නිදහස් අධ්‍යාපනය ඔබට අහිමිද?

රටක තිරසාර සහ ඒකාබද්ධ සංවර්ධනයක් අත්කර ගැනීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් එරටෙහි අධ්‍යාපන ක්‍රමය මගින් ඉටුකරනු ලබයි. ඕනෑම ශිෂ්ටසම්පන්න සමාජයක කොඳුනාරටිය ලෙස සලකනු ලබන්නේද එහි අධ්‍යාපන ක්‍රමයයි. මක්නිසාදයත්, රටක ශ්‍රම බලකායේ ගුණාත්මකභාවය වැඩිදියුණු කරන, සමාජීය හා සංස්කෘතික වටිනාකම් වලින් පොහොසත් වගකිවයුතු පුරවැසියකු බිහිකිරීම අධ්‍යාපන ක්‍රමයක් තුළින් සිදුවීම හේතුවෙනි.

අධ්‍යාපනය යනු, විවිධ ආකාරයේ ඉගෙනුම් ක්‍රම හරහා දැනුම, කුසලතා, වටිනාකම් සහ ආකල්ප ලබා ගැනීමේ ක්‍රියාවලියයි. එයට පාසල් සහ විශ්වවිද්‍යාලවල විධිමත් අධ්‍යාපනය මෙන්ම ප්‍රජා සහභාගීත්වය සහ ස්වයං අධ්‍යයනය වැනි අවිධිමත් සහ නොවිධිමත් ක්‍රමද ඇතුළත් වේ (‍UNESCO).

1945 ජූලි මාසයේදී ඉදිරිපත් වූ නිදහස් අධ්‍යාපන පනත ශ්‍රී ලංකා අධ්‍යාපන ඉතිහාසය තුළ හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත්වූ බව අවිවාදිතය. නමුත් වර්තමානයේදීත් බොහෝදෙනා නිදහස් අධ්‍යාපනය යන්න නිවැරදි ලෙස අර්ථකථනය කරන බව දක්නට නොලැබේ. වඩාත් පොදු සහ ප්‍රචලිත අර්ථකථනය වන්නේ “නොමිලේ ලබාදෙන අධ්‍යාපනය” යන්නයි. නමුත් නිදහස් අධ්‍යාපනය යනු, මුදල් අය කිරීමකින් තොරව අධ්‍යාපනය ලබාදීම පමණක් නොව ජාතිය, ආගම, කුලය හෝ ආර්ථික මට්ටම නොසලකා, ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුටම රජයේ පාසල්වල සිට විශ්වවිද්‍යාල දක්වා අධ්‍යාපනයට සමාන ප්‍රවේශකත්වයක් සහතික කිරීම බවයි. එය දරුවන්ට ඔවුන්ගේ පුද්ගල කුසලතා සහ හැකියාවන් වර්ධනය කිරීමට උපකාරීවන අතරම වගකිවයුතු හා නීතිගරුක පුරවැසියන් බවට පත්වීමට මඟ පෙන්විය යුතුයි.

නිදහස් අධ්‍යාපනය පිළිබඳ අර්ථ දැක්වීම එසේ වුවත්, යථාර්ථයේදී මෙම කොන්දේසි සියල්ලම සම්පූර්ණ වනවාද යන්න ප්‍රශ්න සහගතය. මෑතකාලීන ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ කොවිඩ් වසංගතය ලංකාවේ අධ්‍යාපනික මුහුණුවර වෙනස් කිරීමට පැහැදිලි බලපෑමක් ඇති කෙරුවේ නිදහස් අධ්‍යාපනයේ නිර්ණායක අභියෝගයට ලක් කරමින්ය. ආර්ථික අර්බුදය ළමුන්ගේ පාසල් පැමිණීමට අයහපත් අන්දමින් බලපෑම් කරන ලද අතර බොහෝ අඩු ආදායම්ලාභී, සහ අවිධිමත් රැකියාවල නිරත වූ දෙමාපියන්ගේ ආර්ථික මට්ටම තවදුරටත් පහළ බැසීම එයට හේතු විය. එමෙන්ම මෙම තත්ත්වය මත ළමුන්ව ශ්‍රමිකයන් ලෙස පවු‍ලේ ආර්ථික ක්‍රියාවලියට දායක කර ගැනීමට දෙමාපියන් යොමු විය.

