1981 යාපනය මැතිවරණයේ ඡන්ද පෙට්ටි 02 ක් තාම අතුරුදහන්!

Provincial Council Elections history in sri lanka

2021 වසර ආරම්භ වන විටදීම ආණ්ඩුව විසින් ඉඟි පළ කර සිටියේ එළැඹෙන මාර්තු මාසයේදී පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බවටය. නමුත් රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය මත එය වෙනස් වු නමුදු පළාත් සභා මැතිවරණය  අනිවාර්යෙන් මේ වසරේදී කෙසේ හෝ ආණ්ඩුව විසින් පවත්වන්නට සුදානම්ය.

රටක ප්‍රජාතන්ත්‍රවාදය, සර්වජන ඡන්ද බලය සහ ජනතා පරමාධිපත්‍ය ආරක්‍ෂා කිරීමට නම් නිසි කලට සහ නිසිලෙස මැතිවරණ පැවැත්විය යුතු බවත්  මැතිවරණ කල් දැමීමට ක්‍රියාකළහොත් එය මරණයට සහ රටේ විනාශයට හේතුවක්‌ වන බව මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාව සිටින කාලයේදි පවා ප්‍රකාශ කර තිබුණි.

නුදුරේදීම පැවැත් වීමට නියමිත මැතිවරණය සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ බිම් මට්ටමේ අවශ්‍ය දේශපාලන පසුබිම සකස් කරමින් සිටින අයුරු දැක ගත හැකිය. පළාත් සභා මැතිවරණය ගැන කථා කරද්දී  අපට 1999 දී වයඹ පැවති පළාත් සභා මැතිවරණය කිසි ලෙසකින් අමතක කළ නොහැක. ඒ මේ මැතිවරණ ඉතිහාසයේ කූප්‍රකට දුෂිත මැතිවරණ වලින් එකක් ලෙස එම පළාත් සභා මැතිවරණය හැඳින්වීම නිසාය.

මේ අතර පහුගිය දිනෙක ලියුම්කරුට දැනගන්නට ලැබුණේ දුෂිත මැතිවරණයක් වූ 1981 යාපනය සංවර්ධන සභා මැතිවරණයේ පැහැර  ගන්නා ලද  ඡන්ද පෙට්ටි 02 ක් තවමත් හමු වී නොමැති බවය.

1931 දී මෙරට ජනතාවට සර්ව බල ඡන්ද බලය ලැබීමෙන් පසු මෙරට දේශපාලන ඉතිහාසයේ ප්‍රථම දුෂිත මැතිවරණයක් පැවැත්වුයේ 1981 වසරේදීය. ඒ් යාපනයේ දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයයි.

1981 යාපනය දිස්ත්‍රික් සංවර්ධන සභා ඡන්ද විමසීම 

සමානුපාතික නියෝජන ක්‍රමයට මැතිවරණයක් පැවැත්වුණු පළමු අවස්ථාව වූයේ  1981 දී පැවැති දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයය. එවකට පාලක පක්ෂය වුයේ එක්සත් ජාතික පක්ෂය වේ. එවකට ජනාධිපතිවරයා වුයේ ජේ.ආර් ජයවර්ධන මහතාය. මේ කාලයේ කොටි සංවිධානය නැඟී සිටින්නට උත්සහ කළ සමය විය.

1977 බලයට ආ UNP ආණ්ඩුව දිස්ත්‍රික් සංවර්ධන සභා ඇති කරන ලද්දේ 1980 සැප්තැම්බර් 22 දා සම්මත කරන ලද අංක 35 දරණ දිස්ත්‍රික් සංවර්ධන සභා පනතිනි. මේ පනත අනුව පරිපාලන දිස්ත්‍රික්ක 24 සඳහා සංවර්ධන සභා 24ක් ස්ථාපනය කරන ලදී. මෙම සංවර්ධන සභාවේ මන්ත්‍රී සංයුතිය සකස් කර තිබුණේ ම බලයේ සිටි පක්ෂයට වාසි සැලසෙන අන්දමට ය.

