ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර විශ්වාසය කෙබඳුද? – මහාචාර්ය සේමසිංහ වන්නිනායක

මහාචාර්ය සේමසිංහ වන්නිනායක

– මහාචාර්ය සේමසිංහ වන්නිනායක –

වත්මන් රජ­යට පළමු අය වැයේදී දීර්ඝ කාලීන සංව­ර්ධ­නා­ත්මක අය­වැ­යක් ඉදි­රි­පත් කිරීම සඳහා අව­ස්ථා­වක් නොලැ­බුණු අතර, බල­යට පත්වන අව­ස්ථා­වේදී පැවති සංකීර්ණ ගැටලු සඳහා ආධාර ප්‍රති­පත්ති තීරණය කිරීම අය-වැය තුළින් සිදු විය. නමුත් 2026 වස­රේදී සංව­ර්ධ­නා­ත්මක අය වැයක් ගෙන ­ඒම සඳහා රජ­යට අව­කාශ පව­තියි.

වත්මන් ආර්ථික තත්ත්වය කතා කරද්දී, 2022 වස­රේදී මෙරටේ ඇති වූ ආර්ථික පරි­හා­නිය පිළි­බ­ඳව ද අව­ධා­නය යොමු කිරීම වැද­ගත්ය. මෙම අර්බුද අව­ස්ථාව වන විට රටක ආර්ථි­කයේ ක්‍රියා­කා­රි­ත්වය මනින මිනුම් දඬු අනුව ශ්‍රී ලංකාවේ ආර්ථි­කය ඉතා­මත් දුර්වල මට්ට­මක පැව­තුණි. නිද­සුන් ලෙස රටේ විදේශ සංචිත හිඟ­වීම, උද්ධ­ම­නය 70%කට වැඩි ප්‍රමා­ණ­ය­කින් ඉහළ යෑම, අත්‍ය­වශ්‍ය ‍ ආහාර ද්‍රව්‍ය, ඉන්ධන, ගෑස්, ඖෂධ, රසා­ය­නික පොහොර ආදිය හිඟ­වීම සහ ණය අර්බුද හේතු­වෙන් ඒවා ආන­ය­නය කිරී­මට නොහැ­කි­වීම දැක්විය හැකියි. මෙම කාල­ව­ක­වා­නු­වේදී ජාත්‍ය­න්තර ණය ශ්‍රේණි­ගත කිරීම් අනුව ශ්‍රී ලංකා­වට හිමි­වූයේ ඉතා පහළ මට්ට­මකි. නමුත්, අද වන විට ලෝක බැංකුව, ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල, ශ්‍රී ලංකා මහ බැංකුව, ජන හා සංඛ්‍යා­ලේ­ඛන දෙපා­ර්ත­මේ­න්තුව වැනි ආය­ත­න­යන්ගේ දත්ත සහ පුරෝ­ක­ථ­න­යන්ට අනුව මෙරට ආර්ථි­කය ප්‍රකෘති තත්ත්ව­යට පත්වෙ­මින් ඇති අතර ආර්ථි­කයේ කාර්ය සාධ­නය සැල­කිය යුතු මට්ට­ම­කට වැඩි දියුණු වී තිබේ. පසු­ගිය අවු­රුදු තුනක කාල­යට සාපේ­ක්ෂව දළ දේශීය නිෂ්පා­ද­නය වර්ධ­නය, විදේ­ශීය විනි­මය ඉපැ­යීම් ආදිය සැල­කිය යුතු මට්ට­මක පව­තියි. එමෙන්ම උද්ධ­ම­නය පහළ ගොස් තිබෙන අතර ඊට සම­ගා­මීව බැංකු පොලී අනු­පා­ත­යන්ද අවම වී තිබේ. ආර්ථික අර්බු­ද­ය­කට ලක්වූ අනෙක් රට­ව­ල්ව­ලට සාපේ­ක්ෂව ශ්‍රී ලංකාවේ ආර්ථි­කය වසර දෙක­හ­මා­ර­කට ආසන්න කාල­යක් තුළදී වේග­යෙන් ප්‍රකෘ­ති­යට පත්විය. නිද­සුන් ලෙස ග්‍රීසිය ආර්ථික වශ­යෙන් ප්‍රකෘ­ති­යට පත්වීම සඳහා වසර දොළ­හ­කට ආසන්න කාල­යක් ගත විය. ජාත්‍ය­න්තර ආය­තන පවා ශ්‍රී ලංකාවේ මෙකී ප්‍රව­ණ­තාව පැස­සු­මට ලක්කර තිබුණි.

