අපි සමස්තයම කිලුටු කරගත්ත ජාතියක්!

Cultural and political issues in sri lanka Filmmaker Sudath Mahadiulwewa

සිනමාවේදී සුදත් මහදිවුල්වැව

ලංකාව විශාල සංස්කෘතික අර්බුදයක ඉන්නවා. ඒක මේ රටේ දේශපාලන අර්බුදයෙම තවත් පැතිකඩක් කියලා කියන්න පුළුවන්. අපි ආධ්‍යාත්මිකව විශාල අර්බුදයක කරවටක් ගිහිල්ලා ඉන්නේ. සිනමාවට හෝ වෙනත් දෘශ්‍ය කලාවකට පුළුවන්ද? මේකට කුඩා හෝ පහන් එළියක් දල්වන්න.

මම හිතනවා ඒකට පිළිතුර සොයද්දී තමයි, අපි හිටගෙන ඉන්න පොළොව කොහෙද කියලා අපිට පේන්න පටන් ගන්නෙ. මම දකින්නෙ අපි අපේ ඇස්, කන්, කට ඇතුළු මේ සමස්තයම කිලුටු කරගත්ත ජාතියක් කියලා. එතකොට කොහොමද අපි මේ කිලුටු වුණ දේවල් ටික ආයෙමත් පොහොසත් කරගන්නෙ. ඒකට අපි බලන්න ඕනෑ, දකින්න ඕනෑ. ඒ පිළිබඳව අධ්‍යයනයක් කරන්න ඕනෑ.

ඒ කියන්නේ සිනමාව ගත්තොත් ලෝකය පුරා සිනමාවට වාරණ ආවේ, සිනමාව සම්බන්ධව මිනිස්සු විශාල විදිහට කල්පනා කරන්න පටන් ගත්තේ සිනමා කෘතියක තියෙන බලපෑම එතරම් වැඩි නිසා. උදාහරණයක් විදිහට රුසියාවේ ලෙනින් තමයි පළමු සිනමා පාසල පටන් ගත්තෙ. ඔහු ඔහුගේ බිරිඳ තමයි එහි ප්‍රධානියා විදියට පත් කරන්නෙ. ඔහු සිනමාව පිළිබඳ අධ්‍යනය කරපු කෙනෙකුත් නෙවෙයි. නමුත් තමන්ගේ දේශපාලන ඥානය තුළ ඔහු වටහා ගත්තා මෙහි තියෙන ප්‍රබලතාවය සුළු පටු නැහැ කියලා. විශේෂයෙන් විශාල සාක්ෂරතාවක් නොමැති මිනිසුන් හිටපු රටක පොතක් කියවීමට වඩා සිනමාවට කරන්න පුළුවන් බලපෑම ගැන දැඩි විශ්වාසයක් ඔහුට තිබුණා.

සිනමාව අපට තවදුරටත් විෂයක් කියලා පැත්තකින් තියන්න බැහැ. සිනමාව කියන්නේ ජීවිතයම තමයි. ජීවිතයේ ම දිගුවක්. මම හිතනවා ගැඹුරු සිනමාවකට සහ ගැඹුරු ප්‍රේක්ෂකාගාරයකට පැහැදිලිවම පුළුවන් මීට වඩා හිතන්න පුළුවන් මිනිස්සු පිරිසක් බිහි කරන්න සහ පවතින ක්‍රමය ගැන මීට වඩා වෙනස් විදියට ඇස් වලින් බලන්න, කන් දෙකින් අහන්න පුළුවන් අවකාශයක් නිර්මානය කර ගන්නට. මේ අදහස එද්දි මම හිතනවා සිනමාව කියන්නේ ප්‍රබල මැදිහත් කාරකයක් විදියට කටයුතු කරන්න පුළුවන් ජීවිතය සම්බන්ධයෙන්.

සිනමාවෙ තියන ඉතා ප්‍රබල බව නිසා තමයි ලෝකය පුරා සිනමා කෘති තහනමට ලක් වෙන්නේ. ඒ සිනමා කෘති වලට පුළුවන් මිනිස්සුන්ගෙ හිතන විදිය වෙනස් කරන්න. මිනිස්සුන්ගෙ ඔලුව ඇතුලට රිංගන්න. වෙන ඇස් දෙකක් දෙන්න. ඇස් පියාගෙන ඉන්න මිනිස්සුන්ගෙ ඇස් ඇරවන්න. මේක ඉතාම ප්‍රබල මාධ්‍යයක් මේ මොහොතේ. කාට හෝ පුළුවන් සිනමාව නරක විදිහට පාවිච්චි කරන්නත්. අපි හොඳටම දන්නවා හිට්ලර්ගේ කාලේ කොහොමද චිත්‍රපටි, ඒ කරපු දේවල් අනුමත කරන්න පාවිච්චි කළේ කියලා. ඒකේ අනෙක් පැත්ත යහපත් වැඩ කරන්නත් මේක පාවිච්චි කරන්න පුළුවන්. මේ අර්ථයෙන් ගත්තම මම හිතනවා මේ මොහොතේ අපි ශීඝ්‍රයෙන් ජාතියක් විදිහට කොහෙද නරක තැනකට තල්ලු වෙමින් පවතින මොහොතක, කොහේ හෝ තැනක ආයෙ අපිව ආපහු පරණ පාරට ගේන්න පුළුවන් වෙන්නේ කලාවට. ඒක චිත්‍රයට වෙන්න පුළුවන්, වේදිකා නාට්‍යකට වෙන්න පුළුවන්, කවියකට වෙන්න පුළුවන්. මේ ඔක්කොම අතරින් සිනමාව කියන්නේ ප්‍රබලම මැදිහත්කාරක මාධ්‍යය.

