රාජ්‍ය සේවයේ “අතිරේක ලේකම්” කතා.

අතිරේක ලේකම්

රාජ්‍ය සේවයේ ‘අතිරේක ලේකම්/අතිරේක අධ්‍යක්ෂ/අතිරේක කොමසාරිස්/අතිරේක දිසාපති’ වැනි තනතුරු රැසකි. ලංකා රාජ්‍ය සේවයට, නැතිනම් පරිපාලන සේවයට මේ ‘අතිරේක’ කෑල්ල පැමිණියේ යුග පරිවර්ථනය කොටසක් ලෙසය.

1977 විශාල බහුතර ඡන්දයකින් ජයග්‍රහණය කළ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ මුලිකම වගකීමක් වූයේ තරුණ තරුණියන්ට නව රැකියා උත්පාදනය කිරීමය. රැකියා උත්පාදනය සිය ප්‍රමුඛ කාර්ය බවට පත් කර ගත් ‘ආණ්ඩුව’ ජේ.ආර්.ගේ ධූර කාලය යැයි කිව හැකිය.

සාමාන්‍ය මට්ටමේ රජයේ රැකියා ලබාදීම සඳහා ජේ.ආර්. ජයවර්ධන “රැකියා බැංකුව” බැනරය යටතේ වැඩපිළිවෙලක් ආරම්භ කළේය. රැකියා බැංකුවේ පළමුවෙනි අංකය – 001 හිමිවූයේ බදුල්ල වැලිමඩ ඡන්ද කොට්ඨාශයේ බොරලන්දේ සුමනා විජේසේකර ට ය. 1978 නොවැ. 01 ඇය මුල් පත්වීම් (ඒකාබද්ධ සේවයේ) ලැබූවේ බොරැල්ලේ රජයේ මුද්‍රණාලයට ය. (ඝාතනයට ලක් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ප්‍රේමචන්ද්‍ර සමඟ ඇය විවාහ විය)

1978 – 1980 එජාප ආණ්ඩුව රජයේ රැකියා පමණක් නොව අධ්‍යාපනයක් නොමැති ප්‍රජාව වෙත රැකියා ලබාදීමට මහ කොළඹ ආර්ථික කොමිසම හරහා දැවැන්ත වැඩසටහන් රැසක් බිහි කළේය. කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය (පසුව බියගම හා කොග්ගල) බිහිවන්නේ ඒ අනුවය.

අනෙක් පැත්තෙන් වානිජ්‍ය හා වෙළඳාම තුලින් ද, වරාය සංවර්ධනය තුලින් ද රැකියා ඇති කිරීම ආසියාවේ මුලින්ම ‘ආර්ථික විවෘත කළ රාජ්‍යයේ’ ප්‍රතිපත්තිය විය. සමූපකාරය හා ගමේ කඩේ වෙනුවට නව වෙළඳ පරම්පරාවක් එමගින් බිහිවිය.

තෙවැන්න, මහවැලි ව්‍යාපාරය හරහා ඇති කළ කෘෂිකාර්මික නවෝදයයි. නව ගොවි ජනපද ඇති කරමින්, පශු සම්පත් සංවර්ධන, ක්‍රීඩා (මහවැලි ක්‍රීඩාංගන), නගර (දෙහිඅත්තකණ්ඩිය, මහියංගනය) ප්‍රජා ගුවන්විදුලි ඇතුලු සියල්ල එයට ඇතුලත් විය. මහවැලිය ගොවි ජනපද ව්‍යාපාරයක් නොවී ආර්ථික/සංස්කෘතික විප්ලවක් වූයේය.