ලෝක තත්ත්වය

1920 වසරේ අග භාගයේ සිට පැවති ලෝක ආර්ථික පරි­හා­නි­යත් සමඟ ලෝක ආර්ථි­කයේ ඇති වූ අර්බු­ද­කාරී තත්ත්ව­යන් නැවත ඇති­වීම වැළැ­ක්වීම සඳහා බ්‍රෙටන් වුඩ් සම්මු­තිය මඟින් ජාත්‍ය­න්තර ආය­තන ද්විත්ව­යක් පිහි­ටු­විය. ඒ ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සහ ලෝක බැංකු­වයි. මේ අතු­රින් ලෝක බැංකුවේ කාර්ය වන්නේ සාමා­ජික රට­වල් සඳහා සංව­ර්ධන ආධාර ලබා දීමයි. ජාත්‍ය­න්තර අර­මු­දල මඟින් සංව­ර්ධන ආධාර ලබා නොදෙන අතර අර්බු­ද­යට ලක් වූ ආර්ථි­ක­යන් සහිත රට­වල් නැවත ගොඩ­නැං­වීම සඳහා අවශ්‍ය මූල්‍ය සහ විශේ­ෂඥ සහ­යෝ­ගය ලබා­දීම මෙහි කාර්ය­භා­ර­යයි. අර්බු­ද­යට ලක්වූ රට­වල ආර්ථි­කය ප්‍රකෘ­ති­මත් කිරීම සඳහා අවශ්‍ය ජාත්‍ය­න්තර මූල්‍ය සහ­යෝ­ගී­තාව ප්‍රව­ර්ධ­නය කිරීම සඳහා ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල ක්‍රියා කරයි. එමෙන්ම ගෙවුම් ශේෂ අර්බු­ද­ව­ලට ලක් වූ රට­ව­ලට එම ගැටලු නිරා­ක­ර­ණය සඳහා උප­කාර කිරීම, අන්ත­ර්ජා­තික වෙ‍ෙළ­ඳාම ප්‍රව­ර්ධ­නය, විදේශ විනි­මය අනු­පා­ත­වල ස්ථාවර බව තහ­වුරු කිරී­මට උප­කාර කිරීම වැනි අර­මුණු ගණ­නා­වක් පෙර­දැ­රිව ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල පිහිටු වූ අතර රට­වල් එක­සිය අනූ එකක් මෙහි සාමා­ජි­ක­ත්වය දරයි. ආර්ථික අර්බු­දය පැවති කාල වක­වා­නු­වේදී මේ පිළි­බඳ අව­බෝ­ධ­යක් තිබූ විද්ව­තුන් එවක පැවැති රජය වෙත ආර්ථික අර්බු­දය විසඳා ගැනීම උදෙසා ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ සහ­යෝ­ගය ලබා ගන්නා ලෙස ඉල්ලීම් කළ ද, එව­කට සිටි බල­ධා­රීන් මේ සඳහා තමා­ගේම විස­ඳුම් ඇති බව පව­ස­මින් එහි සහ­යෝ­ගය ලබා ගැනීම ප්‍රමාද කළේය. 2023 වර්ෂ­යේදී ජන­පති ලෙස රනිල් වික්‍ර­ම­සිංහ මහතා පත්වී­මත් සමඟ ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ සහ­යෝ­ගය ලබා ගැනීම සඳහා කට­යුතු කළේය. ඒ අනුව ශ්‍රී ලංකාව ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සමඟ ගිවි­සු­ම­කට එළ­ඹුණි. එහිදී වසර හත­රක් පුරා දිවෙන යම් ප්‍රති­පත්ති රාමු­වක් සහිත වැඩ­පි­ළි­වෙ­ළක් ඉදි­රි­පත් කළ අතර එම වැඩ­පි­ළි­වෙළ සඳහා සමා­ලෝ­ච­න­යක් අනුව පිය­ව­රෙන් පිය­වර මූල්‍ය ආධාර ලබා දීම සිදු කළේය. පසු­ගිය දින­වල පැවැත්වූ පස්වන සමා­ලෝ­ච­නය මඟින් ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල විසින් මෙරට ආර්ථි­කය ප්‍රකෘති තත්ත්ව­යට පත්ව ඇති බවත්, වත්මන් රජය IMF ප්‍රති­පත්ති රාමුව තුළ කට­යුතු කරන බවත් පිළි­ගන්නා ලදි.