ඒ නිසා මම හිතනවා මේ මොහොතේ සිනමාව කියන දේ අහිංසක නැහැ. සිනමාවට පුළුවන් ඉතාම ප්‍රබල විදියට මිනිසුන්ව නැවත දීර්ඝ නින්දෙන් අවදි කරන්න. කවුරුහරි ඇස් වලට පාට කන්නාඩි දෙකක් දාලා තියෙනවා නම් ඒක ගලවන්න බල කරන්න. වෙන විදිහකට ලෝකය දකින්න, කියවන්න සහ මිනිස්සු පිළිබඳ ගනුදෙනු මීට වඩා වෙනස් යහපත් විදිහකට කරන්න හිතන්න. මෙහෙම මිනිස්සු ප්‍රමාණය වැඩි වුනොත් මම හිතනවා මේ දේශය ආපහු අපිත් හිතන විදිහට යහපත් තැනකට ගේන්න පුළුවන් වෙයි. ඒකෙදි සිනමාවට ලොකු කාර්යභාරයක් තියෙනවා කියලයි මම හිතන්නේ.

මම කැමතියි දැනගන්න දැන් ඔබ වෙනස් විදිහේ සිනමාවක් කරපු සිනමාකරුවෙක්. ඒ වගේම ටෙලිනාට්‍ය ගත්තොත් ඒකත් වෙනස් විදියේ ටෙලි නාට්‍යයක් හඳුන්වා දීපු ටෙලි නාට්‍යකරුවෙක්. නමුත් අපිට පේනවා මේ මාධ්‍ය දෙකින්ම දැන් ඔබ ටිකක් ඈත් වෙලා වගේ. සමහරු කියනවා ඔබගේ සිනමා නිර්මාණවලට ආපු ප්‍රශ්න නිසාම එයින් දුරස් වෙලා ඉන්නවා කියලා.

ටෙලි නාට්‍යයට මම එන්නෙ මට කලින් පරම්පරාව තිස්ස අබේසේකර, වසන්ත ඔබේසේකර, ධර්මසේන පතිරාජ වැනි සිනමාවේ හිටපු පතාක යෝධයො ටෙලිවිෂනයට ආපු කාලෙක. ඒ අය කියපු පොදු කාරණාවක් තිබුණා. හැමෝම එකම කිව්ව කියලා මම කියන්නේ නැහැ. ඒත් ඒ අයගෙ පොදු අදහස තිබුණේ “හොඳම දේ සිද්ධ වෙන්නේ සිනමාවෙ. අපි සිනමාව කරන අතරතුර නවාතැන්පොළක් විදියට ටෙලිවිෂනය ගන්නවා” කියලයි. නමුත් මගේ පරම්පරාවෙ හිටපු හඳගම, ප්‍රසන්න ජයකොඩි වගේ අය විශාල විදියකට මේ කාරණාව ප්‍රශ්න කරමින් කලාව කියන එක තීරණය වෙන්නේ සිනමාව උඩද? රූපවාහිනිය උඩ ද? මොබයිල් ෆෝන් එකෙන්ද? කරන්නේ කියන මාධ්‍ය භාවිතාව මත නෙමෙයි, එම මාධ්‍ය භාවිතා කරමින් කියන්න හදන්නේ කුමක්ද? කියන කාරණාවත් එක්ක කෙලින්ම හිටගත්ත අය. මම හිතන්නේ අපි මැදින් වෙළඳ දැන්වීම් යද්දි මේකේ ආට් කරන්නේ කොහොමද? කියලා කියද්දී කඩුල්ල හැදෙනවා ලංකාවේ. වෙන විදිහකට, ගැඹුරු විදිහකට ජීවිතය කියවන්න පුළුවන් නිර්මාණ හැදෙනවා.

