
සමාජ මාධ්‍ය ඔස්සේ ඊශ්‍ර්‍රායලයට විරෝධය දැක්වූවා යැයි යන චෝදනාව යටතේ මාස 09කට අධික කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටි තරුණයා ඊයේ දිනයේ (15) රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය නියෝග කර ඇත.
දෙහිවල පොලිසිය වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්නගේ අත්සනින් යුත් ලේඛනයක් අධිකරණයට ඉදිරිපත් කරමින් නීතිපතිවරයා මෙම සැකකරුව ඇප මත මුදාහැරීමට උපදෙස් ලබා දී තිබේ. මෙම නඩුව පසුගිය 09 වන දා කැඳවූ අවස්ථාවේදී මෙම තරුණයා කිසිදු අපරාධයක් කළ බවට අනාවරණය නොවූ බව පවසමින් ඇප මත මුදාහරින ලෙසට ඔහු අත්අඩංගුවට ගත් දෙහිවල පොලිසිය අධිකරණයෙන් ඉල්ලා ඇති බවට වාර්තා වේ.
කෙසේ වුවද, 2025 වර්ෂයේ මැයි මස 27 වන දා උද්ධෘත සකස් කර නීති කොට්ඨාසයට සහ නීතිපතිතුමා වෙත යොමු කරමින් නීතිපති උපදෙස් ලබා ගැනීමට දෙහිවල පොලිසිය කටයුතු කර ඇති පසුබිමක නීතිපතිතුමාගේ උපදෙස්වලින් තොරව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අදාළව මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරුට ඇප ලබාදීමේ හැකියාවක් නොමැති බව ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය එදින නඩු වාරයේදී දෙහිවල පොලිසියට දන්වා සිටියාය.
මාවනැල්ලේ පදිංචි මොහොමඩ් රිෆායි මොහොමඩ් සුහායිල් නමැති 21 හැවිරිදි තරුණයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පසුගිය වසරේ ඔක්තෝබර් මස 25 වන දා දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබු අතර සැකකරු වෙනුවෙන් ගීත්ම ප්‍රනාන්දු, වරුණ ජයසිංහ, අරුණි රණසිංහ, ඉල්හාම් හසනලි, අශ්රෆ් මුක්තාර්, බේශාඩ් අම්ජාඩ් යන නීතිඥවරු පෙනී සිටියහ. තවද වැඩිදුර විමර්ශන වාර්තාවන් සඳහා සැප්තැම්බර් මස 16 වන දා නැවත මෙම නඩුව කැඳවීමට නියමිත ය.