1978 දී යෞවන කටයුතු හා රැකී රක්ෂා අමාත්‍යාංශය බිහි වී අතර රනිල් වික්‍රමසිංහ එහි අමාත්‍යවරයා විය. ජාතික ආධුනක්ව මණ්ඩලය, තරුණ සේවා සභාව, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය ඇතුළු ආයතන කිහිපයක් එයට අයත් විය. තවත් සුන්දර තරුණයෙකු වූ ගාමිණී අතුකෝරල එහි නියෝජ්‍ය අමාත්‍යවරයා විය. ලේකම් පරිපාලන සේවයේ රත්නවීර ය. සහකාර ලේකම්වරයා ලෙස බර්නාඩ් ගුණතිලක (වත්මන් පාත්ෆයිඩර් සභාපති) ද කටයුතු කළේය.

ශ්‍රී ලංකා සැලසුම් සේවයේ බිහිවීම සහ නැගීම සිදු වූයේ ද, මේ යුග පරිවර්ථනය නිසාමය. මහවැලි ව්‍යාපෘතියට අලුතෙන් සිතා වැඩ කරන පිරිසක් අවශ්‍ය වූ බැවින් ‘සැලසුම් සේවය’ ට බර තැබීම ද එකල සිදුවිය.

අමාත්‍යාංශයේ කොටසක් ලෙස යෞවන රැකියා සැලසුම් අංශය (Youth Employment Planning Division) යෞවන රැකියා සැලසුම් අධ්‍යක්ෂ කරුණාසේන කොඩිතුවක්කු යටතේ පැවතුණි. උපාධිධාරි ස්ථාපන සේවය (Graduate placement service) බිහිවූයේ එහි ප්‍රතිඑලයක් ලෙසිනි. ඒ වන විට ලේකම් ධූරය දැරූවේ චරිත රත්වත්තේ ය.

රැකියා වැඩසටහනත්, අමාත්‍යාංශයත් ඉදිරියට ගෙන යන්නට ජාත්‍යන්තර අත්දැකීම් සහිත පුද්ගලයෙකු අමාත්‍යාංශයට අත්‍යවශ්‍ය විය. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරයෙකු වූ කරුණාසේන කොඩිතුවක්කු ඔස්ට්‍රෙිලියාවේ අධ්‍යාපනය නිම කර පෙරළා පැමිණ යෞවන රැකියා සැලසුම් අධ්‍යක්ෂ ලෙස කටයුතු කරමින් සිටියේය. රනිල් ට අවශ්‍ය වූයේ කොඩිතුවක්කු, යෞවන කටයුතු අමාත්‍යාංශයට දෙවැනියා කර ගැනීමට ය.

මේ වන විට රාජ්‍ය සේවයේ ධූරාවලිය වූයේ අමාත්‍යාංශ ලේකම් (ස්ථීර ලේකම්), ජ්‍යෙෂ්ඨ සහාකර ලේකම් සහ සහකාර ලේකම් ලෙසිනි. ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් තනතුර දෙපාර්තමේන්තු ප්‍රධාන තනතුරට සමාන විය. රනිල් ගේ අදහස වූයේ, පරිපාලන සේවයේ අත්දැකීම් නැති කොඩිතුවක්කු (ස්ථීර/ලොකු) ලේකම් කළ නොහැකිය. ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් තනතුර ඔහුට තරම් නැත. විකල්පය ලෙස ඇමති රනිල් වික්‍රමසිංහ යෝජනා කළේ ‘අතිරේක ලේකම්’ ධූරයක් ඇති කිරීමය. වේළාවක් වෙන්කර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ‍ ලේකම් ගොස්, එවකට රාජ්‍ය සේවයේ මහා බලවතා වූ ලේකම් ඩී.බී.අයි.පී.එස්. සිරිවර්ධන හමුවූයේ කරුණාසේන කොඩිතුවක්කු සහ තවත් අය සමගිනි.