සෑම සංවර්ධන සභාවක ම මන්ත්‍රීවරු දෙකොටසක් වූ අතර එක් කොටසක් අදාළ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අතර ඔවුහු නිල බලයෙන් සංවර්ධන සභාවට පත් වුවෝය. අනික් කොටස ඡන්දයෙන් පත් වන දිස්ත්‍රික් සංවර්ධන සභා මන්ත්‍රීවරුන් වන අතර ඔවුන් ගේ සංඛ්‍යාව සෑම විට ම දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාවට වඩා එකක් අඩු ය.

එබැවින් උතුරු පළාතේ හැර අනික් දිස්ත්‍රික්කවල මැතිවරණයෙන් ආණඩු පක්ෂය දිනුවත් නැතත් සංවර්ධන සභාවේ බලය ලැබෙන්නේ මධ්‍යම ආණ්ඩුවේ බලය හිමි පක්ෂයට  විය.

1981 අවුරුද්දේ මැතිවරණයක් පැවැත්වීමට නියමිත නොවූ නමුත් අලුතින් සම්මත කර ගත් පනත අනුව දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණය පැවැත්වීමට කැබිනට් මණ්ඩල රැස්වීමේ දී හදිසියේ ම තීරණය කර තිබුණි.  ඒ අනුව සංවර්ධන සභා ඡන්ද විමසීම් පනත සම්මත කර ගත් වහාම දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණය පැවැත්වෙන බව ප්‍රකාශ්‍යට පත් වීමෙන් පසු නාමයෝජනා භාර ගැනීම 1981 අප්‍රේල් 20 දා සිට 27 දා දක්වා සිදු විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ප්‍රධාන පක්ෂ සියල්ලම මැතිවරණය වර්ජනය කළ අතර දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ මෙහිදී මැතිවරණයට ඉදිරිපත් විය. මේ වන විට මැතිවරණ දේශපාලනයට පිවිසෙන්නට සූදානම් වෙමින් සිටි ජනතා විමුක්ති පෙරමුණ ද මේ මැතිවරණයට තරග කළ අතර ඒ වන විට ජවිපෙ දේශපාලන පක්ෂයක් වශයෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් පිළිගෙන නොතිබූ බැවින් අපේක්ෂකයන් ඉදිරිපත් කළේ ස්වාධීන කණ්ඩායම් වශයෙනි.

නාමයෝජනා භාර ගැනීමේ කාලය තුළ දිස්ත්‍රික්ක 07කට ආණ්ඩු පක්ෂය හැර වෙනත් කිසිවෙකු  නාමයෝජනා භාර දී නොතිබිණි. නමුත් ආණ්ඩුවට අභියෝගයක් වුයේ උතුරු පළාතේ පමණය.  එයින් ද යාපනය දිස්ත්‍රික් සංවර්ධන සභාව තීරණාත්මක විය.

මේ උතුරේ මැතිවරණ ව්‍යාපාරය භාර දී තිබුණේ ගාමිණී දිසානායක සහ සිරිල් මැතිව් යන ඇමැතිවරුන් දෙදෙනාට ය. ඊට අමතර ව යාපනය දිසා ඇමැතිවරයා වූ යූ.බී විජේකෝන් ද තවත් නියෝජ්‍ය ඇමැතිවරයෙක් ද යූඇන්පී ඡන්ද ව්‍යාපාරයේ යෙදී සිටියෝ ය. (යූ.බී. විජේකෝන් යාපනය දිසා ඇමැතිවරයා වුවත් ඔහු යාපනය දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් නොවීය. දිසා ඇමැති වශයෙන් අනික් දිස්ත්‍රික්කවල පත් කරන ලද්දේ ඒ දිස්ත්‍රික්කයේ ම මන්ත්‍රීවරයෙකි. ඔහු කුරුණෑගල දිස්ත්‍රික්කයේ දඹදෙණිය ආසයේ මන්ත්‍රීවරයා වූ අතර යාපනය දිසා ඇමැතිවරයා ලෙස ජනාධිපති ජයවර්ධන විසින් පත් කරන ලදී.) දිස්ත්‍රික්කයේ මැතිවරණයට කලින් ම ආණ්ඩුවේ මැර කණ්ඩායම් උතුරට යවා තිබුණු අතර UNP ඡන්ද කටයුතුවල යෙදී සිටි සියලු දෙනා ම පාහේ දකුණෙන් උතුරට යවන ලද අය වූහ.

