කලාකරුවෝ දැනගන්න ඕන තමන්ගේ අනාගතේ හදාගන්න ඒකට ආණ්ඩු පලි නෑ!

රංගන ශිල්පී දිලිප් රෝහන

ඔබ කලාකරුවෙක් වගේම දේශපාලනයේත් සක්‍රීය චරිතයක්…

මම කලාවට සම්බන්ධ වෙන්නේ 1976 වර්ෂයේ ඒ කාලවකවානුවේ සිටම මම දේශපාලනය සමග සිටියා. 1977 තමයි මම ගුරුවරයෙක් වෙන්නේ. 1976 තමයි මම, ප්‍රාදේශීය වශයෙන් හොදම නාට්‍ය වෙච්චි “ඉවක් බුවක් නැති ලොවක්” නාට්‍යයෙන් නාට්‍යකාරයෙක් වෙන්නේ. එතකොට මගේ ගුරු ජීවීතයයි නාට්‍ය ජීවිතයයි අතර අවුරුද්දක පරතරයක් තමයි තියෙන්නේ. 1977 සිටම මම සමසමාජ පක්ෂය එක්ක සම්බන්ධ වෙලා හිටියා. එන් එම් පෙරේරලා එක්ක දේශපාලනයේ නිරත උනා. එතැන් සිට සිදුවුණ දේශපාලන විපර්යාස එක්ක මම දේශපාලනයේ රැඳී සිටියා. කොළඹ ආවට පස්සෙ මම පරාක්‍රමලා එක්ක සම්බන්ධ වෙන්නේ වීධී නාට්‍යකාරයෙක් විදිහට, ඒ ගැලීලියෝ නාට්‍ය එක්ක.  ඒ කාලේ අපිට  ආධාර ලබා දුන්නේ සෝවියට සංගමයෙන්. ඒ කාලයේ මම සමසමාජ පක්ෂයේ බදුල්ලේ ක්‍රියාදරයෙක් වගේම ඇත්ත පත්තරේ වාර්තාකරුවෙක්. එනිසා මමයි දේශපාලනයයි කියන්නේ දෙකක් නෙවෙයි එකක්. ඒනිසාම මම දන්නවා මොන ආණ්ඩුව ආවත් කලාකරුවන්ව හෝද හෝදා මඩේ දානවා කියලා ඡන්ද කාලයේ දී. ඒ නිසා දැන් පවතින දේ කියන්නේ අලුත් දෙයක් නෙවෙයි මට. මේක තමයි හැමදාම උනේ. කලාකාරයෝ කඩේ යනවා, ඊළඟට ඔහේ බලාපොරොත්තු සිඳගෙන පැත්තකට වෙලා ඉන්නවා.

කලාකරුවන් මහළු වුණහම රජය ඔවුන්ව බලාගන්න ඕනෙ කියලා අදහසක් ලංකාවේ තිබෙනවා, කිසිඳු ආදායමක් නැතුව ඔවුන් පාරට වැටෙන ස්රූපයක් තමයි තියෙන්නේ…

ඒ කතාව අහද්දි නම් මට හිනා යනවා. මේක තණකොළ පෙත්තගෙ කතාව වගේ. මොකද පායන කාලෙට හොඳට සින්ඳු කියකිය ඉදලා අර කූඹියෝ කියනවනේ වැස්ස කාලෙට කෑම රැස් කරගන්න කියලා, අවසානයේදී වැස්ස කාලෙයේ යන්න තැනක් නැතුව කන්න දෙයක් නැතුව ඉන්නවා තණකොල පෙත්තා. මමත් දැන් වයසට ගිහිල්ලා අවුරුදු 62ක් වෙනවා. මම මට තියන කාලේ ඉතුරු කරගත්තා. ඔය මහළු වුණහම කියන කතාව හුඟක් කියන්නේ ජනප්‍රිය අය, ඒ අය ජනප්‍රිය වෙන්න හුඟක් දේවල් කරත් තමන්ට කියලා දේවල් කරගන්නේ නෑ. ඒ නිසා තමන් දැනගන්න ඕනෙ තමන්ව බලාගන්න. තමන්ගේ අනාගතය හදාගන්න. තමන්ට හම්බෙන දේ කළමනාකරණය කරගන්න. හැබැයි ආණ්ඩුවට කඩේ ගිහින් තමන්ට තැනැක් නැති වෙලා අවසානයේ කෑ ගහන එක ඒගොල්ලොන්ගේ පෞද්ගලික දෙයක්.  සමස්තයක් විදිහට මට නම් කියන්න තියෙන්නේ ආණ්ඩුව මේකට වග කියන්න ඕනෙනෑ කියලා.