‘අතිරේක ලේකම් ධූරයට කොඩිතුවක්කු පත් කරන විට පරිපාලන සේවයෙන් සිරිත් පරිදි සුළු විරෝධයක් එල්ල වූ නමුත්, එය වැඩ කලක් තිබුණේ නැත. ‘රාජ්‍ය සේවයේ පළමු අතිරේක ලේකම්වරයා’ ලෙස 1987 ජූලි 19 දින ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු කැබිනට් මණ්ඩල කාර්යාලයේ පත්වීම් ලිපියකින්, යෞවන කටයුතු හා රැකී රක්ෂා අමාත්‍යාංශයට පත්වන්නේ ඒ අනුවය. (එවකට අතිරේක ලේකම් ධූරයේ පත්වීම් බලධරයා කැබිනට් මණ්ඩලය විය හැකිය. නැතිනම්, මේ පත්වීම කැබිනට් තීරණයක් වන්නට ද ඉඩ ඇත.) ඔහුට එයට අමතරව දිගටම යෞවන රැකියා සැලසුම් අධ්‍යක්ෂ ලෙස ද කටයුතු කිරීම ද පැවරුණි. වර්ෂික වැටුප රු. 44,400 කින් ඇරඹුණි.

1963 දී ලංකා පරිපාලන සේවය ද, 1972 දී ශ්‍රී ලංකා පරිපාලන සේවය ද බවට පත් වූ රාජ්‍ය සේවයේ මුලික ව්‍යුහයට ‘අතිරේක ලේකම්’ තනතුර එකතු වූයේ එසේය.

(සටහන – හිටපු අම්පාර දිසාපතිවරයෙකු වූ මහනුවර බී.සී. උනන්තැන්න මහතා සහ හිටපු විභාග කොමසාරිස්වරයෙකු වූ එල්.එල්.කේ. ගුණතුංග මහතා ගේ පුතෙකු වූ බුද්ධි ගුණතුංග අතිරේක ලේකම් ධූරයට පත් වූ යේ ද, එසේ නම් එම දිනයන් සොයා ගැනීම පරිපාලන සේවයේ ඉතිහාසය ගැන උනන්දුවන පර්යේෂකයින්ගේ කාර්යයකි. පත්වීම් දිනය අනුව පළමුවැන්නා කවුරුන්ද යන්න සාක්ෂි සහිතව එවිට ලේඛන ගත කළ හැකිය. සාක්ෂි ඇතොත් කරුණාකර පහතින් සටහන් කරන්න)

වරලත් ගණකාධිකාරිවරයෙකු ද වූ, ගාමිණී වික්‍රමනායක (1974) රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විය. ආර්. පාස්කරලිංගම් (1972) බද්උදීන් මොහොමඩ් අමාත්‍යධූරය දැරූ සමයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ බලසම්පන්න ජෙෂ්ඨ සහකාර ලේකම් විය. ඔවුන් දෙදෙනා ‘අතිරේක ලේකම්වරු’ ලෙස කටයුතු කළ බවට රාජ්‍ය සේවයේ ඇති අදහස සත්‍ය නොවේ.

යෞවන කටයුතු හා රැකී රක්ෂා අමාත්‍යාංශය එක යුගයක, දක්ෂතම නිලධාරීන් ගෙන් පිරී තිබුණි. ජ්‍යෙ.ස.ලේ. හුළුගල්ල (ලක්ෂමන් හුළුගල්ල ගේ පියා), ‍ එම්.එච්.එච්. ආරියරත්න, ඩී.එල්. කුමාරදාස, පී.ජී. ලීලාරත්න, ආර්.එම්. අමරතුංග සහ එන්.ජී. පුංචිහේවා ඒ අතර විය. 1985 දී රාජ්‍ය සේවයට එක් වූ සමන් ඒකනායක එහි සහකාර ලේකම්වරයෙකු විය. මේ කණ්ඩායමේ සිටි ලලිත් වීරතුංග (2005) සහ සමන් ඒකනායක (2022) ජනාධිපති ලේකම්වරුන් බවට ද පත් වූහ.

