
හිටපු බුද්ධි අංශ ප්‍රධානි මේජර් ජනරාල් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (Prevention of Terrorist Act no:48 of 1979) යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ රඳවාගෙන ප්‍රශ්න කිරීම සහ එම රඳවා ගැනීම තුළ මතුව ඇති ප්‍රශ්න රාශියක් මේ වන විට ශ්‍රී ලංකාවේ සමාජය තුළ යම් තරමක කැළඹිලි කාරි තත්ත්වයක් ඇති කිරීමට සමත් වී ඇත
2026/06/05 වන දින ජෙනරාල් සලේ ඔහු වෙත සපයනු ලබන කිසිදු ආහාරයක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කරමින් මාරාන්තික උපවාසයකට එළඹී ඇති අතර 2026/06/07 වන දින රාත්‍රියේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීමේ හේතුකොට ඔහුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර තිබේ.
සී .අයි. ඩි. ය විසින් ජනරාල් සලේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 2019 වර්ෂයේ සිදුවූ පාස්කු ප්‍රහාර සිද්ධීන් මාලාවේ සැකකරුවකු ලෙසය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත දන්වා ඇත්තේ සුරේෂ් සලේ යනු පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකුු බැවින් ඔහු මෙලෙස අත්අඩංගුවේ රඳවාගෙන ප්‍රශ්න කිරීම අත්‍යවශ්‍ය කරුණක් වී ඇති බවය.
සුරේෂ් සලේ යනු ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රථම හෝ අවසාන සැකකරු නොවේ. 1979 සිට මේ දක්වා දහස් ගණනක් වූ දමිළ මුස්ලිම් මෙන්ම සිංහල ජාතික සැකකරුවන් රාශියක් පමණක් නොව සංවිධානාත්මක අපරාධකරැවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරැවන් පවා මෙලෙස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් රඳවා ගැනීමේ නියෝග මත පොලිස් අත්අඩංගුවේ රඳවාගෙන පසුව අධිකරණයට ඉදිරිපත් කිරීම සිදුව ඇත. ඒ බොහෝ අවස්ථාවල එම සැකකරුවන් විසින් තමන්ට රඳවා ගැනීම නියෝග මත රඳවා සිටි කාලය තුළ ශාරිරික වෙන්ම මානසිකව ද කෲර වද බන්ධන පැමිණ වූ බවට විවිධ අවස්ථාවන් හිදි අධිකරණයන් හමුවේ පැමිණිලි කරද ඇති අතර එවැනි අවස්ථා රැසකදී එම චෝදනාවන් ශ්‍රේෂ්ඨාධිකරණය වැනි ඉහලම අධිකරණයන් විසින් පිලිගෙන වින්දිතයන්ට සහන සලසා ඇති අවස්ථාද වේ.
මීටත් අමතරව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව විසින්ද මෙවැනි රදවාගැනීම් වල අනීතික ස්වරෑපය සම්බන්ධව දීර්ඝව සාකච්ඡා කර තීන්දු ලබාදුන් අවස්ථාද ඇත ( නල්ලරත්නම් සිංගරාසා එරෙහිව ශ්‍රී ලංකා රජය) සුරේෂ් සලේද බුද්ධි අංශ ප්‍රධානියා ලෙස ඔහුගේ රාජකාරි වපසරිය තුල මෙවැනි අනීතික රදවාගැනීම් රාශියකට දායකත්වය සපයා ඇති බව බැහැර කල නොහැකි සත්‍යයකි. නීතිඥය “ඉජාස් හිස්බුල්ලා” වැනි අයගේ මෙවැනි රදවා තැබීම් සරල උදාහරණ ලෙස දැක්විය හැක. අද මෙම පනතට එරෙහිව මාරාන්තික උපවාස සදහා සැරසෙන උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ වැනි අමාත්‍යවරැන්ද බලයේ සිටින විට මෙම අනීතික අයුක්ති සහගත නීතියට එරෙහිව වචනයක හඩක් නැගූ පුද්ගලයන් නොවේ .වඩාත්ම හාස්‍යජනක තත්වය වන්නේ මෙම නීතිය වෙනුවෙන් එකල ප්‍රබල ලෙසම පෙනී සිටි හිටපු අමාත්‍ය ටිරාන් අලස්ද මේ ගොඩෙහි ඉදිරිපෙලට එක්ව සිටීමය. එමනිසා කන්ඩ හිතුන විට “කබරගොයා තලගොයා ලෙස දැකීමේ “ න්‍යායෙන් අප ඈත්විය යුතු අතර හ්යදයසාක්ෂියට එකගව කබරගොයා කබරගොයා ලෙසටත් තලගොයා තලගොයා ලෙසත් දැකීමට කටයුතු කලයුතු අතර සියලු ශිෂ්ඨ සම්පන්න සාමයට ලැදි ජනකොටස් එකතුවී මෙවැනි අනීතික, මෙන්ම අයුක්ති සහගතද වන නීති අපගේ නීතිපද්ධතියෙන් ඉවත් කිරීමටත් ඒවෙනුවට සැබෑ වරදකරැට එරෙහිව නීතිය ක්‍රියාත්මක කලහැකි ශක්තිමත් මෙන්ම අදේශපාලනිකවූ සීලාචාර නීතින්ගෙන් අපගේ නෛතික පද්ධතිය ශක්තිමත් කිරීමට කටයුතු කිරීමට ක්‍රියාකල යුතුය.
