අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටි නීතිඥවරයෙක් අත්අඩංගුවට

කෙසෙල්වත්ත, සාංචි ආරච්චිවත්ත ප්‍රදේශයේ පාළුවට ගිය අඳුරු ගොඩනැගිල්ලක් තුළ කුප්පි ලාම්පුවක් දල්වාගෙන ‘අයිස්’ මත්ද්‍රව්‍ය පානය කරමින් සිටි නීතිඥවරයෙකු සහ තවත් අපරාධකරුවෙකු අත්අඩංගුවට ගත් බව කෙසෙල්වත්ත පොලිසිය සඳහන් කර සිටියි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකාර නීතිඥවරයා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 130ක්, සමඟ මත්ද්‍රව්‍ය පානය කිරීමට අවශ්‍ය කරන දෑ ළඟ තුබූ බව හෙළි වේ.

සැකකාර නීතිඥවරයා සතුව ඔහුගේ නීතිඥ හැඳුනුම්පතක් ද සොයා ගත් බව පොලිිසිය සඳහන් කර සිටියි.

සැකකරුගේ හැඳුනුම්පත පරීක්ෂා කිරීමේදී ඔහු 1996 වසරේ නීතිඥ වෘත්තියට පිවිස, කොළඹ අලුත්කඩේ දිසා අධිකරණයේ සහ මහාධිකරණයේ නීති කටයුතුවල නිරත වන නීතිඥවරයෙකු බවට අනාවරණය වී ඇතැයි පොලිසිය පවසා සිටියේ

ඔහු සමඟ අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු කළුබෝවිල, සරණංකර පාරේ පදිංචි 54 හැවිරිදි දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙක් (IRC) බව යි පොලිසිය සඳහන් කර සිටින්නේ.

කෙසෙල්වත්ත පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කේ.වී.ඩී.පී. අනුරුද්ධ ඇතුළු කණ්ඩායමකට ලද රහස් තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර, පොලිස් කණ්ඩායම අදාල පාළු ගොඩනැගිල්ල පරීක්ෂා කරන අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනා කුප්පි ලාම්පු එළියෙන් මත්ද්‍රව්‍ය පානය කරමින් සිට ඇති බවයි වාර්තා වේ.

Social Sharing
නවතම පුවත්