
අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ දැමීම සම්බන්ධයෙන් අධිකරණ සේවා සංගමයේ සභාපතිවරයා ජනාධිපතිවරයා හමුවේ පළ කළ බව කියන අදහසක් මුල් කරගෙන අධිකරණ සේවා සංගමය තුළ බරපතළ මතභේදයක් හටගෙන ඇති බව වාර්තා වේ.
වාර්තා වන අන්දමට, විනිසුරුවරුන්ගේ වැටුප් හා දීමනා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකදී අධිකරණ සේවා සංගමයේ සභාපති පසන් අමරසේන මහතා අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ දැමීමට විරුද්ධතාවක් නොමැති බව ප්‍රකාශ කළ බවට තොරතුරු අනාවරණය වී තිබේ.
මෙම තොරතුරු හෙළිවීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරුන් හා දිසා විනිසුරුවරුන්ගෙන් සමන්විත අධිකරණ සේවා සංගමයේ සාමාජිකයන් අතර උණුසුම් සංවාද හා මත ගැටුම් ඇති වී ඇති අතර, සංගමය තුළ මත දෙකක් ගොඩනැගී තිබෙන බව වාර්තා වේ.
පසුගිය 6 වැනිදා මාර්ගගත ක්‍රමයට පැවති අධිකරණ සේවා සංගමයේ විධායක කමිටු රැස්වීමේදී මෙම කරුණ ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ලක්ව ඇති අතර, එම රැස්වීමට විධායක කමිටු සාමාජිකයන් 45 දෙනාගෙන් 37 දෙනකු සහභාගී වී සිටි බව සඳහන් වේ.
ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවට අධිකරණ සේවා සංගමයේ සභාපති හා ලේකම්වරයාට අමතරව මහාධිකරණ විනිසුරු සංගමයේ නියෝජිතයන් සහ අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා ද එක්ව සිට ඇති බව වාර්තා වේ.
එහිදී විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ දැමීම පිළිබඳ ජනාධිපතිවරයා විමසූ අවස්ථාවේ සභාපතිවරයා ඒ සඳහා විරුද්ධතාවක් නොමැති බව ප්‍රකාශ කළ බවට චෝදනා එල්ල වී ඇත.
කෙසේ වෙතත්, විධායක කමිටු රැස්වීමේදී සභාපති පසන් අමරසේන මහතා එවැනි ප්‍රකාශයක් තමන් සිදු නොකළ බව පවසා ඇති අතර, එම සාකච්ඡාවට සහභාගී වූ බව කියන සංගමයේ ලේකම් සුරංග මුණසිංහ මහතා සභාපතිවරයා එම අදහස ප්‍රකාශ කළ බවට තහවුරු කරමින් අදහස් දක්වා ඇතැයි වාර්තා වේ.
මෙම පරස්පර ප්‍රකාශ හේතුවෙන් විධායක කමිටුව තුළ දැඩි වාද විවාද හා උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර, දෙපාර්ශ්වයේ සාමාජිකයන් අතර තදබල වචන හුවමාරුවක් ද සිදුව ඇති බව සඳහන් වේ.
අවසානයේදී, ජනාධිපතිවරයා හමුවේ සභාපතිවරයා පළ කළ බව කියන අදහස සංගමයේ නිල මතය නොව ඔහුගේ පෞද්ගලික අදහසක් ලෙස සැලකිය යුතු බවට විධායක කමිටුවේ එකඟතාවක් ඇති වී තිබේ.
එම තීරණය නිල වාර්තාවට ඇතුළත් කිරීමට ද පියවර ගෙන ඇති අතර, ඒ සඳහා සංගමයේ සභාපති පසන් අමරසේන මහතා ද එකඟතාව පළ කර ඇති බව වාර්තා වේ.