නැඟී සිටිමට වෛර දරමින් සිටි සන්නද්ධ කණ්ඩායමක් වූ උමා මහේෂ්වරන්ගේ සන්නද්ධ කණ්ඩායමක් විසින් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් පැවැත්වෙන ස්ථානයක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කළේ මේ අතරය.

මේ සමඟම ආණ්ඩුවෙන් එහි යවා සිටි ආධාරකරුවන් ආසියාකරයේ දැනුම් ගබඩාවක් ලෙස ප්‍රකටව තිබූ යාපනය පුස්තකාලයට ගිනි තබා විනාශ කරන ලදී. යාපනය මන්ත්‍රීවරයාගේ නිවසට ද, නගරයේ කඩ සාප්පුවලට ද ගිනි තැබූ අතර යාපනය නගරය භීෂණයෙන්, ප්‍රචණ්ඩත්වයෙන් පිරී ගියහ.

මේ අතර මැතිවරණය 1981 ජූනි 04 දා පවත්වන ලදි. මේ මැතිවරණයට කලින් දා කුරුණෑගල සිට විශේෂ දුම්රියක් යාපනයට ගොස් තිබු අතර මේ දුම්රියේ සිටියේ යාපනයේ ඡන්දය මංකොල්ලකෑම සඳහා ආණ්ඩුවෙන් යවන ලද පිරිසකි. මේ පිරිසට මැතිවරණ කටයුතු භාර දෙන ලදී. මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් යවා සිටි ජ්‍යෙෂ්ඨ ඡන්ද මධ්‍යස්ථානාධිපතිවරුන් 94 දෙනකුගේ පත්වීම් අවලංගු කළ බව එදා රාත්‍රී යාපනය කච්චේරියේ දී ශබ්ද විකාශන යන්ත්‍ර නිවේදනයක් මඟින් දැනුම් දෙන ලදී. ඊට හේතුවක් දැනුම් දීමට දිසාපතිවරයාට හෝ වෙනත් වගකිව යුතු නිලධාරියකුට නොහැකි විය. රාජකාරි සඳහා ගොස් සිටි මැතිවරණ නිලධාරීහු අතරමං වූ තත්වයකට පත් වූහ.

ඔවුන් සියලු දෙනාට වැඩ කරන්නට සිදු වුයේ කුරුණෑගල දුම්රියෙන් පැමිණි මැරයන්ගේ අණකිරීම් අනුව ය. මැතිවරණ නිලධාරීන්ට කටයුතු කරන්නට සිදු වූයේ මරබියෙනි. රාජකාරියේ යෙදී සිටි බොහෝ පොලිස් නිලධාරීන් ද මැරයන්ගේ අණසක අනුව කටයුතු කරනු පෙනිණි. මැතිවරණ නිලධාරීන්ට රාජකාරි කරන්නට සිදු වූයේ මැතිවරණ කොමසාරිස්වරයා ලිපියක් මඟින් දැනුම් දී තිබුණු ඡන්ද මධ්‍යයස්ථානයේ නොව ආණ්ඩුවේ  මැරයන් විසින් නියම කරන ලද ස්ථානයක ය. ජ්‍යෙෂ්ඨ ඡන්ද මධ්‍යස්ථානාධිපතිවරුන්ට ඡන්ද පෙට්ටි ඔසවා ගෙන යෑමට සිදු විය.

ඡන්ද විමසීම අවසන් වී ඡන්ද පෙට්ටි යාපනය කච්චේරියට ගෙන ආ යුතු වුවත් ඒ සියල්ල පළමු ව රැගෙන ගියේ ඒ අසල තිබූ හෝටලයකට ය. බොහෝ ඡන්ද පෙට්ටි අතුරුදන් වී තිබිණි. මේ නිසා අවසාන ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කිරීමට නොහැකි බවත් ඡන්දය නිසියාකාර ව පැවැත්වුණේ නැති බවත් යාපනය තේරීම් භාර නිලධාරියා වූ යොගේන්ද්‍ර දොරේසාමි මැතිවරණ කොමසාරිස්වරයාට වාර්තා කළේ ය. මැතිවරණ කොමසාරිස් ඒ පිළිබඳ ව නීතිපතිවරයාට දැනුම් දී උපදෙස් ඉල්ලා සිටියේ ය. මැතිවරණය අවලංගු කිරීමේ බලයක් මැතිවරණ කොමසාරිස්වරයාට නැති බැවින් ඡන්ද ගණන් කර ප්‍රතිඵල ප්‍රකාශ කිරීමට කටයුතු කරන්නැයි නීතිපතිවරයා උපදෙස් දුන්නේ ය. ඒ අනුව මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමට පියවර ගත්තේ ය.

