වරාය නගරය පනත “එක රටක්-නීති දෙකක්” බවට චෝදනාවක්!

කොළඹ වරාය නගරය වෙනුවෙන් වත්මන් ආණ්ඩුව රටේ නීතිය බරපතල ලෙස නොසලකා හරිමින් සියලු ආගම්වලට පහර ගැසීමක් සිදු කරන බවට බෞද්ධ සංවිධානයක් චෝදනා කරයි.

අගමැතිවරයාගේ භාරයේ පවතින බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට සන්දේශයක් භාර දෙමින් ජාතික විද්වත් සංඝ සභාව එම චෝදනාව කර ඇත්තේ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව නඩු ගණනාවක් ගොනු කර ඇති ශ්‍රේෂ්ඨාධිකරණය අබියස විරෝධතාවක් පැවැත්වෙද්දීය.

“ගෝලීය ප්‍රාග්ධනයට, අධිරාජ්‍යවාදී බලපොරයට ජනතාව බිලිදෙන වරාය නගර කොමිෂන් පනත පරදවමු” යන මැයෙන්  අලුත්කඩේ අධිකරණය ඉදිරිපිටදී  ඊයේ (19) උදෑසන විරෝධතාවක් දියත් කර තිබුනේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසිනි.

බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වෙත ලිපියක් බාර දෙමින් ඊයේ (19) දිනයේම ජාතික විද්වත් සංඝ සභාව අවධාරණය කර ඇත්තේ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පතේ වගන්ති තුනක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි.

ජාතික විද්වත් සංඝ සභාවේ සභාපති ඕමල්පේ සෝභිත හිමියන් සිය ලිපිය මගින් පෙන්වා දෙන්නේ 2021 අප්‍රේල් අට  වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කොළඹ වරාය ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පතේ 52, 53 සහ 73 වගන්ති 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නම වැනි ව්‍යවස්ථාවට පටහැනි අතර විශේෂයෙන් 1815 උඩරට ගිවිසුමේ පස්වැනි වගන්තියත් 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  හය වැනි ව්‍යවස්ථා මගින් ඇති කළ සංස්කෘතිය, අනන්‍යතාවය, ආරක්ෂාව, ජනතාවගේ ආගමික නිදහස, තිරසාර සංවර්ධනය අහිමි කරවන බවයි.

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පතේ ඉහතින් දක්වන ලද  වගන්ති තුන මගින් බුද්ධාගම සහ බුද්ධ ශාසනය මගින් ශ්‍රී ලංකාවේ ජනතාව ආරක්ෂා කර ඇති ධාර්මික හා තිරසාර සංවර්ධන සහ සභ්‍යත්ව දිවි පැවැත්ම බිඳ දමා පංචශීල ප්‍රතිපත්තියෙන් බැහැර වු සමාජ ක්‍රමයක් ඇති කෙරෙන අතර එයට අවස්ථාව සැලැස්වීම නොකළ යුතු බවයි ජාතික විද්වත් සංඝ සභාව පවසන්නේ.

“කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම් පතේ 52,53 සහ73 වගන්ති 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාව මගින් දක්වා ඇති බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය අහිමි වන බවත්, සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීමේ රජයේ වගකිම අහිමි කරවයි.”

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  නම වන ව්‍යවස්ථාවේ දක්වා ඇති බුද්ධාගමට ප්‍රමුඛත්වය පිරිනැමීම ඉහත පනත මගින් උල්ලංඝනය කරන හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාව අනුව එකී විධිවිධාන එනම් පනත් කෙටුම්පතේ ඉහත සදහන් වගන්ති තුන  නීතියක් වන්නේ ජනමත විචාරණයකින් ජනතාව අනුමත කිරීමෙන් පසුව බවත් ඕමල්පේ සෝභිත හිමියන් සදහන් කරයි.

“එක රටක්-නීති දෙකක්” යන්න වරාය නගර පනතේ තේමාව බවට චෝදනා කරන  ජාතික විද්වත් සංඝ සභාව තව දුරටත් පෙන්වා දෙන්නේ  රටේ එක් කොටසකට සුරාබදු, ඔට්ටු ඇල්ලීම, කැසිනෝ සඳහා නීතියක් ඇති අතර රටේ තවත් පැත්තක එනම් වරාය නගරයේ ඒ සඳහා නීතියක් නොමැති බවයි.

රටේ එක් කොටසක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  නම වැනි ව්‍යවස්ථාවේ බලපෑම ඇති අතර, වරාය නගර කොටසේ ඒ බලපෑම නැති බව එමගින් පැහැදිලි වන්නේයැයි ජාතික විද්වත් සංඝ සභාව වැඩි දුරටත් අවධාරණය කරයි.

“මෙය 9 වැනි ව්‍යවස්ථාවේ බලපෑම එකී වරාය නගර කළාපයට අහිමි කිරීමකි.”

සුරා බදු (විශේෂ විධි විධාන) පනත, රේගු ආරක්‍ෂණ පනත, ඔට්ටු ඇල්ලීම හා සූදු බදු පනත, විනෝද බදු පනත, විදේශ විනිමය පනත, කැසිනෝ ව්‍යාපාර නියාමන පනත, වැනි පනත් වරාය නගරය තුළ ක්‍රියාත්මක කිරීමෙන් නිදහස් කිරීම යනු ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතියට පමණක් නොව සියලු ආගම්වලට පහර ගැසීමක් වන අතර ආගමික හර පද්ධතිය බිඳ දැමීමක් බවත් ජාතික විද්වත් සංඝ සභාව වැඩි දුරටත් අවධාරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර කොළඹ වරාය නගරය ආර්ථික කොම්සන් සභාව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනිමේ දි 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවේ 9 වැනි ව්‍යවස්ථාව ආරක්ෂා කරමින් ක්‍රියා කිරිමට කටයුතු කරන ලෙස ජාතික විද්වත් සංඝ සභාව නීතිපති දෙපාර්තමේන්තුව වෙතත් පිටපත් යොමු කරමින් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වෙත බාර දුන් ලිපියේ වැඩි දුරටත් සදහන් කර තිබේ.

කොළඹ වරාය නගරය වෙනුවෙන් වත්මන් ආණ්ඩුව රටේ නීතිය බරපතල ලෙස නොසලකා හරින බවට  ජනපති සහ අගමැති රාජපක්ෂ සොහොයුරන් වෙත ලිපියක් යොමු කරමින් නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය මීට ඉහතදී සිය විරෝධය පළ කර තිබුනි.

Social Sharing
නවතම