ජූලි අට වන දා රනිල්ට හා සමන්ට අධි චෝදනා ගොනු කිරීමට පියවර

රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ට අධි චෝදනා ගොනු කරන බවත් එළඹෙන ජුලි මස 08 වැනිදා ඊට පියවර ගන්නා බවත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි  අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් මහතා අධිකරණයට දැනුම් දී තිබේ.

මෙම පැමිණිල්ලේ සැකකාරියක ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය නම් කරනවාදැයි අධ්‍යයනය කරමින් සිටින බවත් දිලීප පීරිස් මහතා මෙහිදී වැඩි දුරටත් කරුණු දක්වමින් සඳහන් කර තිබේ.

අදාළ සැකකරුවන්ට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන අවසන් කරන ලෙසට මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (29දා) අධිකරණයේ පෙනී නොසිටි අතර, ඔහු වෙනුවෙන් ජනාධිපති නීතිඥ තිලක් මාරපන කරුණු ඉදිරිපත් කරමින් පැවසුවේ තම සේවාදායකයාගේ අසනීප තත්ත්වය හේතුවෙන් අද දින අධිකරණයේ පෙනී නොසිටින බවයි.

සිද්ධියට අදාළ සැකකරුවන්ට ප්‍රමාණවත් කරුණු තිබේ නම් කඩිනමින් අධිචෝදනා ගොනු කිරීමට පියවර ගන්නා ලෙස ද මහේස්ත්‍රාත්වරයා එහිදී දැනුම් දී ඇති අතර එදිනට පෙර සැකකරුවන්ට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලි සිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

මෙහි අනෙක් සැකකරු වන හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද ඇප මත සිටිමින් අධිකරණයේ පෙනී සිටියේය. මෙම නඩුව ලබන ජුලි 08 තෙක් කල් තැබිණි.

Social Sharing
නවතම පුවත්