මැතිවරණය පවත්වා දින 12 කට පසු ව 1981 ජූනි 16 දා ප්‍රකාශයට පත් කරන ලද යාපනය දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයේ ප්‍රතිඵලය මෙසේ විය.‍

දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ 263, 369, එක්සත් ජාතික පක්ෂය 23,302,  දෙමළ සංගමය 21,682,  ස්වාධීන කණ්ඩායම 7646 ආදි වශයෙනි.

සංවර්ධන සභාවේ ආසන දහය ම දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ විසින් දිනාගෙන තිබුණේ ය. එවකට පැවති ආණ්ඩුව කෙතරම් ප්‍රචණ්ඩ ලෙස මැතිවරණ ව්‍යාපාරයේ යෙදුණත් ඔවුන්ට යාපනය සංවර්ධන සභා මැතිවරණයෙන් දිනන්නට නොහැකි විය. විපක්‍ෂය සියලු ඡන්ද කොට්‌ඨාස ජයග්‍රහණය කළ අතර, බලයේ හිටපු පක්‍ෂයට එකම කොට්‌ඨාසයක්‌වත් ජයග්‍රහණය කිරීමට නොහැකි විය. ලංකාවේ එවැනි ප්‍රතිඵලයක්‌ ලැබුණු එකම අවස්‌ථාව ලෙසද මෙය ඉතිහාස ගත විය.

මේ අතර යාපනය අශොක් හොටලයේ මන්ත්‍රිවරුන් නවාතැන්ගෙන සිටි කාමර වල තිබූ පැහැර ගෙන ගිය ඡන්ද පෙට්ටි 04 ක් පමණක් සොයා ගෙන තිබුණි.

දකුණේ ආණ්ඩුවෙන් තමන්ට ආරක්ෂාවක් නැති බවට හැඟීමක් උතුරේ ජනතාවගේ සිත්සතන් තුළ පැළපදියම් වන්නට හේතු වූ පළමු සිද්ධිය ද යාපනය දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණය වු බව විද්වතුන්ගේ අදහස විය.

1982 ජනමත විචාරය

1982 දෙසැම්බර් 22 දිනදී ශ්‍රී ලාංකික ජාතික ජනමත විචාරණය පවත්වන ලදි. ඒ  පාර්ලිමේන්තුවෙහි ආයු කාලය වසර 6 කින් දිගු කිරීමේ විකල්පය ශ්‍රී ලංකාවේ ජනතාව වෙත ලබා දෙනු සඳහාය. එය පළමුවන මෙන්ම, මෙතෙක් ශ්‍රී ලංකාවේ පැවැත්වුණු එකම ජාතික ජනමත විචාරණය විය. 1982 ඔක්තොම්බර් මාසයේදී, සය-වසරක නව නිල කාලයකට ජනාධිපති ලෙසින් තේරී පත්වූ, ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන විසින්, මෙම ජනමත විචාරණය කැඳවන ලදි. 1983 අගෝස්තු මාසයේදී, එවකට පැවති පාර්ලිමේන්තුව කල් ඉකුත් වීමට නියමිතව තිබියදී, ජනාධිපතිවරයා  මුහුණ දුන් ගැටළුව වූයේ, සාමාන්‍ය ලෙසින් මහා මැතිවරණයන් පැවැත්වුවහොත්, ඔහුගේ පාලක එක්සත් ජාතික පක්ෂය විසින් පාර්ලිමේන්තුව තුල භූක්තිවිඳිමින් සිටි අතිමහත් සුපිරි-බහුතරය අහිමි වීමේ අවදානමය. ඔහු එබැවින්, පාර්ලිමේන්තුවෙහි ආයු කාලය දික් කිරීම සඳහා ජනමත විචාරණයක් යෝජනා කල අතර, එමගින් එක්සත් ජාතික පක්ෂය විසින් එහි තුනෙන්-දෙකක පාර්ලිමේන්තු බහුතරය පවත්වාගෙන යෑමට ඉඩ සලස්වා ගැනීමටය.