පසු­ගිය දශක දෙක­කට ආසන්න කාලය තුළ මෙරට ආර්ථික ක්‍රියා­කා­රී­ත්වය තුළ විශාල වැරදි ගණ­නා­වක් සිදු වූ අතර එම වැරදි නිවැ­රදි කිරීම IMF ප්‍රති­පත්ති රාමුව තුළින් සිදු විය. මීට පෙර පැවැති ආණ්ඩුව විසින්ද මෙම කොන්දේ­සි­ව­ලට අදා­ළව තිබූ එක­ඟ­තා­වන් ක්‍රියා­ත්මක කළේය. මේ හේතු­වෙන් 2024 වන විට 5%ක ආර්ථික වර්ධ­න­යක් අත්කර ගැනී­ම­ටත්, විදේශ සංචිත 6.5% දක්වා ඉහළ නැංවී­ම­ටත්, උද්ධ­ම­නය අවම කිරී­ම­ටත්, 25%ක්, 30%ක් වැනි මට්ට­මක පැවැති බැංකු පොලී අනු­පා­තය 12%, 13% මට්ට­මට ගෙන ඒම­ටත් හැකි විය. 2024 වස­රේදී බල­යට පත්වූ නව රජය විසින් ඉතා හොඳින් ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ ප්‍රති­පත්ති රාමුව අනුව කට­යුතු කිරීම හේතු­වෙන් 2025 වසර තුළදී ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල පුරෝ­ක­ථ­නය කළ ප්‍රමා­ණ­ය­ටත් වඩා වැඩි සාර්ථ­ක­ත්ව­යක් අත්කර ගැනී­මට හැකිව තිබේ. ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල මඟින් සැම­වි­ටම පෙන්වා දුන්නේ මෙරට රාජ්‍ය මූල්‍ය ප්‍රති­ප­ත්තීන්හි අකා­ර්ය­ක්ෂ­ම­තාව අවම කළ යුතු බවයි. 2022 වර්ෂ­යේදී රජයේ අකා­ර්ය­ක්ෂම බදු ප්‍රති­ප­ත්තිය සහ බදු කළ­ම­නා­ක­ර­ණය හේතු­වෙන් දළ දේශීය නිෂ්පා­දි­තය 8%ක් වැනි අවම මට්ට­මක පැව­තුණි.

