
2008 වසරේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව කියන සිද්ධියට අදාළව පවතින නඩු කටයුත්තේ සැකකරුවකු ලෙස හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න නම් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (10) නියෝග කළේය.
මෙම නියෝගය කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් ලබා දී ඇති අතර, ඒ අනුව හිටපු නාවික හමුදාපතිවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසද නියෝග කර තිබේ.
මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර ඇත්තේ අදාළ සැකකරු ලබන ජූලි 27 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවයි.
මෙම නඩුව 2008 වසරේදී කොළඹ හා තදාසන්න ප්‍රදේශවලින් තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් විභාග වන අතර, එය ශ්‍රී ලංකාවේ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් වැඩි අවධානයට ලක් වූ නඩු අතරින් එකක් ලෙස සැලකේ.
සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ විමර්ශන ක්‍රියාත්මක වූ අතර, එහි ප්‍රගතිය සම්බන්ධයෙන් මානව හිමිකම් සංවිධාන සහ වින්දිත පවුල් පාර්ශ්ව විසින් ද අවධානය යොමු කර තිබිණි.