1979 තාවකාලික විශේෂ විධිවිධාන පනතක් ලෙස ජේ.ආර්. ජයවර්ධන රජයේ එවකට රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ටිකිරි බණ්ඩා වේරපිටිය මහතා විසින් මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගනු ලැබූ අතර පසුව 1982 වර්ෂයේදී මෙම පනත ස්ථිර පනතක් ලෙස නීති පද්ධතියට එක් කර ඇත. මෙම නීතිය සම්බන්ධව මුල් කාලයේ දමිල ජාතිකයන් මෙන්ම දේශපාලනඥයන්ද ප්‍රබල විරෝධතා මතු කරනු ලැබූ අතර ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ( Amenesty International ) යුරෝපීය පාර්ලිමේන්තුව, මෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමිසම විසින්ද මෙම පනත යටතේ මූලික අයිතිවාසිකම් කඩකිරීම් බහුල ලෙස සිදුවන බවට මේ වන විටත් චෝදනා කර තිබේ.
මෙම ත්‍රස්තවාදය වැඩක් වීමේ පනතේ සිවිල් සමාජයට ඉතාමත් අහිතකර නීති ලෙස සඳහන් කළ හැකි ප්‍රධාන කරැණු හතරක් ඇත.
1. මෙම නීතිය යටතේ අත්අඩංගුවට ගන්නා සැකකරුවකු අධිකරණ නිලධාරියෙකුගේ නියෝගයකින් තොරව ආරක්ෂක අමාත්‍යවරයාගේ අත්සනින් නිකුත් කරන නියෝගයක් මත එක්වරකට දින 90 බැගින් අවස්ථා හතරක් එනම් දින 360 ක් අමාත්‍යවරයා විසින් නියම කරනු ලබන ස්ථානයක අමාත්‍යවරයාගේ අනුමැතියට යටත් නිලධාරීන් කණ්ඩායමකගේ අත්අඩංගුවේ රඳවාගෙන ප්‍රශ්න කිරීම සිදු කළ හැක.
2. පනතට අන්තර්ගත වැරදි අතර ත්රස්තවාදයට සම්බන්ධ බවට සැකකෙරෙන අයෙකුට නවාතැන් සැපයීම එවැනි පුද්ගලයෙකුට උදව් කිරීම මෙන්ම එවැනි තොරතුරක් දැනගෙන එය නිසි බලධාරීන්ට නොදන්වා සිටීම වැනි ඉතා දුර්වල (vague laws) නීතීන්ද ඇතුළත් කර ඇති අතර මේ යටතේ රඳවා ගැනීම සිදුකළ හැකි සැකකරුවන්ගේ පරිමාව ඉතා පුළුල්ය.
3. මෙම පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවකු විසින් පොලිස් නිලධාරියෙකුට කරනු ලබන පාපොච්චාරණයක් ඔහුට එරෙහිව පැවැත්වෙන අධිකරණ කටයුත්තකදී සාක්ෂියක් ලෙස ඉදිරිපත් කිරීමේ හැකියාව ඇත.
4. මේ පණත යටතේ ගැනෙන වරදකට වරදකරු කරන තැනැත්තෙකුගේ සියලු නිශ්චල සහ චංචල දේපළ රාජසන්තක කළ හැක.