රාජ්‍ය ආදායම වැඩිවීම

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල විසින් බදු අය කිරීම පිළි­බඳ රාමු­වක් ලබා දුන් අතර 2025 වන විට රජයේ ආදා­යම දළ දේශීය නිෂ්පා­දි­තය 15%ක මට්ට­ම­කට පත් කළ යුතු බව අව­ධා­ර­ණය කළේය. එමෙන්ම ප්‍රාථ­මික අය­වැයේ ප්‍රාථ­මික ගිණුමේ 2.3%ක අති­රි­ක්ත­යක් පවත්වා ගැනීම, උප­යෝ­ගිතා සේවා­ව­න්වල පිරි­වැ­යට ගැළ­පෙන ලෙස මිලක් නියම කිරීම වැනි යෝජ­නා­වන් ද අර­මු­දල මඟින් ඉදි­රි­පත් කළේය. මීට පෙර උප­යෝ­ගීතා සේවා­වන් සහන මිලට ලබා දීම සිදු කළ ද මේවා භාණ්ඩා­ගා­ර­යෙන් යැපෙන තත්ත්ව­යෙන් මුදා­ගෙන පිරි­වැ­යට සරි­ලන මිලක් අය කළ යුතු බව අර­මු­දල මඟින් පෙන්වා දුන් අතර වත්මන් ආණ්ඩුව මේ සඳහා කට­යුතු කරන ආකා­රය දැක ගත හැකිය. ආර්ථික ප්‍රකෘ­ති­යට IMFහි පැවැති අනෙ­කුත් කොන්දේ­සිද හේතු වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන ආය­ත­න­යක් බවට පත්කි­රීම ඉන් එකකි. මුල් කාල­යේදී මහ බැංකුව රජයේ අව­ශ්‍යතා අනුව තීරණ ගත් නමුත් වර්ත­මා­න­යේදී එය ස්වාධීන ලෙස ක්‍රියා­ත්මක වේ. මුල් කාලයේ අය-වැය හිඟය පිය­වීම සඳහා මූල්‍ය පහ­සු­කම් සැප­යීම මහ බැංකුවේ කාර්ය­යක් වුවද අද වන විට මහ බැංකු­වට එවැනි හැකි­යා­වක් නොමැත. IMF කොන්දේසි අනුව 2027 වර්ෂ­යේදී නැවත ණය ආපසු ගෙවීම සිදු කළ යුතු අතර අද වන විට දේශීය ණය ප්‍රති­ව්‍යු­හ­ගත කිරීම සහ ජාත්‍ය­න්තර ණය යම් ප්‍රමා­ණ­ය­කට ප්‍රති­ව්‍යු­හ­ගත කිරී­මට අපට හැකි­යාව ලැබී තිබේ. ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ මෙවැනි කොන්දේසි, ප්‍රති­පත්ති මෙරට ආර්ථි­කය යළි ප්‍රකෘ­ති­යට පත්වීම සඳහා විශාල හේතු­වක් විය. එමෙන්ම ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල මැදි­හත් වීම තුළින් ජාත්‍ය­න්තර ප්‍රජාව තුළ ශ්‍රී ලංකාව පිළි­බඳ පැවති විශ්වා­ස­යද සාධ­නීය ලෙස ගොඩ­නැ­ඟෙ­මින් පව­තියි.

