
ඔහු පාසල් ගුරුවරයෙකි. ලංකා ගුරු සංගමයේ සංවිධායක ලේකම් ලෙස 1980 ජෙනරල් ස්ට්‍රයිකයට සම්බන්ධ වීම නිසා රැකියාව අහිමි කර ගෙන සිටි ඔහුට නැවත රැකියාව ලැබී තිබුණේ 1989 න් පසුව විය යුතුය.
කොළඹ නගරයේ කෙළවරක පිහිටි දුප්පත් පාසලක ඔහු ඉගැන්වීම සඳහා ගියේ අත් දිග කමිසයකින් සහ කලිසමකින් සැරසී, පයට සපත්තු ලා ඉතාම පිළිවෙළට ඇඳුම් පැළැඳුම් වලින් සැරසී ය. පාසල අවසන් වීමෙන් පසු ඒ කාලය වන විට ඔහු රාජගිරියේ, රාජගිරිය පාරේ 51/7 ලිපිනයෙහි උඩු මහලේ පැවැති කාර්යාලයට පැමිණෙන්නේ 176 කරගම්පිටිය- හෙට්ටියාවත්ත බසයෙනි. ඒ කාලයේ එම් ඩී ඩී ආර් හෙවත් ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් රැකගැනීමේ ව්‍යාපාරයේ කාර්යාලය පැවතුණේ එහ ස්ථානයේය. ඔහු එහි සම ලේකම්වරයකු ලෙස කටයුතු කළ අතර අනෙක් සම ලේකම්වරයා වූයේ එස්. ජී. පුංචිහේවා ය.
ගුරු සේවයෙන් විශ්‍රාම ගත් පසුවද සිය නිවසේ සිට ඔහු සාමාන්‍යයෙන් කාර්යාලයට එන්නේ පස්වරුවේය. පන්නිපිටියේ සිට රාජගිරියට ත්‍රි රෝද රථයකින් එන ඔහු වැඩ ආරම්භ කරන අතර රාත්‍රී අට නවය වන තුරු වැඩ කිරීම ඔහුගේ සිරිතයි. ඔහුගේ කාලය වැයවන්නේ ලිවීමට ය. නමුත්, කවුරුන් හෝ ඔහු ඉදිරියට පැමිණ ඉදිරියේ ඇති අසුනේ අසුන් ගත් වහාම ඔහුගේ ලිවීමට අගුලු වැටී කතාව ඇරැඹේ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ සභාපති මා ඕ සේතුං ගෙන් අභාසය ලබා මාඕ වාදියෙකු ලෙස දේශපාලනයට පිවිසි ඔහු, කල්යානන්ද තිරාණගම ප්‍රමුඛව පිහිටුවනු ලැබූ ‘ගිනි පුපුර’ සංවිධානයේ ක්‍රියාකාරිකයෙකු විය. ලංකා ගුරු සංගමයේ ස්වර්ණමය අවදියේ දී එහි සංවිධායක ලේකම් ලෙස කටයුතු කළ ඔහු “නිදහස උදෙසා දිගු පා ගමනක” (Long March to Freedom ) යෙදීමට සිදුවන බව අවබෝධ කර ගෙන සිටියේය.
තමන්ගේ මෙන්ම සෙසු අයගේද අයිතිවාසිකම් ආරක්ෂා කිරීම උදෙසා මහජනතාව සංවිධානය කරන්නේ කෙසේද යන ප්‍රශ්නය සමග ඔහු පොරබැදුවේය. අත්හදාබැලීම් කළේය. සමහරක් සාර්ථක වූ අතර තවත් සමහරක් අසාර්ථක විය. එහෙත්, ඔහු කිසිදාක කලකිරීමට පත්ව අරගලය අත හැර පසු බසිනු මා දැක නැත.
අයිතිවාසිකම් උදෙසා කටයුතු කරන ක්‍රියාකාරිකයෙකු අසාධාරණය හමුවේ ‘දණ්ඩෙන් පහර ලත් නාගයෙකු සේ කිපිය යුතු’ බව ඔහු ගේ දර්ශනය විය. දර ලීයක් පැලීම සඳහා පොරොව භාවිතා කිරීමේදී ‘පැලෙන පැත්තට’ පහර දිය යුතු බව ඔහු දැන සිටියේය. එමෙන්ම ‘පොල්පිති බලි’ වලට ‘පිත්තල ඇණ’ ගැසිය නොහැකි බවද ඔහු අත්දැකීමෙන් පසක් කොට තිබුණේය. ‘ලෙඩා මළත් බඩ සුද්දයි’ ආකාරයේ ක්‍රියාමාර්ග ඔහු පිළිකෙව් කළේය. නමුත්, කාර්යයක් අසාර්ථක වූ විට පවා සදය උපහාසාත්මක හඬින් ඔහු පැවසුවේ ‘උන්න හැටියට මළා මදැයි’ කියාය.
තමාට වඩා වයසින් අඩු පරම්පරා ගණනාවක ක්‍රියාකාරීන් සමග එක්ව, ඔවුන්ට වැඩිහිටිකම් පෙන්වන්නේ නැතිව එකට වැඩ කිරීමට ඔහු සමත් විය. ඉතා කුඩා ගුණාකාරය සෙවීමට ඇති පෙළැඹීම යටපත් කර ගෙන මහා පොදු සාධකය සෙවීමට ඔහු වෙහෙස විය.
ඔහු න්‍යායාචාර්යවරයෙකු නොවේ. දේශපාලනය නිසා තම ප්‍රථම උපාධිය සම්පූර්ණ කර ගැනීමට නොහැකි වූ ඔහුට පශ්චාත් උපාධි හෝ ආචාර්ය උපාධි නොවීය. නමුත්, සුවිසල් න්‍යායික සහ ප්‍රායෝගික දැනුමක් ඔහු සතු විය.
ඔහු ඊනියා දේශපාලනික වශයෙන් නිරවද්‍ය මිනිසෙකු (politically correctness) නොවේ. ඔහු ස්ත්‍රීවාදියෙකුද නොවේ. එහෙත්, ප්‍රසිද්ධ සභාවක හෝ පෞද්ගලික සාකච්ඡාවකදී හෝ ස්ත්‍රීන්ට, වෙනත් ජාතීන්ට, වෙනත් ආගමිකයන්ට හෝ වෙනස් ආකාරයක ශරීර ස්වරූප ඇත්තන්හට වචනයකින් වත් අවඥා නොකර, පරිභව නොකර හැසිරීමට ඔහුට වූ පරිචය ඔහු තුළ තිබුණු මා හැඟි යහගුණයකි.
අද සිය ජීවිතයේ අසූ පස් වන ජන්ම දිනය සමරන විමල් ප්‍රනාන්දු මහතාට සුබ උපන් දිනයකට සහ නිරෝගිමත් ජීවිතයකට ආසිරි පතමි.
සටහන සුදර්ශන් ගුණවර්ධන
