
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ඉතා කෙටි කාලයක් තුළ අහෝසි කිරීමට රජය කටයුතු කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
ඊයේ (09) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, එම පනත අහෝසි කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවයි.
අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, රජයට පැහැදිලි ජනවරමක් සහ ශක්තිමත් මහජන බලයක් හිමිව ඇති බැවින් මර්දනකාරී නීති හෝ විශේෂ අණපනත් භාවිත කරමින් ආණ්ඩු කිරීමට අවශ්‍යතාවක් නොමැති බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආනන්ද විජේපාල මහතා මෙසේ පැවසීය.
“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන මෙතැන මන්ත්‍රීවරු කතා කළා. අපි අනිවාර්යයෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා. මේ වන විට අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළ පරිදි එය අහෝසි කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඉතා කෙටි කාලයක් තුළ මෙම පනත අහෝසි කරනවා. මර්දන නීති සහ අණපනත් යොදාගෙන ආණ්ඩු කිරීමට අපි සූදානම් නැහැ. අපට හොඳ මහජන බලයක් තිබෙනවා.”
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් දේශීය හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන දිගු කාලයක් පුරා විවේචන එල්ල කර ඇති අතර, එය අහෝසි කිරීම හෝ ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල නව නීතිමය රාමුවක් හඳුන්වා දීම සම්බන්ධයෙන් පසුගිය කාලයේදී ද විවිධ අවස්ථාවල යෝජනා ඉදිරිපත් වී තිබුණි.