ප්‍රකෘති තත්ත්ව­යට

ආර්ථි­කය ප්‍රකෘති තත්ත්ව­යට පත්වෙ­මින් තිබුණ ද අපේ රට ආර්ථික අර්බු­ද­යට පත්වී­මට පෙර තිබූ මට්ට­මට තව­මත් පත්ව නොමැත. ආර්ථික ප්‍රකෘ­තියේ විභ­ව­තා­වට සරි­ලන ප්‍රග­ති­යක් තවම අත්පත් කර­ගෙන නොමැත. ඒ සඳහා විවිධ හේතු සාධක පව­තියි. ඒ සඳහා ප්‍රධා­න­තම හේතු­වක් වී ඇත්තේ ආර්ථික ව්‍යුහයේ ඇති යම් යම් අකා­ර්ය­ක්ෂ­ම­තා­වන්ය. ආර්ථික වෘද්ධියේ ප්‍රති­ලාභ ජන­තාව වෙත තව­මත් නිසි ලෙස නොලැ­බීම හේතු­වෙන් දරි­ද්‍ර­තාව ඉහළ මට්ට­මක පැව­තීම වැනි ගැට­ලු­කාරී තත්ත්ව­යන් දැක ගත හැකිය. එමෙන්ම තවත් ගැට­ලු­වක් වන්නේ ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ කොන්දේ­සි­ව­ලට ප්‍රමා­ණ­වත් වන පරිදි හෝ මෙරට අව­ශ්‍ය­තා­වන්ට ප්‍රමා­ණ­වත් වන පරිදි විදේශ සංචිත ප්‍රමා­ණය වර්ධ­නය වී නොමැති වීමයි. වර්ත­මා­න­යේදී ඩොලර් බිලි­යන 6.1ක පමණ විදේශ සංචිත ප්‍රමා­ණ­යක් මෙරට සතුව පැව­ති­යද ඉන් වැය කළ හැක්කේ ඩොලර් බිලි­යන 4.5ක පමණ ප්‍රමා­ණ­යක් පමණි. 2027 වස­රේදී ණය ගෙවීම් ආරම්භ කිරී­මට ඇති බැවින් 2027 වසර අව­සා­න­යේදී විදේශ සංචිත ඩොලර් බිලි­යන 13කට වඩා වැඩි ප්‍රමා­ණ­යක් ඉපැ­යිය යුතුය.

වත්මන් රජ­යට පළමු අයවැයේදී දීර්ඝ කාලීන සංව­ර්ධ­නා­ත්මක අය­වැ­යක් ඉදි­රි­පත් කිරීම සඳහා අව­ස්ථා­වක් නොලැ­බුණු අතර, බල­යට පත්වන අව­ස්ථා­වේදී පැවති සංකීර්ණ ගැටලු සඳහා ආධාර ප්‍රති­පත්ති තීර­ණය කිරීම අය-වැය තුළින් සිදු විය. නමුත් 2026 වස­රේදී සංව­ර්ධ­නා­ත්මක අයවැයක් ගෙන­ ඒම සඳහා රජ­යට අව­කාශ පව­තියි. ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ පරා­මි­තීන්ට අදාළ වන ලෙස රජය මඟින් 2026 වසරේ අය-වැය ඉදි­රි­පත් කළ යුතු අතර එය එම අර­මු­දලේ කොන්දේ­සි­යකි. ආර්ථික වර්ධ­නය වේග­වත් කිරීම සහ ආර්ථික සංව­ර්ධ­නයේ ප්‍රති­ලාභ පහළ මට්ට­මට ගෙන යන ආකා­රයේ වැඩ­පි­ළි­වෙ­ළක් රජය විසින් මෙවර අය-වැය මඟින් ඉදි­රි­පත් කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. දරි­ද්‍ර­තා­වට පත්වූ පුද්ග­ල­යන් සඳහා සහන සැල­සීම අත්‍ය­වශ්‍ය වන අතර රජය ඒ සඳහා ශක්ති­මත් වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කළ යුතුය. පෞද්ග­ලික අංශය නාය­ක­ත්වය දෙන ආර්ථික වෘද්ධි­ය­කට අවශ්‍ය කරන ප්‍රති­සං­ස්ක­රණ අය-වැය තුළ ඇතු­ළත් විය යුතුය. රජය ව්‍යාපාර නොකළ යුතු බව මෑත­කදී ජනා­ධි­ප­ති­තු­මන් විසින් අව­ධා­ර­ණය කළ අතර එය ඉතා ප්‍රශං­ස­නී­යය. මෙය වර්ත­මා­න­යේදී ලෝකය පිළි­ගත් සිද්ධා­න්ත­යක්ද වේ. ඒ සඳහා රජය විසින් පෞද්ග­ලික අංශ­යට අවශ්‍ය පහ­සු­කම් සැප­යිය යුතුය. රජය සියලු කාර්ය­ය­න්ගෙන් ඉවත්ව පෞද්ග­ලික අංශ­යට සියල්ල පැව­රී­මක් ඉන් අද­හස් නොවන අතර රාජ්‍ය පෞද්ග­ලික යන අංශ ද්විත්ව­යෙ­හිම එක­තු­වෙන් ආර්ථික කට­යුතු මෙහෙ­ය­විය යුතුය.

