මැද පෙරදිග කලාපයේ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් මෙම වසර තුළ ශ්‍රී ලාංකිකයන් තවත් ලක්ෂ 13කට පමණ ප්‍රමාණවත් පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගැනීමට නොහැකි වීමේ අවදානමක් මතුවිය හැකි බව ලෝක ආහාර වැඩසටහන (WFP) නිකුත් කළ නවතම අධ්‍යයන වාර්තාවක සඳහන් වේ.
ඇමෙරිකානු, ඊශ්‍රායල සහ ඉරාන ගැටුම් හේතුවෙන් නිර්මාණය වී ඇති මැද පෙරදිග අර්බුදය සෝමාලියාව, ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව වැනි ආනයන මත දැඩිව යැපෙන රටවලට කෙසේ බලපාන්නේද යන්න සොයා බැලීම සඳහා මෙම අධ්‍යයනය සිදුකර තිබේ.
වාර්තාවට අනුව, දැනටමත් ප්‍රමාණවත් පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගැනීමට අපහසු තත්ත්වයක සිටින ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 47ක පිරිසට අමතරව තවත් ලක්ෂ 13ක පිරිසක් මෙම අවදානම් කාණ්ඩයට එක්විය හැකිය. එමඟින් වසර අවසන් වනවිට මධ්‍යස්ථ හා උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන ජනතාවගේ සංඛ්‍යාව ලක්ෂ 29 දක්වා ඉහළ යා හැකි බව වාර්තාව පෙන්වා දෙයි.
එම පිරිසෙන් ආසන්න වශයෙන් 45,000 දෙනෙකු උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙනු ඇතැයි ද සඳහන් වේ.
ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙන්නේ, අර්බුදය හේතුවෙන් බලශක්ති හා අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම, ආදායම් අහිමිවීම් සහ ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව පහළ යාම වැනි තත්ත්වයන් ආහාර සුරක්ෂිතතාවයට සෘජු බලපෑම් එල්ල කරන බවයි. විශේෂයෙන්ම දුප්පත් ජනතාව සහ අවදානම් කණ්ඩායම් මෙම තත්ත්වයෙන් වැඩි වශයෙන් පීඩාවට පත්වනු ඇතැයි ද එහි දැක්වේ.
ශ්‍රී ලංකාව, සෝමාලියාව සහ ඇෆ්ගනිස්තානය වැනි රටවල් බලශක්ති, ආහාර සහ පොහොර ආනයන මත දැඩි ලෙස යැපෙන බැවින් මැද පෙරදිග අර්බුදයේ බලපෑම්වලට වඩාත් අවදානම් බවද වාර්තාව පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාව සිය බලශක්ති අවශ්‍යතාවෙන් සියයට 63ක් ආනයනය මත සපුරා ගන්නා අතර, පොහොර අවශ්‍යතාවෙන් සියයට 90ත් 100ත් අතර ප්‍රමාණයක් ආනයනය කරයි. එසේම රට වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් කෝටි 250කට අධික ආහාර ආනයනය කරන බවද වාර්තාවේ සඳහන් වේ.
තවද, ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ ප්‍රේෂණවලින් සියයට 44.5ක් පමණ ගල්ෆ් කලාපයෙන් ලැබෙන අතර, මෙරට තේ අපනයනයෙන් සියයට 45ක් ගල්ෆ් වෙළෙඳපොළ වෙත යොමු කෙරේ. එබැවින් කලාපීය අර්බුදය දිගුකාලීන වුවහොත් ශ්‍රී ලංකාවේ ආර්ථිකයටද සැලකිය යුතු බලපෑම් එල්ල විය හැකි බව වාර්තාව අනතුරු අඟවයි.
එසේම සැපයුම් දාම බාධා, ඉහළ බලශක්ති පිරිවැය සහ දේශීය මිල ගණන් ඉහළ යාම වැනි ගැටලු ඉදිරියේදී තවදුරටත් උග්‍ර විය හැකි බවද එහි සඳහන් වේ.
මේ අතර, මැද පෙරදිග අර්බුදය ගෝලීය මානුෂීය මෙහෙයුම්වලටද බලපෑම් එල්ල කර ඇති බව ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙයි. මානුෂීය ආධාර මෙහෙයුම් සඳහා අවශ්‍ය අරමුදල් ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් එක් එක් වැඩසටහන් මඟින් සහාය ලබාදෙන ජනතාවගේ සංඛ්‍යාව අඩුවීමේ අවදානමක් ද පවතින බව වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.
උපුටා ගැනීම ලංකාදීප