ලංකාවේ වේදිකා නාට්‍යකරුවන්ට විශාල දුක්ගැනවිලි ටිකක් තියෙනවා දශක ගණනාවක ඉඳලා. නාට්‍ය පාසලක් නෑ, කොළඹ එද්දී නවාතැන් පහසුකම් නෑ, ජෝන් ද සිල්වා තවම හදලා ඉවරණෑ, ඔයවගේ.

මං හිතන්නේ කලාකාරයෝ කියන්නේ කරපිංචා වගේ, හොද්ද රස කරන්න කරපිංචා රම්පේ දැම්මට කද්දී  මොන ගෙදර වුණත්, රජගෙදර වුණත්, හිඟන්නගේ ගෙදර වුණත්, ඒක අයින් කරලානෙ කන්නේ, ඉතින් ඒ වගේ තමයි දේශපාලනය කරන කෙනාට කලාකාරයාව ඕනේ වෙන්නේ ඡන්දටික හොයාගන්න විතරයි. ඊට පස්සේ වැඩක් නෑ. ආයෙ අවුරුදු 5කින් තමයි ආයෙත් ඕනෑ වෙන්නේ. ඒ ඕනෑ වෙනකොට කලාකාරයෝ ගන්නනම් ප්‍රශ්නත් තියෙන්න එපැයි. ඉතිං ලංකාවේ ඔය කලාකාරයන්ගේ ප්‍රශ්න සඳාකාලිකයි.

ඔබ මුල්ම ටෙලිනාට්‍යවල රඟපෑ ජනප්‍රිය නළුවෙක්. වර්තමාන මෙගා රැල්ල ගැන වගේම කලා භාවිතය ගැන මොනාද කියන්න තියෙන්නේ..

රූපවාහිනියෙන් කරපු ප්‍රථම ප්‍රාසාංගීය ටෙලිනාට්‍ය තමයි ළාහිරු දහසක් මම එහි ප්‍රධාන චරිතයක් රඟදැක්වූවා, ඊළඟට ITN එකේ විකාශනය වන කෝපි කඩේ නාට්‍යයේ පුතා හැටියට මම අවුරුද්දක් ඒකට සම්බන්ධ වෙලා හිටියා. ඒ වගේම බන්ධුල විතානගේ ගේ බුමුතුරුණු නට්‍යයේ හිටියා. එදා ඒ මුලින් තිබුනු නාට්‍ය ඉන්දියන් ටෙලිනාට්‍ය වලට වඩා ඉස්සරහට ගිහින් තිබුනා. ඒ කාලෙයේ හිටියා අවංකව සේවය කරපු හොද අධ්‍යක්ෂකවරු. මට මතකයි ඒ කාලයේ හැමෝටම රූපවාහිනී නෑ.  දෙකයි තුනයි තිබුනේ. ඒවගේම නාලිකා තිබුනේ දෙකයි. සතියට යන්නෙත් නාට්‍ය දෙකයි. ඒ නිසා මේ නාට්‍ය දෙක බලන්න සැදී පැහැදී ඉන්නවා මිනිස්සු ගෙවල් වලට වෙලා. එහෙම බලපු මිනිස්සුන්ට අදත් මම කවුද කියන එක මගේ නම මොකක්ද යන එක මතකයි. ඒ වගේම අපි රඟපාපු චරිත මතකයි.

අද රූපවාහිනී නාලිකා වැහි වැහැලා තියනවා, එකක් බලාගෙන ගිහිල්ලා තව එකක් දානවා, ඊට පස්සෙ ඒක මාරු කරනවා, අන්තිමට බැලුවෙ මොකක්ද කියලා මතක නෑ.. මුලින් ටෙලිනාට්‍ය නිෂ්පාදනය කරේ කවුරුහරි ආයතනයක් අරගෙන, ඒ ආයතනයේ වෙළෙඳ දැන්වීම් නාට්‍ය ආරම්භ වෙන්න ඉස්සර වෙලා හා අවසානයේ ප්‍රචාරණය කරපු එක ඇරෙන්න මැදින් ඒවා දැමුවේ නැහැ. නමුත් වර්තමානයේ එසේ නැහැ. හැමතැනින්ම මේවා ප්‍රචාරණය කරලා වාණිජකරණය කරලා තියනවා. ගුණාත්මකව පිරිහෙමින් පවතිනවා, සංඛ්‍යාත්මකව වැඩි වෙමින් පවතිනවා. නාලිකාවකින් තමයි දැන් නට්‍ය නිශ්පාදනය කරන්නේ, වෙන පුද්ගලයෙක් නාට්‍යයක් නිෂ්පාදනය කරොත් ඔහුට එය විකාශනය කරන්න තැනැක්නෑ. මේ ආකාරයේ නාලිකා වලින් නිෂ්පාදනය කරන නාට්‍යවලට චරිත තෝරාගන්නෙත් අධ්‍යක්ෂකට ඕනි ආකාරයට නෙවෙයි. එවිට ලියපු පිටපතේ අපි හිතමු ජෝ අබේවික්‍රම ගන්න ඕනි චරිතයක් කියලා නමුත් නාලිකාවෙන් කියනවා අවු 22ක 23ක තරුණයෙක් අරගන්න කියලා. එත්කොට ඒක හරියන්නෙ නෑ නේ.  නමුත් ඒ නාලිකාවලට ඕනේ තමන්ගේ කවුරුහරි ඉස්මතු කරන්න. ඒ වගේම තමයි ඉන්දියන් කතා ගෙනල්ලා ලංකාවේ අපිටම කියලා තිබුනු ටෙලි නාට්‍යය සංස්කෘතිය නැති වෙලා ගියා. සංස්කෘතිය කියන දේ එකම තැන තියෙන්න ඕනෙනෑ පරම්පරා ගණනක් යද්දී නාට්‍ය කලාව ද වෙනස් වෙන්න ඕනේ, නමුත් මේ ඉන්දියන් කසිකබල් නාට්‍ය නිසා ඒක වෙන්නෙත් නැහැ. මිනිස්සු තමන්ගේ තියන ප්‍රශ්න අහක දාලා මේ නට්‍යවල තියන ප්‍රශ්න තමන්ගේ කරගෙන බොහොම සරල වින්දනයක් ලබනවා.