ආයෝ­ජන දිරි­මත් කිරීම

තවද රජ­යට ආර්ථික ක්‍රියා­ව­ලිය සඳහා ආයෝ­ජන කිරී­මට හැකි­යා­වක් නොමැත. එබැ­වින් දේශීය සහ විදේ­ශීය පෞද්ග­ලික ආයෝ­ජන දිරි­මත් කිරීම මෙහිදී වැද­ගත්ය. තවද ඍජු විදේශ ආයෝ­ජන දිරි­මත් කිරීම සඳහා වැඩ­පි­ළි­වෙ­ළක් අව­ශ්‍යය. ඍජු විදේශ ආයෝ­ජන යනු මූල්‍ය ප්‍රවා­හ­යක් පම­ණක් නොව, ඒ සම­ඟම තාක්ෂ­ණික සේවා ප්‍රවා­හ­යක් සහ වෙළෙ­ඳ­පො­ළක්ද ලැබේ. මෙරට ඇති නිල­ධා­රී­වා­දය සමඟ ආයෝ­ජ­ක­යින්ට ව්‍යාපාර ආරම්භ කිරී­මට පහ­සු­කම් නොමැති අතර වංචා, දූෂණ, ආයෝ­ජන සඳහා අව­සර ගැනී­මට දීර්ඝ කාල­යක් ගත වීම වැනි විවිධ දුෂ්ක­රතා පව­තියි. එබැ­වින් රජය මඟින් ඒ සඳහා තිර­සර වැඩ­පි­ළි­වෙ­ළක් සකස් කළ යුතුය.

තවද ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ කොන්දේ­සි­යක් වන රජයේ බදු පරි­පා­ල­නය නවී­ක­ර­ණය කළ යුතුය. මෙරට බදු ගෙවීම පහළ මට්ට­මක පැව­තී­මට හේතුව වන්නේ බදු පරි­පා­ල­නය කිරීමේ දුර්ව­ල­තාව, බදු අනු­කූ­ල­තාව පහළ මට්ට­මක පැව­තී­මයි. එමෙන්ම මෙරට ආර්ථික වර්ධ­න­යට ඇති තවත් බාධ­ක­යක් වන්නේ ඉඩම් පරි­පා­ල­නය නම්‍ය­ශීලී නොවී­මයි. මෙරට ඉඩම් පිළි­බඳ වූ නීති­මය තත්ත්ව­යන් සමඟ දේශීය සහ පෞද්ග­ලික ආයෝ­ජන සඳහා ඉඩම් ලබා­දී­මේදී ගැට­ලු­කාරී තත්ත්ව­යන් උද්ගත වේ. තවද වර්ත­මා­න­යට ගැළ­පෙන පරිදි කම්කරු නීති සකස් කර­මින් ශ්‍රම වෙ‍ෙළ­ඳ­පො­ළෙහි ඇති දුර්ව­ලතා අවම කිරීම, රාජ්‍ය අංශ­යන් කාර්ය­ක්ෂම කිරී­මට කට­යුතු කිරීම, දේශීය කෘෂි­ක­ර්මා­න්තය සංව­ර්ධ­නය කිරීම වැනි ක්‍රියා­මාර්ග ඔස්සේ වත්මන් රජ­යට මෙරට ආර්ථි­කය තව­දු­ර­ටත් සංව­ර්ධ­නය කිරීම සඳහා අව­කාශ සැලසේ.

-ඉන්දී­වරී පෙරේරා-

https://www.dinamina.lk
Social Sharing
අවකාශය නවතම විශේෂාංග