මෙවැනි නීති මේ වන විට නූතන සිවිල් සමාජය එකහෙලා ප්‍රතික්ෂේප කරන කරුණු බවට පත්ව ඇති අතර 2009 වර්ෂය යුද්ධය අවසන් වීමෙන් පසු මේ පනත හකුලා ගන්නා ලෙසට එවකට විපක්ෂය නියෝජනය කළ වර්තමාන රජයේ දේශපාලනඥයන්ද , විවිධ දේශපාලන සංවිධාන ඇතුළු සිවිල් සමාජ සාමාජිකයන් විශාල හඬක් නැගූ නමුත් මේ ඒ හඬට මෙතෙක් කිසිදු ඉඩක් ලැබී නැත. මේ පනත වෙනුවට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සහ ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත(P.S.T.A) වැනි යෝජිත පනත් කෙටුම්පත් ඉදිරිපත් කරනු ලැබුවද මෙතෙක් ඒ කිසිදු පනතක් ව්‍යවස්ථාදායකයට කෙටුම්පතක් ලෙස හෝ ඉදිරිපත්ව නැත.
1981 වර්ෂයේ දී පෝක් සමුද්‍ර සන්ධිය හරහා යාපනයේ සිට ඉන්දියාවට සංක්‍රමණය වෙමින් සිටියදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ දමිල ඊළඟ විමුක්ති සංවිධානයේ නායකයෙකු ලෙස සැලකෙන සෙල්වරාජා යෝගචන්ද්‍රන් නොහොත් “කුට්ටුමණී” නැමැත්තාට 1982 ඔක්තෝම්බර් මාසයේදී කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කරනු ලැබූ අවස්ථාවේදී ඔහු විසින් විත්ති කූඩුවේ සිට කරනු ලැබූ පහත සඳහන් ප්‍රකාශය කෙරෙහි ඔබගේ අවධානය දැඩිව යොමු කිරීම ඉතාමත් කාලෝචිත යැයි සිතමි.
” අපට එරෙහිව අද දින මෙම අධිකරණය විසින් ලබා දෙන ලද මෙම තීන්දුව අප බලාපොරොත්තු සිටිි තීන්දුවකි. එහෙත් අපේ ස්ථාවරය වන්නේ දමිළ ඊළම් දේශය පුරවැසියන් වන අපට එරෙහිව මෙවැනි නීතියක් ක්‍රියාත්මක කිරීමට මේ රටේ අධිකරණයට බලයක් නොමැති බවය.එම නිසා මෙම තීන්දුව සම්බන්ධව අප කිසිසේත් පුදුමයට පත් නොවේමු
අපව අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් රඳවා ගැනීම සිදුකරනු ලැබුවේ පිටස්තර දේශයක් විසින් අපේ ජාතිකයන් කිසිවෙකුගේ අදහස් විමසීමකින් තොරව සම්මත කරන ලද අයුක්ති සහගත නීතියක් මුල්කරගෙනය. මෙම අසාධාරණ නීතිය හමුවේ මේ වන විටත් යාපනයේ ගුරුනගර් මෙන්ම මඩකලපුවේ හමුදා සහ පොලිස් කඳවුරුවල සිය ගණනක් දමිළ තරණයන් අන්ත දුක් විඳිමින් සිටී. එහෙත් වැඩි කල් යාමට ප්‍රථම මෙම නීතිය හමුවේ සිංහල තරුණයන්ද මාතර ගාල්ලේ කොළඹ මෙන්ම මහනුවර ද තනනු ලබන මෙවැනි කඳවුරුවල අන්ත අපා දුක් විඳිනු ඇත එදිනට මේ නීතියේ දුර්දාන්තභාවය සියලු පුරවැසියන්ට වැටහෙනු ඇතැයි මම විශ්වාස කරමි”
මේ ප්‍රකාශය සිදු කරනු ලැබූ කුට්ටුමණී ගේ මරණ දඬුවම 1983/02/04 වන නිදහස් දින ජීවිතාන්තය දක්වාවූ සිර දඬුවමකට යටත් කරන ලද අතර 1983 ජූලි මස 24 වන දින වැලිකඩ බන්ධනාගාරය තුල සිදුවූ සිරකරුවන්ගේ කැරැල්ලක් හේතුවෙන් ඔහු ඇතුළු ඔහු දමිළ සිරකරුවන් 39 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරේ චැපල් වාට්ටුව තුළදී ඝාතනයට ලක්වීම සිදුවිය.
