ගෝලීය සාම දර්ශකයට අනුව ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ දෙවැනි සාමකාමීම රට බවට පත්වෙයි!

ආර්ථික විද්‍යාව සහ සාමය පිළිබඳ ආයතනය (IEP) විසින් 2026 වසර සඳහා නිකුත් කරන ලද 20 වැනි වාර්ෂික ගෝලීය සාම දර්ශකයට අනුව, දකුණු ආසියානු කලාපය තුළ සාමකාමීත්වය අතින් ඉහළම වර්ධනයක් වාර්තා කළ රට ලෙස ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණ තිබේ.

නවතම දර්ශකයට අනුව ශ්‍රී ලංකාව ගෝලීය ශ්‍රේණිගත කිරීම්වල 67 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති අතර, භූතානයට පමණක් පසුපසින් දකුණු ආසියාවේ දෙවැනි වඩාත් සාමකාමී රට ලෙස ස්ථානගත වී ඇත.

මෙය ශ්‍රී ලංකාව සඳහා කැපීපෙනෙන ප්‍රගතියක් ලෙස සැලකෙන අතර, 2025 වසරේ ගෝලීය සාම දර්ශකයේ රටවල් 163ක් අතර ශ්‍රී ලංකාව 97 වැනි ස්ථානයේ පසුවිය.

ලෝකයේ සමස්ත සාමකාමීත්වය 0.7%කින් පහත වැටී, අඛණ්ඩව 12 වැනි වසරටත් ගෝලීය සාමය පිරිහෙමින් පවතින පසුබිමක ශ්‍රී ලංකාව වාර්තා කළ මෙම ඉදිරි ගමන විශේෂ අවධානයට ලක්ව තිබේ.

වාර්තාවට අනුව පසුගිය වසර තුළ ශ්‍රී ලංකාවේ සමස්ත සාම දර්ශක ලකුණු ප්‍රමාණය සියයට 2.3කින් ඉහළ ගොස් ඇති අතර, එයට බලපෑ ප්‍රධාන සාධක කිහිපයක් ද හඳුනාගෙන ඇත.

මිලිටරිකරණය සම්බන්ධ දර්ශකය සියයට 6.4කින් දියුණු වී ඇති අතර, එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා ලබා දෙන දායකත්වය සියයට 40.8කින් වර්ධනය වී ඇත.

එමෙන්ම දේශපාලන අස්ථාවරත්වය සියයට 25කින් අඩුවීමත් සමඟ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය සම්බන්ධ දර්ශකය සියයට 1.8කින් වර්ධනය වී ඇති බව වාර්තාව පෙන්වා දෙයි.

2026 ගෝලීය සාම දර්ශක වාර්තාවෙන් අනාවරණය වන්නේ පසුගිය වසර 18ක කාලය තුළ ලෝකය අවම වශයෙන් 15 වතාවක් සාමකාමීත්වයෙන් පිරිහී ඇති බවයි. එමෙන්ම 2008 වසරේදී මෙම දර්ශකය ප්‍රථම වරට ප්‍රකාශයට පත් කළ අවස්ථාවට සාපේක්ෂව වර්තමානයේ රටවල් 119ක් අඩු සාමකාමී මට්ටමක පවතින බවද සඳහන් වේ.

පසුගිය වසර තුළ රටවල් 99ක සාමකාමීත්වය පිරිහී ඇති අතර, දියුණුවක් වාර්තා කර ඇත්තේ රටවල් 62ක් පමණක් බවද එම වාර්තාවේ දැක්වේ.

අසල්වැසි රටවල් සමඟ සබඳතා ඇතුළු ඇතැම් දර්ශක 2026 මාර්තු මාසය දක්වා යාවත්කාලීන කර තිබුණද, බොහෝ දත්ත 2025 දෙසැම්බර් මාසය දක්වා පමණක් ලබාගෙන ඇති බැවින් මැද පෙරදිග කලාපයේ මෑතකාලීන ගැටුම්වල සම්පූර්ණ බලපෑම මෙම වාර්තාවට ඇතුළත් වී නොමැති බවද සඳහන් වේ.

විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ දේශපාලන ස්ථාවරත්වය, ආරක්ෂක තත්ත්වයේ වර්ධනය සහ ජාත්‍යන්තර සාම මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාව ලබාදෙන දායකත්වය හේතුවෙන් මෙම ප්‍රගතිය අත්කර ගැනීමට හැකි වූ බවයි.

දේශීය හා ජාත්‍යන්තර අභියෝග මධ්‍යයේ ශ්‍රී ලංකාව ගෝලීය සාම දර්ශකයේ ස්ථාන 30කින් ඉදිරියට පැමිණීම, රටේ සාමකාමී පරිසරය ශක්තිමත් වෙමින් පවතින බවට ලැබුණු වැදගත් ජාත්‍යන්තර පිළිගැනීමක් ලෙස සැලකේ.

Social Sharing
නවතම පුවත්