙන්ම පෙනෙනවා, ලංකාවේ අපරාධ නඩුවල කණගාටුදායක තත්වය. මිලියනයකට වැඩි නඩු ගොඩක් විභාග කරන්නට ඉන්නේ විනිශ්චයකාරවරුන් 400කට ආසන්න පිරිසක්. එක් මහේස්ත්‍රාත්වරයකු නඩු 5000ක්, දිසා විනිසුරුවරයකු නඩු 2000ක් ඇසිය යුතුය. 2023 වන විට ජනගහණයෙන් මිලියනයකට විනිසුරුවරුන් සිටියේ 19යි. එය ජාත්‍යන්තර ප්‍රමිතියට වඩා බෙහෙවින් අඩුයි. විනිශ්චයකාරවරුන් වගේම කාර්ය මණ්ඩලයත් අප්‍රමාණවත්.නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්නේ අනුමත කාර්ය මණ්ඩලයෙන් අඩක් පමණයි. බඳවාගැනීම් සඳහා රටේ ප්‍රතිපාදන නැහැ. ගිවිසුමක් සම්මත වෙන්න සාමාන්‍යයෙන් දින 1,318ක් යනවා. නඩු කළමනාකරණයේ, ආයතන සම්බන්ධීකරණයේ දුර්වලතා නඩු ප්‍රමාදයට හේතු වෙනවා. රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතනවලට යොමු වන නඩු සම්බන්ධ වාර්තා ලැබෙන්නේ ඉතා සෙමින්. මේ නිසා විශාල කාලය, ශ්‍රමය, සම්පත් නාස්තියක් ද වෙනවා. කල් පසුවන විට සාක්ෂිකරුවන්ට සිදුවීම් අමතක වෙනවා. ඒ වගේම, අපරාධයකට දඬුවම අවුරුදු 25කට විතර පස්සෙ දෙන එක යුක්තියද?”

සමාජ පර්යේෂකවරයකු වන වින්දිතයන් සමග කටයුතු කරන නීතීඥවරයකු වන මාක් ෂූබර්ට් මෙසේ පැවසීය: “වධහිංසනයට ලක් වූ පුද්ගලයකුට වධහිංසනයට ලක් වීමෙන් පසු, වෛද්‍යමය, නීතිමය, මානසික පැතිකඩ අපේ අවධානයට යොමු වෙනවා. මා කතා කරන්නේ එය එදිනෙදා ජීවිතයට බලපාන්නේ කෙසේද යන්නයි. වධහිංසනයට ලක්වුණ පුද්ගලයන්ගේ ශාරීරික හා චිත්තවේගීය වේදනාව අපට අවබෝධ කරගන්නට අමාරුයි. එය එතැනින් අවසන් වන්නේ නැහැ. එහි සමාජ බලපෑම අතිවිශාලයි. එදිනෙදා ජීවිතයේදී එහි බලපෑම දිගුකල් පවතින බව අපගේ සමීක්ෂණයෙන් හෙළි වී තිබෙනවා. ඔවුන් ලෝකය දිහා, මිනිසුන් දිහා බලන විදිය වෙනස් වෙනවා. එය විටින් විට මතු වෙනවා. වධහිංසනයට ලක් වූ පුද්ගලයන්ට තමන්ට ඉතා දුරස්ථ වූ පොලිසිය, මානව හිමිකම් කොමිෂන් සභාව, අධිකරණය ආදී ආයතන සමග අකැමැත්තෙන් හෝ ගනුදෙනු කරන්නට සිදුවෙනවා. ගොඩනැගී තිබුණු අවිශ්වාසය නැති කරගෙන කටයුතු කරන්නට ඔවුන්ට සිදුවෙනවා. එතැනදි ඔවුන්ට සහාය වීම අතිශය වැදගත් කාර්යයක්.”
සාකච්ඡා සභාව මෙහෙයවූයේ මානව හිමිකම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ නීතීඥවරියක වන අර්මිසා ටීගල් විසිනි.