ඔහු ඇරඹූ වැඩසටහන් නිම කිරීමට, එවිට පැවති පාර්ලිමේන්තුව දිගටම පැවතීම අවශ්‍ය බව ජනාධිපතිවරයා කියා සිටි අතර, එබැවින් එහි වාරය දිගුකිරීමට ජනමත විචාරණය යෝජනා කලේය.

මැතිවරණයෙහිදී, ඡන්දදායකයන් වෙත ඉදිරිපත් කෙරුණේ පාර්ලිමේන්තුවෙහි ආයුකාලය දිගු කර ලීම සඳහා යෝජනාවක් වන අතර, “ඔව්” ලෙසින් හෝ “නැහැ” ලෙසින් ඡන්දය ප්‍රකාශ කරන මෙන් ඉල්ලා සිටිමය. පාර්ලිමේන්තු කාලය තව වසර හයක් දීර්ඝ කිරීමට පක්ෂ නම් ලාම්පු ලකුණට කතිරය යෙදීම ද, එම යෝජනාවට විපක්ෂ නම් කළගෙඩි සලකුණට කතිරය යෙදීම ද මෙහි දී සිදු කළ යුතුය. ජනමත විචාරණයෙන් ජය ගැනීමට නම් ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් අවම වශයෙන් 1/3ක ජන්ද ප්‍රමාණයක්වත් පක්ෂ ව ලැබිය යුතු විය.

යෝජනාවට පක්ෂ ව (ලාම්පුව) ලැබුණ ඡන්ද ප්‍රමාණය 3,141,223 වූ අතර යෝජනාවට විපක්ෂ ව (කළගෙඩිය) 2,605,983ක ඡන්ද ප්‍රමාණයක් ලැබෙනවා. ප්‍රකාශිත ප්‍රමාණයෙන් 54%ක ප්‍රතිශතයක් යෝජනාවට පක්ෂ ව හිමි විය.  ප්‍රකාශිත ඡන්ද අතුරින් 54 ප්‍රතිශතයක්, පාර්ලිමේන්තුවෙහි ආයු කාලය දිගු කිරීමට කැමැත්ත පල කළහ.

මේ කාලයේදි සිදු වු විශේෂ සිදුවිමක් වුයේ නැක්සලයිට්වරුන් බවට චෝදනා කරමින් විජය කුමාරතුංග ඇතුළු පිරිසක් අත්අඩංගුවට පත් වීමය. ජනමත විචාරණය පැවැත්වීමට පෙර ඊනියා නැක්සලයිට් චෝදනාව යටතේ නොවැම්බර් 19 දා ප්‍රධාන විපක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප ලේකම් විජය කුමාරතුංග ඇතුළු නායකයෝ කිහිප දෙනෙක් අත්අඩංගුවට ගෙන මැගසින් බන්ධනාගාරගත කරන ලදහ. ශ්‍රීලනිප නායිකාවගේ ප්‍රජා අයිතිය අහිමි කර තිබූ තත්වයක් යටතේ ඒ පක්ෂයේ ජනාධිපතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමේ වගකීම ප්‍රධාන වශයෙන් උසුලන ලද පුද්ගලයා වූයේ විජය කුමාරතුංග ය.

ජනමත විචාරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා තවත් පක්ෂ ගණනාවක් විරුද්ධත්වය ප්‍රකාශ කරන නමුත් නීතිමය ක්‍රියාමාර්ග මඟින් ඔවුන් වැළක්වීම,  සිරගත කිරීම, ලිපිලේඛන අත්අඩංගුවට ගැනීම, හා විරුද්ධවාදී පුවත්පත් කාර්යාල සීල් තැබීමෙන් විරුද්ධවාදී සියලු අදහස් මර්දනය කිරීමට එවකට පැවති ජේ. ආර්. ආණ්ඩුව පියවර ගෙන තිබුණි.

