
2009 සිට අද වනතුරු සිදුවී ඇති ගල්අගුරු කෑම ජනාධිපති විමර්ශන කොමිසමකින් සොයා ගත හැකිද?
ශ්‍රී ලංකාවේ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා (SPCs) ඉතිහාසය යනු දේශපාලන වගවීම සඳහා උපයෝගී කරගත හැකි ප්‍රබල මෙවලමක් ලෙස කියා පෑවද පසුගිය කාලය පුරා එම සංකල්පය භාවිතා කරනු ලැබුයේ “යුක්තිය වැළලෙන සොහොන් බිමක්” ලෙසටය.
මතභේදාත්මක අවස්ථාවන්හිදී මහජන විරෝධය සමනය කිරීම සඳහා මේවා පිහිටුවනු ලැබුවද, මූල්‍යමය හෝ නීතිමය වශයෙන් ඉන් ලැබී ඇති ප්‍රතිඵල (ROI) ඉතා අවම මට්ටමක පවතින බව ඉතිහාසය අපට තහවුරු කරනු ලැබ තිබේ.
මේ සම්බන්දයෙන් මා සතුව පවතින ආසන්නතම අත්දැකීම වන්නේ ගෝඨාභය ජනාධිවරයා පිහිටවු ජනාධිපති කොමිසම හා ඉන් අනතුරුව පිහිටවු විශේෂ ජනාධිපති කොමිසමට අදාලවය.
එම කොමිසම් දෙක ඉදිරියේදී පාඨලී චම්පික රනවක මහතා ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් මා පුරා වසරකට අදික කාලයක් තිස්සේ පෙනී සිටියේය.
අවසානයේ දී අභියාචනාධිකරනය හරහා ලබාගත් නියෝගයක් හරහා මුළු කොමිෂන් සභාව අකර්මන්‍ය කරනු ලැබුයේය.
ඒ සදහා වැයකල මහා ධනස්කන්දයක් අපතේ ගියේය.
මේ ආකාරයටම 1978 සිට ස්ථාපනය කරන ලද ජනාධිපති කොමිශන් හරහා රටට සහ සමාජයට අත්වු සෙතක් නැත්තේය.
-
සිරිමා බණ්ඩාරනායක කොමිසම-1978
-
ලලිත් ඇතුලත්මුදලි ඝාතනය- 1990
-
බැඳුම්කර වංචා කොමිසම-2017
-
පාස්කු ඉරිදා ප්‍රහාරය-2019
-
යහපාලන සමයේ සිදු කරන ලද දේශපාලන පලිගැනීම්-2021 ට අදාලව පත්කල කොමිසම් නිර්දේශ වලින් අත්වු සැබෑ ප්‍රතිපලයක් ඇත්තේ නැත.
1978 නිර්දේශ මගින් හිටපු අගමැතිනියගේ ප්‍රජා අයිතිය වසර 7කට අහෝසි විය. මෙය තවමත් සැලකෙන්නේ දේශපාලන පළිගැනීමක් ලෙසටය.
ලලිත් ඇතුලත්මුදලි නිර්දේශ අවසන්වුයේ පුර්න ව්‍යාකූලත්වයකිනි.
බැදුම්කර වංචාවට අදාල නිර්දේශ තවමත් ක්‍රියාත්මක නැත.
පරීක්ෂනය අමාත්‍යවරයෙකු (රවි කරුණානායක) ඉල්ලා අස්වීමට මග පෑදීය. බිලියන ගණනක මුදල් තවමත් අයකරගෙන නැත; ප්‍රධාන සැකකරුවන් (අර්ජුන මහේන්ද්‍රන්) තවමත් විදේශගතව සිටිති.
පාස්කු ප්‍රහාරයට අදාල නිර්දේශ මගින් හිටපු ජනාධිපති සහ අගමැති ඇතුළු ඉහළ නිලධාරීන්ගේ නොසැලකිල්ල හෙළි කළද, අපරාධ චෝදනා ගොනු කිරීම වසර ගණනාවක් තිස්සේ අධිකරණ පද්ධතියට නොහැකිවී තිබේ.