එම යුගයේ අමාත්‍යාංශයේ පැවතියේ වෙනම වැඩ සංස්කෘතියකි. රත්වත්තේ නම විසින් ඇති කළ ‘රදළ ප්‍රභුත්වයක්’ තිබූ නමුත්, චරිත සෑම විටම මහපොළොව බැස සිටි මිනිසෙකු වූයේය. ඔහු රනිල් වික්‍රමසිංහ සහ ලලිත් වීරතුංග සමඟ යොවුන් පුරයේ බයිසික‍ල් පැද්දේය. මෙට්ටයක්, පැදුරක් දමා යොවුන්පුර කඳවුරුවල නිදාගත්තේය. ජයම්පති චරිත රත්වත්තේ සමීපතමයින් අතර JCR විය. චරිත රනිල් ගේ ක්ලාස්මේට් විය. JR ගේ විශ්වාසවන්තයා විය. පුදුමය නම් ආර්.ප්‍රේමදාසගේ ද ඉහළම විශ්වාසය දිනාගැනීමය. රනිල් ගේ මුහුණට ‘රනිල්’ යැයි කථා කළේ චරිත සහ මලික් සමරවික්‍රම පමණී.

ප්‍රේමදාස ගේ ‘ජනසවිය’ සුබ සාධන වැඩසටහනක් යැයි සලකා එයට සහාය දීම ලෝක බැංකුව අදි මදි කළේය. ප්‍රේමදාස ජනපතිවරයා ‘ජනතාව දිළිඳුකමින් මුදවා ගැන්නා වැඩපිළිවෙළකට බාධාවක් වන කිසිදු යෝජනාවකට එකඟ නොවන බව’ ලෝක බැංකුවට දැන්වීය. ලෝක බැංකුවේ සාකච්ඡා සඳහා ඔහු යැව්වේ, සුසිල් සිරිවර්ධන හා චරිත රත්වත්තේ ය. ජනසවියට ලෝක බැංකු සහාය ලැබුුණි.

අති විශාල මුදල් සම්භාරයක් සහිතව ‘ජනසවිය භාරකාර අරමුදල’ ඇරඹීමට ‍ලෝක බැංකුව එකඟ විය. එහි වගකීම ප්‍රේමදාස දුන්නේ රනිල් ගේ /ජේ.ආර්. ගේ විශ්වාසවන්තයා යැයි කියූ චරිත රත්වත්තේට ය. මුල්‍ය කටයුතු ගැන පරම පිරිසිදුභාවය බලාපොරොත්තු වූ ප්‍රේමදාස ජනසවිය සල්ලි ගස රකින්නට දුන්නේ තමන්ගේ එකෙකුට නොව වැඩකාරයෙකුට ය!

එවකට ක්‍රීඩා අමාත්‍යාංශය තිබුණේ කොටුවේ දේශීය ආදායම් ගොඩනැගිල්ලේ ය. උදේ පාන්දර ටොරින්ටන් කාර්යාලයට පාත් වන ලේකම් චරිත රත්වත්තේ ට එහි කාර්යාලයක් තිබුණේ නැත. ඔහු වැඩ කළේ — ලිඛිත හා වාචික නියෝග දුන්නේ, ලිපිකරුවෙකුගේ හෝ වෙනත් කෙනෙකුගේ පුටුවක් මේසයක සිටය. (ලක්ෂ්මන් ද අල්විස් ගේ ‘මලල ක්‍රීඩාවේ ලකී සලකුණ’ බලන්න)

1988 දී කරුණ‍ාසේන කොඩිතුවක්කු ‘අතිරේක ලේකම් ධූරයට සමුදී’ ජපානයේ ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කිරීමට පිටත්ව ගිය අතර, ‘අතිරේක ලේකම් ධූරය’ රාජ්‍ය සේවයට ඉතිරි විය.

-රජිත් කීර්ති තෙන්නකෝන්-

Social Sharing
අවකාශය නවතම