
මෙරට ක්‍රියාත්මක වන සියලුම වැඩිහිටි සාත්තු සේවා මධ්‍යස්ථාන අනිවාර්යයෙන් ලියාපදිංචි කිරීම සහ විධිමත් නියාමනයකට යටත් කිරීම සඳහා නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වාදීමට වැඩිහිටි ලේකම් කාර්යාලය සහ වැඩිහිටි තැනැත්තන් සඳහා වන ජාතික සභාව කටයුතු කරමින් සිටී.
වැඩිහිටි ජනගහනය ඉහළ යාමත් සමඟ ඩිමෙන්ෂියාව ඇතුළු මානසික රෝගාබාධ සහ කායික අපහසුතා සහිත වැඩිහිටියන්ගේ සංඛ්‍යාව වැඩිවීම හේතුවෙන්, නේවාසික රැකවරණ මධ්‍යස්ථානවල ප්රමිතීන් ඉහළ නැංවීම මෙම නව ක්‍රියාමාර්ගවල අරමුණ බව සඳහන් වේ.
නව මාර්ගෝපදේශ අනුව, විශේෂ රැකවරණ අවශ්‍ය වැඩිහිටියන් වෙනුවෙන් පුහුණු සාත්තු සේවිකාවන් සහ සේවකයන් යෙදවීම අනිවාර්ය කෙරෙන අතර, මානසික රෝගාබාධවලින් පෙළෙන නේවාසිකයන් සඳහා විශේෂ පුහුණුව ලත් කාර්ය මණ්ඩලයක් සිටිය යුතු බවද නියම කර ඇත.
එමෙන්ම, මානසික රෝගාබාධ සහිත වැඩිහිටියන් සාමාන්‍ය නේවාසිකයන් සමඟ එකම ස්ථානයක රඳවා තැබීම වෙනුවට, ඔවුන් සඳහා වෙන්වූ විශේෂිත රැකවරණ මධ්‍යස්ථාන පවත්වාගෙන යා යුතු බවද මාර්ගෝපදේශවල සඳහන් වේ.
වැඩිහිටි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනතේ 16(2) වගන්තියට අනුව, වැඩිහිටියන් පස් දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් රඳවා තබා ගන්නා ඕනෑම ආයතනයක් හෝ පුද්ගලයෙකු “වැඩිහිටි තැනැත්තන් සඳහා වන ජාතික සභාවේ” ලියාපදිංචි වීම අනිවාර්ය වන අතර, එසේ නොකිරීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් බව බලධාරීන් පෙන්වා දෙයි.
ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) සහ සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ ලබාගැනීම අනිවාර්ය වන අතර, සෞඛ්‍යමය සහ යටිතල පහසුකම් සපුරාලීමෙන් පසුව පමණක් ලියාපදිංචිය ලබා දෙනු ලැබේ.
නිල දත්ත අනුව, රට තුළ හඳුනාගෙන ඇති වැඩිහිටි නිවාස 456 අතරින් 148ක් පමණක් ලියාපදිංචි කර ඇති අතර, 300කට අධික සංඛ්‍යාවක් තවමත් ලියාපදිංචි නොවී පවතී. ඒ සඳහා ප්‍රධාන හේතුව ලෙස සෞඛ්‍ය සහ යටිතල පහසුකම් සම්බන්ධ අවශ්‍යතා සපුරාලීමට ඇති අපහසුතා පෙන්වා දී ඇත.
බලධාරීන් පවසන්නේ ලියාපදිංචි නොවූ ආයතන වෙත අවශ්‍ය අඩුපාඩු සපුරාලන ලෙස දැනුම් දී ඇති අතර, ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද සැලසුම් කර ඇති බවයි.
මේ අතර, වැඩිහිටියන් සඳහා වන ජාතික ප්‍රතිපත්තිය 2025 වසරේදී සකස් කර ඇති අතර, 2011 අංක 5 දරන වැඩිහිටි තැනැත්තන් ආරක්ෂා කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතියද මේ වන විට ලැබී තිබේ.
රජය පවසන්නේ, වැඩිහිටි නිවාසවල විනිවිදභාවය, ආරක්ෂාව සහ රැකවරණයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා ඉදිරියේදී තවදුරටත් නියාමන ක්‍රියාමාර්ග ගන්නා බවයි.
උපුටා ගැනීම ලංකාදීප