කොවිඩ් වසංගතය සමඟ මාර්ගගත අධ්‍යාපනය ප්‍රචලිත වීමෙන් ඒ සඳහා අවශ්‍ය උපාංග සහ පහසුකම් නොමැති වූ සිසුන් එකී අධ්‍යාපන ක්‍රමයෙන් ඉවතට තල්ලු විය. මෙය සැලකිය යුතු සිසුන් පිරිසක් පාසල් හැර යාමට ද හේතුවක් විය. බොහෝ විට මෙම තත්ත්වයේ ගොදුරු බවට පත්වූයේ ග්‍රාමීය, වතු හා නාගරික දිළිඳු ප්‍රජාවගේ දරුවන්ය.
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය කාලයත් සමඟ වෙනස්වීම්වලට ලක් වෙමින් ගමන් කළද අර්ථවත් හා ඵලදායි ප්‍රතිසංස්කරණ තවමත් ප්‍රමාද වීම විවේචනයට භාජනය වී තිබේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපන ක්‍රමය විසින් සාක්ෂරතා අනුපාතය, පාසල් ඇතුළත්වීමේ අනුපාතය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය හා මානව ගුණාත්මක දර්ශකය යනාදියෙන් දකුණු ආසියාවේ ප්‍රමුඛස්ථානයකට විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තල්ලු කර ඇතත් වෙනස් වන ලෝකයට මුහුණ දීමට සංවර්ධනය කර නොමැති බවක් පෙනේ.

අධ්‍යාපනය අයිතියක් ලෙස සාකච්ඡා කිරීමේදී, ජාත්‍යන්තර වශයෙන් එය මානව අයිතිවාසිකමක් බවට පිළිගෙන තිබේ. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන වගන්තිය තුළින් නීතිය ඉදිරියේ සියලු දෙනාගේ සමානාත්මතාවය තහවුරු කර තිබෙන අතර කිසිදු වෙනස්කොට සැලකීමකින් තොරව අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය ඉන් තහවුරු කරනු ලබයි. තවදුරටත් 27(2)(h) වගන්තිය තුළින් රජයේ අධ්‍යාපනික නීති සහ ප්‍රතිපත්ති සම්පාදනයේදී එය මාර්ගෝපදේශයක් ලෙස සලකා කටයුතු කරයි. මීට අමතරව අනිවාර්ය අධ්‍යාපනන පනත තුළින් වයස අවුරුදු 5 සිට අවුරුදු 16 දක්වා අනිවාර්ය අධ්‍යාපනය ලබාදීමට දෙමාපියන් නීතියෙන් බැඳී සිටී. මෙම විධිවිධාන තුළින් පාසල් අධ්‍යාපන ක්‍රමය තුළ අධ්‍යාපනය ලැබීමට දරුවන්ගේ අයිතිය තහවුරු කර‍යි.

එපමණක් නොව, නිදහස් හා අනිවාර්ය ප්‍රාථමික අධ්‍යාපනය සඳහා දරුවන්ට ඇති අයිතිය තහවුරු කරන ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ (CRC) ශ්‍රී ලංකාවද පාර්ශ්වකරුවෙකු වශයෙන් බැඳී සිටී. මෙම සියලු ජාතික හා ජාත්‍යන්තර විධිවිධාන පුරවැසියාට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය ආරක්ෂා කර තිබේ. තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs), 2015 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් දරිද්‍රතාවය තුරන් කිරීම, පෘථිවිය ආරක්ෂා කිරීම සහ 2030 වනවිට සියලු ජනතාව සාමය සහ සමෘද්ධිය භුක්ති විඳීම සහතික කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට විශ්වීය සැලැස්මක් ලෙස සම්මත කරන ලදී. මෙහි ඉලක්ක 17 අතුරින් හතරවන තිරසාර සංවර්ධන ඉලක්කයෙහි අරමුණ වන්නේ 2030 වන විට සියල්ලන්ම ඇතුළත්වන සහ සාධාරණ, ගුණාත්මක අධ්‍යාපනයක් සහතික කිරීම හා ජීවිත කාලය පුරාම ඉගෙනීමේ අවස්ථා ප්‍රවර්ධනය කිරීමයි. ශ්‍රී ලංකාවද මෙහි කොටස්කරුවෙකු වන බැවින් මෙම ඉලක්ක සපුරා ගැනීමට බැඳීසිටී. මේ අනුව, ශ්‍රී ලංකාව තුළ කිසිදු භේදයකින් තොරව අධ්‍යාපනය ලැබීමට ඔබට අයිතියක් පවතින බව වටහා ගත යුතුය.

අධ්‍යාපනය යනු, හුදෙක් රාජ්‍යය විසින් සපයනු ලබන සේවාවක් නොව, සෑම දරුවෙකුගේම සහ සමස්තයක් ලෙස ජාතියේම අනාගතය හැඩගස්වන මානව අයිතියකි. එය ගෞරවාන්විතව හා වගකීමෙන් යුතුව ජීවත් වීමට අවශ්‍ය දැනුම, කුසලතා සහ වටිනාකම් සහිත පුද්ගලයින් නිර්මාණය කරයි. අධ්‍යාපනය අයිතියක් ලෙස ආරක්ෂා කිරීම, මානව හිමිකම් ශක්තිමත් කරමින්, සමාජ සාධාරණත්වය සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනයට සහාය වේ. එබැවින්, සියලුම දරුවන්ට සාධාරණ හා ගුණාත්මක අධ්‍යාපනයක් සුරක්ෂිත කිරීම නීතිමය බැඳීමක් සහ අත්‍යවශ්‍ය ආයෝජනයකි.

සටහන පවනි අමා

Social Sharing
අවකාශය පුවත්