දිත්වාශ (DITWAASHA): ආපදා කළමනාකරණයේ නොකියැවුණු කාන්තා භූමිකාව පිළිබඳ සිනමාත්මක කියවීමක්

2025 වසරේ අගභාගයේදී ශ්‍රී ලංකාවට බලපෑ ‘දිත්වා’ (Ditwah) සුළි කුණාටුව, දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බරපතළ බලපෑම් එල්ල කරමින් මිලියන 2.2කට අධික ජනතාවක් පීඩාවට පත් කළේය. පුද්ගල මරණ 643ක් සහ නිවාස ලක්ෂයකට අධික ප්‍රමාණයක් විනාශ කරමින් එය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 4%කට සමාන (ඇමෙරිකානු ඩොලර් බිලියන 4.1ක) දැවැන්ත අලාභයක් සිදු කළේය. මෙවැනි බරපතළ ආපදා තත්ත්වයන්හිදී පොදුවේ සමස්ත සමාජයම පීඩාවට පත් වුවද, එහිදී කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන ශාරීරික, ආර්ථික හා මානසික බලපෑම අතිශය සංකීර්ණ ය. අවතැන් කඳවුරු තුළ සහ විනාශ වූ ප්‍රජාවන් තුළ ඔවුන්ගේ ආරක්ෂාව සහ මානසික සෞඛ්‍යය දැඩි අවදානමකට ලක්වේ.
ආපදා සහන සහ කාන්තා ආගමික නායකත්වයේ වටිනාකම
මෙවන් ව්‍යසන අවස්ථාවලදී සහන සැලසීම සඳහා විවිධ ආගමික ආයතන සහ පූජකවරුන් පෙරමුණ ගැනීම ශ්‍රී ලංකාවේ සුලබ දසුනකි. එහෙත්, මෙම ක්‍රියාවලියේදී කාන්තා ආගමික නායිකාවන් ඉටු කරන සුවිශේෂී සහ තීරණාත්මක කාර්යභාරය බොහෝ විට ප්‍රධාන ධාරාවේ ආපදා කළමනාකරණ කතිකාවෙන් ගිලිහී යයි. ආපදාවට ලක්වූ කාන්තාවන්ට සමීප වෙමින් ඔවුන්ගේ ගැටලු ශ්‍රවණය කිරීම (befriending), ඔවුනට අවශ්‍ය ආධ්‍යාත්මික සහ මනෝ-සමාජීය සහාය (psychosocial support) ලබා දීම සහ පීතෘමූලික සමාජ රාමු තුළ පවා ඔවුනට ආරක්ෂිත අවකාශයක් නිර්මාණය කර දීම සම්බන්ධයෙන් මෙම ආගමික නායිකාවන් ඉටුකරන්නේ මිල කළ නොහැකි මෙහෙවරකි.
සැබෑ ක්ෂේත්‍ර අත්දැකීම් මත ගෙතෙන ‘දිත්වාශ’
මේ නොකියැවුණු කතාව සිනමාත්මකව සහ පර්යේෂණාත්මකව ලේඛනගත කිරීමක් ලෙස “දිත්වාශ” වාර්තා චිත්‍රපටය හැඳින්විය හැකිය. බෞද්ධ භික්ෂුණීන් වහන්සේ නමකගේ, ක්‍රිස්තියානි කන්‍යා සොයුරියකගේ, මුස්ලිම් මවුලවිවරියකගේ සහ හින්දු පූජකවරියකගේ සැබෑ ක්ෂේත්‍ර අත්දැකීම් පාදක කරගනිමින් මෙම නිර්මාණය ගොඩනැඟී ඇත. විනාශය පිළිබඳ සංඛ්‍යා ලේඛනවලින් ඔබ්බට ගොස්, ආගමික සහ ජාතික සීමාවන් අතික්‍රමණය කළ කාන්තා සහෝදරත්වයේ සහ මානුෂීය මැදිහත්වීමේ අපූර්වත්වය චිත්‍රපටය ඔස්සේ දිගහැරෙයි.
සර්වෝදය මැදිහත්වීම සහ අනාගත දැක්ම
‘දිත්වා’ කුණාටුව ඇතුළු මෙරට සිදු වූ බොහෝ ස්වභාවික ආපදාවලදී ලංකා ජාතික සර්වෝදය ශ්‍රමදාන සංගමය පෙරටුවෙන්ම සිටිමින් ජනතාවට සහන සේවා සැපයීය. World Faiths Development Dialogue සහ සර්වෝදය උසස් අධ්‍යාපන ආයතනයේ (SIHL) නිෂ්පාදනයක් වන මෙම වාර්තා චිත්‍රපටය පිළිබඳව අදහස් දක්වමින් සර්වෝදය ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය වින්‍යා ආරියරත්න මහතා ප්‍රකාශ කරන්නේ, මෙහි මූලික අරමුණ වන්නේ “මෙම සැබෑ ජීවිත කතන්දර සහ විධිමත් පර්යේෂණාත්මක කරුණු ග්‍රහණය කරගනිමින්, අනාගතයේදී වඩාත් ප්‍රශස්ත ආපදා පෙර සූදානමක් සහ ඔරොත්තු දීමේ හැකියාවක් (disaster preparedness and resilience) ප්‍රජාව තුළ ගොඩනැගීම” බවයි.
අධ්‍යක්ෂවරයා සහ චිත්‍රපටයේ පසුබිම
මෙහි අධ්‍යක්ෂණය, දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ (CEPA) හිටපු විධායක අධ්‍යක්ෂවරයා (2012-2020) මෙන්ම නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර සංවර්ධන සහයෝගීතාව පිළිබඳ ආචාර්ය උපාධියක් සහ මානව විද්‍යාත්මක චිත්‍රපට නිෂ්පාදනය (Anthropological Film Making) පිළිබඳ විශේෂ පුහුණුවක් ලබා ඇති ආචාර්ය උදන් ප්‍රනාන්දු විසිනි. ‘Dwandha’, ‘A Covid Honeymoon’, ‘A Virgin Vote’ සහ මෑතකදී අන්තර්ජාතික අවධානයට ලක්වූ ‘Nun Other Than’ වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කර ඇති ඔහුගේ පර්යේෂණාත්මක සහ සමාජ-විද්‍යාත්මක සිනමා දැක්ම ‘දිත්වාශ’ හැඩගැන්වීමට ප්‍රබලව දායක වී ඇත.
විනාඩි 32ක ධාවන කාලයකින් යුත්, සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් (ඉංග්‍රීසි උපසිරැසි සහිතව) නිර්මාණය වී ඇති ‘දිත්වාශ’, හුදෙක් එක් ව්‍යසනයක් පිළිබඳ වාර්තාවක් පමණක් නොවේ; එය ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදී වූ (gender-sensitive) ආපදා කළමනාකරණ ප්‍රතිපත්ති සම්පාදනයක් සඳහා අනාගතයට මඟ පෙන්වන ප්‍රබල මානුෂීය සහ ශාස්ත්‍රීය ලියවිල්ලකි.
අජිත් පැරකුම් ජයසිංහ
Social Sharing
නවතම පුවත්