හැබැයි මට නොතේරෙන කාරණාව තමයි,  මම හිතනවා පෞද්ගලිකව ඒ විදිහට මට බැරි වෙච්ච කාරණාව තමයි වනස්පති ටෙලිනාට්‍ය හදනකොට ලක්ෂ එක හමාරක්, දෙකක් එක කොටසකට වැය වෙච්ච කාලෙක අපි වනස්පතිට ලක්ෂ හතරක් වියදම් කරනවා. ඒ කාලේ තිරනාටක රචකයෙකුට රු. 3500ක් උපරිම ගෙවන කාලක වනස්පති තිරනාටක රචකයා වෙච්ච තිලක් ජයරත්නට අපි 50,000ක් දෙනවා. සාමාන්‍යයෙන් ප්‍රධාන චරිතයකට 35,000- 45,000ක් ගෙවන කාලෙක වනස්පති ප්‍රධාන චරිතය රඟපාපු රොජර් සෙනෙවිරත්නට ලක්ෂයක් ගෙවලා තියෙනවා. එතකොට මම මේ කියන්නේ ඒ සල්ලි කැමරාවට හෝ ලයිට් වලට නෙමෙයි ගෙවලා තියෙන්නෙ. මේ මානව සම්පත්වලට ගෙවලා තියෙන්නෙ. එතකොට මම හිතනවා  එකේ ගෞරවය අයිති වෙන්න ඕනේ ඩී.බී. නිහාල්සිංහට. අනික මේ නාට්‍යය කොටස් 20යි. මම ජීවිතෙන් අවුරුද්දක් වැඩ කළා වනස්පති එක්ක. කොටස් විස්ස සඳහා අපි දවස් පහක් හයක් වියදම් කළා. මීට අවුරුදු 25කට 28 කට කලින් ලක්ෂ හතර හමාරක් වියදම් කරලා අපි කිසියම් ස්ථාවරයකට ටෙලිවිෂනය ගෙනාවට පස්සේ ඇත්ත තමයි එම ගානට ටෙලිනාට්‍ය විකුණන්න බැහැ. කොහෙද මේ අර්බුදය තියෙන්නේ? මේක වාඩිවෙලා කතා කරන්න ඕන කාරණාවක්. තාමත් මං හිතන්නේ අවුරුදු විසි පහකට කලින් අපි පහුකරපු ලක්ෂ දෙකහමාර සීමාව තමයි කියන්නේ. ඉස්සර අපි දවස් පහක් අරගෙන එක කොටසක් කරපු ටෙලි නාට්‍යය කලාව අද දවසට කොටස් එකහමාරක් හෝ දෙකක් කරන තරම් වේගයකට ඇවිත්. එතකොට මේක ඇතුලේ ඩයිනෝසරයො වගේ මේකට අනුගත නොවන පිරිස දියවෙලා අයින් වෙලා තියෙනවා. එහෙම අයින් වුණත් වෙන පිරිසක් තාම ඒක ඇතුලේ ඒ ගැටුමත් එක්ක පොර බදිමින් ඉන්නවා.

සෝප් ඔපෙරා නැතුව ඒක ඇතුළෙ ගැඹුරකට යන්න පුළුවන් තැනකට අපි ටෙලිවිෂනය අරගෙන ආවා. හැබැයි දැන් ආපහු හැරිලා බැලුවහම හිතෙනවා නැවතත් කැරකිලා ගිහින් නතරවෙලා තියෙන්නේ අපි පටන් ගන්න කොට තිබුණු ප්‍රාථමික තැනම නේද කියලා? එතකොට මේ කාරණාව ඇතුලේ තියෙන විදිහකට අනුගත වෙලා, එන විදිහකට බලනවා වගේ තැනකට මම ලෑස්ති උනේ නැහැ. ඒ නිසා විශාල වශයෙන් මම ටෙලිනාට්‍යයෙන් ඈත් වුණා. ඒ වගේම සංඛ්‍යාත්මකව ගත්තොත් මම ටෙලිනාට්‍ය තුනයි කරල තියෙන්නෙ. හැබැයි මම හිතන්නේ ටෙලි නාට්‍ය වංශ කතාව ලියන කෙනෙකුට එම ටෙලි නාට්‍ය තුන, විශේෂයෙන් දණ්ඩෙහි ලූ ගිනි සහ වනස්පති අතහැරලා ඒ ඉතිහාසය ලියන්න අමාරු වෙයි. ඉතින් මට සතුටක් තියෙනවා අපි කොහේ හරි කාලෙකදි පඩි නගින්න අමාරු තැනකදී පඩියක් වෙලා තියෙනවා කියලා. ඒක ඉදිරියට රැගෙන නොයාම වෙනම අර්බුදයක්. ඒකට අපිට වග කියන්න බැරි වෙයි. නමුත් එක්තරා විදිහකට ප්‍රශ්නෙකුත් තියෙනවා අපි එයින් අයින් වීම නිසා හිඩැසක් ඇතිවුණා කියන කාරණාව.

Social Sharing

Related posts