ඇත්තටම කලාකරුවන්ට ප්‍රශ්න නැද්ද?

පසුගිය කාලයේ නිර්මාණය කරපු ඓතිහාසික චිත්‍රපට වලින් කරේ එක් චරිතයක් ප්‍රබල කරලා පෙන්වපු එක. ඒ වගේම ඒවා ජාතිවාදී නිර්මාණ, ඒවා සාමාන්‍ය මිනිස්සු ඉල්ලපු ඒවා නෙවෙයි. මේ චිත්‍රපට තුලින් එක් ජාතියක් පමනක් ඉස්මතු කරලා පෙන්නනවා. මේ සියල්ල කරලා තියෙන්නේ දේශපාලන චරිත උලුප්පන්න. අපි මිනිස්සු දැනුවත් කරන නාට්‍ය කරගෙන ගියා. එතනදී අපට රඟහලක් තියනවද නැද්ද කියන ප්‍රශ්නය අදාළ වුණේ නැහැ. ඒ වගේම පරාක්‍රම නිරිඇල්ල, H.A පෙරේරා ප්‍රමුඛ ජනකරළිය අරගෙන ගමට රඟහලක් යන තේමාව යටතේ අවුරුදු 17ක් මේක කරගෙන ගියා. ඊට පස්සේ ඒකටත් ජෝන් ද සිල්වා එක හදලා නෑ වේදිකා නෑ කිය කිය අඬන අය තමයි විරුද්ධ වුණේ. කලාකරුවන් මැසිවිලි නගන එක අඬන එක,  ඒකත් කාලාවේම කොටසක්ද මන් දන්නේ නෑ, තමන් දෙයක් කරනවා ඇරෙන්න අනෙක් අයගේ ඒවට විරුද්ධ වෙන්න හොද නෑ. ඒ වගේම සමාජය ගැන කතා කරන බර්ටෝල්ට් බ්‍රෙශ්ට්ගේ නාට්‍ය වැනි වර්ගවාදය පිටු දකින චිත්‍රපට බිහිවුනොත් ඒවා දේශපාලන ඇම්බැට්ටයන් යොදාගෙන නවත්තනවා. මේ සියල්ලත් කලාකරුවන් විසින්මයි කරන්නේ.

කලාව අස්සේ තිබෙන ප්‍රධාන ප්‍රශ්න ගැන කතා කරොත් ප්‍රශ්න නම් ගොඩක් තියනවා.  පලවෙනි එක කලාකාරයොන්ගේ එකමුතුවක් නැතිඑක, දැන් හිතමු චිත්‍රපටයක් ගත්තහම ඒකෙ ප්‍රධාන චරිතෙට එක තරුණයෙක් පමණයි ඉන්න පුලුවන්, ඒක දහ දෙනෙකුට කරන්න බෑ, අවසානයේ මේ චරිතෙ ඇතුලෙම තරගයක් ඇතිවෙනවා, ඒ තරගය මුදල් බලය මත පදනම් වෙනවා. එනම් සල්ලි ජනප්‍රියත්වය උකහා ගන්න ඕන නිසා එකිනෙකා අභිබවා යන්න තමයි හැමෝටම ඕනෙ. ඉතින් ප්‍රශ්නයක් නෑ කියලා කියන්න බෑ. මේ එකමුතුවක් නැතිකම කුලල් කා ගැනීම වඩාත් වාසිදායක වෙන්නේ දේශපාලකයාටම තමයි. ඒක කලාකරුවොත් හොදින්ම දන්නවා.

Social Sharing
අවකාශය සාකච්ඡා