එවන් පසුබිමක අනුර කුමාර ජනාධිපතිවරයා යෝජනා කරන්නේ 2009 සිට මෙරට තුල ගල්අගුරු වංචාවන් පිලිබදව විමර්ශනය කිරීමට විශේෂ ජනාධිපති විමර්ශන කොමිසන් සභාවක් පිහිටුවීමට බලාපොරොත්තු වන බවය.
සමාජීය හා දේශපාලනික වශයෙන් සලකා බැලීමේදී, කොමිෂන් සභා මගින් ඇතැම් කරුණු හෙළිදරව් වීම (උදා: බැඳුම්කර වංචාව) යම් සාර්ථකත්වයක් පෙන්වුවද නීතිමය සහ මූල්‍යමය වශයෙන් අතීත අත්දැකීම් අපට තහවුරු කරන්නේ ඒවා මහජන මුදල් නාස්ති කරන, සැබෑ වරදකරුවන්ට දඬුවම් දීමට අපොහොසත් වූ මිල අධික “කාලය මැරීමේ” උපක්‍රම ලෙසටය.
මේවන විට ශ්‍රී ලංකාවේ නීති ක්ෂේත්‍රය තුළ පවතින පොදු මතය වන්නේ මෙම කොමිෂන් සභා යනු “මියයමින් පවතින” ආයතනික අදහසක් වන බවයි.
මේ සදහා අප ඉදිරියේ පවතින කදිම උදාහරනය බැදුම්කර සොරකම සොයා බැලීමට පිහිටුවන ලද කොමිසමයි.
බැඳුම්කර වංචාව සිදුවී දශකයකට ආසන්න කාලයක් ගත වුවද, හොරකම් කළ බිලියන ගණනක මුදල් අයකර ගැනීම තවමත් සිහිනයක් පමණක් වී තිබේ.
මෙම කොමිෂන් සභා පිහිටුවීම සඳහා පදනම වැටෙන්නේ 1978 අංක 7 දරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා නීතිය මගිනි.
එම පනතේ අරමුණ වන්නේ සාමාන්‍ය පරීක්ෂණ කොමිෂන් සභා මෙන් නොව, දේශපාලන පළිගැනීම්, බලය අයුතු ලෙස භාවිතා කිරීම හෝ දූෂණය පිළිබඳව විමර්ශනය කිරීමට ජනාධිපතිවරයාට මෙමගින් බලය ප්‍රධානය කිරීමයි.
කොමිෂන් සභා අසාර්ථක වීමට හේතු (ප්‍රතිඵල රහිත වීමේ ලක්ෂණ) ගනනාවක් තිබේ.
කොමිසම පවත්වා ගැනීමට නීති ගාස්තු, කාර්යාල පහසුකම් සහ තාක්ෂණික විශේෂඥයින් වෙනුවෙන් රුපියල් මිලියන ගණනක් වැය කරන්නට සිදුවන්නේය.
කොමිසමක් ලබා දෙන්නෙ නිර්දේශ පමනකි.
කොමිෂන් සභා වාර්තාවක් යනු අධිකරණ තීන්දුවක් නොවේ.
එය ජනාධිපතිවරයාට දෙන නිර්දේශයක් පමණි. දේශපාලන වුවමනාවක් නැතිනම් එම වාර්තා “කුණු කූඩයට” වැටේ.
කොමිසම ඉදිරියේ ලබා දෙන සාක්ෂි පිළිබඳකොමිසම සාමාන්‍ය අධිකරණයකදී නඩු විභාගයකට කෙලින්ම යොදාගත නොහැකි අවස්ථා තිබේ.
මේ නිසා කොමිසමේ නිර්දේශ මත නීතිපති විසින් නඩු දමන්නේ නම් නැවත මුල සිටම සාක්ෂි සෙවීමට සිදුවීමෙන් රජයේ සම්පත් නාස්ති වේ.
බොහෝ විට කොමිෂන් සභා භාවිතා කරන්නේ රත් වී ඇති මහජන මතය “නිවීමටය”. වාර්තාව එන විට මහජන උනන්දුව අඩුවී දේශපාලන වාතාවරණය වෙනස් වන්නේය.
එවිට එවැනි කොමිසන් නිර්දේශයක් යන්නේ හමස් පෙට්ටියටය.
අනුර ජනාධිපති වරයා පත් කරන්නට යන නවතම කොමිසමටත් එවැනිම ඉරනමක් අත්නොවනු ඇතැයි කිව හැක්කේ කාටද?