1999 වයඹ පළාත් සභා මැතිවරණය

වයඹ පළාත් සභා මැතිවරණයට අඩු අගයක් ලැබෙන්නේ එය දූෂණයෙන් අඩු වූ නිසා නොව, එය එක් පළාතකට පමණක් සීමා වූ මැතිවරණයක් වීම නිසා සහ එහි දී සිදු වූ දූෂණ ක්‍රියා නිසා සමස්ත මැතිවරණයේ ප්‍රතිඵලය වෙනස් නොවූ නිසා පමණි.

එම මැතිවරණයේදී ඡන්ද මධ්‍යස්‌ථානවල රාජකාරි කළ සමහර මැතිවරණ නිලධාරීන් මැතිවරණයදා උදේ 9.00 වන විට ඡන්ද පෙට්‌ටිත් රැගෙන කුරුණෑගල කච්චේරියට ගොස් තිබුණි. මන්ද  එදින උදේ 8.45 වන විට මැරයෝ ඇවිත් ඔක්‌කොම ඡන්දදා ඉවර වූ නිසාය.

පොදුජන එක්සත් පෙරමුණු රජය යටතේ 1999 වසරේ දී පැවැත්වූ වයඹ පළාත් සභා මැතිවරණය, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවන්හි උච්ඡතම අවස්ථාවක් විය. කාන්තාවක මහ දවාලේ නිරුවත් කර පහර දුන් එවකට ආණඩුවේ මැරයන් පාළු ගෙයි වළන් බිඳින්නා සේ මැර ක්‍රියා වපුරමින් ජයග්‍රහණය ලබා ගත්තේය. ඒ ඉතිහාසයේ දූෂිතම මැතිවරණය එය බවට පත් කරමිනි.

ඡන්දය දීමට ඡන්දපොළට යමින් සිටි ජනතාවට පොලු‍ පහරදී එළවා දැමීමටත්, ගම්මාන පිටින් ඡන්දය දැමීම වැළැක්වීමටත්  කටයුතු කළ එවකට සිටි ශ්‍රීලනිප ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණු නායකයන් අතර අද පොහොට්ටුවට එක්වී සිටින ඇතැම් නායකයන්ද සිටින බවත් සඳහන් කළ යුතුය. එදින එජාපයට සහාය පළකළ කාන්තාවක් මහමගදී දෙනෝදාහක් බලා සිටියදී නිරුවත් කොට මහපාරේ ඇවිද යාමට සැලැස්වීමට තරම් එදා ආණ්ඩුවේ හෙංචයියලා තිරිසන් වී සිටියහ.

විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ එක්තරා දේශපාලඥයෙකු (වර්තමානයේ ආණ්ඩුවේ ප්‍රබල පුද්ගලයෙකි) එදා කුලියට ලබා ගත් මැරයින් ටිපර් වල පටවාගෙන වයඹට ගියේ ගැහැණුන්ගේ රෙදි කඩන්නටය.

එවකට ආණ්ඩු පක්ෂයේ මුළු බලය ම එකී මැතිවරණයට යෙද වූ අතර පාලකයෝ ඊට එල්ල වූ චෝදනා නෑසූකන්ව සිටියෝය. ඉන් පසු පැමිණි නායකයෝ ද එකී කාර්යය ජයට ම කළහ.

මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථාන

එකී ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණය කිරීම වෙනුවෙන්ම ආයතන ද පසුව බිහි විණි. එකී ආයතන සඳහා මේ වන විටද ව්‍යවස්ථාමය නෛතික වටිනාකමක් දීමට නීති සම්පාදකයෝ සෘජුවම කටයුතු කර නැත.

එහෙත් මැතිවරණ කොමසාරිස්වරයාට ඇති බලතල ‍පිටිවහලක් කර ගනිමින් කොමසාරිස්වරයා නිරීක්ෂණ සංවිධානවලට අනුමැතිය ලබා දුන්නේය. ඒ 2004 වසරේදීය. එවකට මැතිවරණ කොමසාරිස්වරයාව සිටියේ දයානන්ද දිසානායක මහතාය. අදටත් බලපවත්වන්නේ මැතිවරණ කොමසාරිස්වරයාගේ මෙකී අනුමැතියය.

-ශානිකා-

( මෙහි ඇතැම් තොරතුරු අන්තර්ජාලයෙන් ලබා ගන්නා ලදි.)

Social Sharing

Related posts