අධිකරණ තීන්දු සම්බන්ධයෙන් විනිසුරුවරයකු සාක්ෂි ලෙස කැඳවන්නේ නැහැ නීතිපතිගෙන් අභියාචනාධිකරණයට ප්‍රතිඥාවක්

සිය නිල රාජකාරි කාලය තුළ ලබාදුන් අධිකරණ තීන්දු සම්බන්ධයෙන් අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා කොළඹ මහාධිකරණය හමුවේ සාක්ෂිකරුවකු ලෙස කැඳවීමෙන් වළකින බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබාදී තිබේ.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා අධිකරණයට දැනුම්දුන්නේ, විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා සාක්ෂිකරුවකු ලෙස කැඳවීමට ඉදිරියේදී කිසිදු පියවරක් නොගන්නා බවත්, ඒ සඳහා ඉදිරිපත් කර තිබූ අතිරේක සාක්ෂිකරුවන්ගේ ලැයිස්තුව සංශෝධනය කර ඔහුගේ නම ඉවත් කරන බවත්ය.

සේවයේ නියුතු මහාධිකරණ විනිසුරුවරයකු සිය නිල රාජකාරි ඉටු කිරීමේදී ලබාදුන් අධිකරණ තීන්දු සම්බන්ධයෙන් අධිකරණයට කැඳවා ප්‍රශ්න කිරීම වැළැක්වීම සඳහා කඩිනම් මැදිහත්වීමක් ඉල්ලා ජනාධිපති නීතිඥ උදිත ඊගලහේවා, ජනාධිපති නීතිඥ ෆාමන් කාසිම් සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ සුගත් කල්දේරා යන මහත්වරුන් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබිණි.

එම පෙත්සම මගින් ඔවුන් පෙන්වා දී තිබුණේ, සේවයේ නියුතු විනිසුරුවරයකු ඔහු ලබාදුන් නඩු තීන්දු සම්බන්ධයෙන් සාක්ෂි දීමට කැඳවීම අධිකරණයේ ස්වාධීනත්වයට හා නීතියේ ආධිපත්‍යයට බරපතළ තර්ජනයක් වන බවයි.

කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා, නීතිපතිවරයා සහ අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණි.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රෝහන්ත අබේසූරිය මහතා සහ විනිසුරු ප්‍රියන්ත කේ. ප්‍රනාන්දු මහතාගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, නීතිපතිවරයා විසින් ලබාදුන් ප්‍රතිඥාව සැලකිල්ලට ගනිමින් අදාළ රිට් පෙත්සමට අදාළ කටයුතු අවසන් කිරීමට නියෝග කෙරිණි.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන රොමේෂ් ද සිල්වා, ඉක්රාම් මොහොමඩ්, මනෝහාර ද සිල්වා, රොහාන් සහබන්දු, සංජීව ජයවර්ධන සහ සාලිය පීරිස් යන මහත්වරු පෙනී සිටි අතර, අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා පෙනී සිටියේය.

Social Sharing
නවතම පුවත්