
– මහාචාර්ය සේමසිංහ වන්නිනායක –
වත්මන් රජයට පළමු අය වැයේදී දීර්ඝ කාලීන සංවර්ධනාත්මක අයවැයක් ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාවක් නොලැබුණු අතර, බලයට පත්වන අවස්ථාවේදී පැවති සංකීර්ණ ගැටලු සඳහා ආධාර ප්‍රතිපත්ති තීරණය කිරීම අය-වැය තුළින් සිදු විය. නමුත් 2026 වසරේදී සංවර්ධනාත්මක අය වැයක් ගෙන ඒම සඳහා රජයට අවකාශ පවතියි.
වත්මන් ආර්ථික තත්ත්වය කතා කරද්දී, 2022 වසරේදී මෙරටේ ඇති වූ ආර්ථික පරිහානිය පිළිබඳව ද අවධානය යොමු කිරීම වැදගත්ය. මෙම අර්බුද අවස්ථාව වන විට රටක ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය මනින මිනුම් දඬු අනුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉතාමත් දුර්වල මට්ටමක පැවතුණි. නිදසුන් ලෙස රටේ විදේශ සංචිත හිඟවීම, උද්ධමනය 70%කට වැඩි ප්‍රමාණයකින් ඉහළ යෑම, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඉන්ධන, ගෑස්, ඖෂධ, රසායනික පොහොර ආදිය හිඟවීම සහ ණය අර්බුද හේතුවෙන් ඒවා ආනයනය කිරීමට නොහැකිවීම දැක්විය හැකියි. මෙම කාලවකවානුවේදී ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවට හිමිවූයේ ඉතා පහළ මට්ටමකි. නමුත්, අද වන විට ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ශ්‍රී ලංකා මහ බැංකුව, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැනි ආයතනයන්ගේ දත්ත සහ පුරෝකථනයන්ට අනුව මෙරට ආර්ථිකය ප්‍රකෘති තත්ත්වයට පත්වෙමින් ඇති අතර ආර්ථිකයේ කාර්ය සාධනය සැලකිය යුතු මට්ටමකට වැඩි දියුණු වී තිබේ. පසුගිය අවුරුදු තුනක කාලයට සාපේක්ෂව දළ දේශීය නිෂ්පාදනය වර්ධනය, විදේශීය විනිමය ඉපැයීම් ආදිය සැලකිය යුතු මට්ටමක පවතියි. එමෙන්ම උද්ධමනය පහළ ගොස් තිබෙන අතර ඊට සමගාමීව බැංකු පොලී අනුපාතයන්ද අවම වී තිබේ. ආර්ථික අර්බුදයකට ලක්වූ අනෙක් රටවල්වලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ආර්ථිකය වසර දෙකහමාරකට ආසන්න කාලයක් තුළදී වේගයෙන් ප්‍රකෘතියට පත්විය. නිදසුන් ලෙස ග්‍රීසිය ආර්ථික වශයෙන් ප්‍රකෘතියට පත්වීම සඳහා වසර දොළහකට ආසන්න කාලයක් ගත විය. ජාත්‍යන්තර ආයතන පවා ශ්‍රී ලංකාවේ මෙකී ප්‍රවණතාව පැසසුමට ලක්කර තිබුණි.
ලෝක තත්ත්වය
1920 වසරේ අග භාගයේ සිට පැවති ලෝක ආර්ථික පරිහානියත් සමඟ ලෝක ආර්ථිකයේ ඇති වූ අර්බුදකාරී තත්ත්වයන් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා බ්‍රෙටන් වුඩ් සම්මුතිය මඟින් ජාත්‍යන්තර ආයතන ද්විත්වයක් පිහිටුවිය. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවයි. මේ අතුරින් ලෝක බැංකුවේ කාර්ය වන්නේ සාමාජික රටවල් සඳහා සංවර්ධන ආධාර ලබා දීමයි. ජාත්‍යන්තර අරමුදල මඟින් සංවර්ධන ආධාර ලබා නොදෙන අතර අර්බුදයට ලක් වූ ආර්ථිකයන් සහිත රටවල් නැවත ගොඩනැංවීම සඳහා අවශ්‍ය මූල්‍ය සහ විශේෂඥ සහයෝගය ලබාදීම මෙහි කාර්යභාරයයි. අර්බුදයට ලක්වූ රටවල ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා අවශ්‍ය ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ක්‍රියා කරයි. එමෙන්ම ගෙවුම් ශේෂ අර්බුදවලට ලක් වූ රටවලට එම ගැටලු නිරාකරණය සඳහා උපකාර කිරීම, අන්තර්ජාතික වෙෙළඳාම ප්‍රවර්ධනය, විදේශ විනිමය අනුපාතවල ස්ථාවර බව තහවුරු කිරීමට උපකාර කිරීම වැනි අරමුණු ගණනාවක් පෙරදැරිව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිහිටු වූ අතර රටවල් එකසිය අනූ එකක් මෙහි සාමාජිකත්වය දරයි. ආර්ථික අර්බුදය පැවති කාල වකවානුවේදී මේ පිළිබඳ අවබෝධයක් තිබූ විද්වතුන් එවක පැවැති රජය වෙත ආර්ථික අර්බුදය විසඳා ගැනීම උදෙසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගන්නා ලෙස ඉල්ලීම් කළ ද, එවකට සිටි බලධාරීන් මේ සඳහා තමාගේම විසඳුම් ඇති බව පවසමින් එහි සහයෝගය ලබා ගැනීම ප්‍රමාද කළේය. 2023 වර්ෂයේදී ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වීමත් සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීම සඳහා කටයුතු කළේය. ඒ අනුව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමකට එළඹුණි. එහිදී වසර හතරක් පුරා දිවෙන යම් ප්‍රතිපත්ති රාමුවක් සහිත වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ අතර එම වැඩපිළිවෙළ සඳහා සමාලෝචනයක් අනුව පියවරෙන් පියවර මූල්‍ය ආධාර ලබා දීම සිදු කළේය. පසුගිය දිනවල පැවැත්වූ පස්වන සමාලෝචනය මඟින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරට ආර්ථිකය ප්‍රකෘති තත්ත්වයට පත්ව ඇති බවත්, වත්මන් රජය IMF ප්‍රතිපත්ති රාමුව තුළ කටයුතු කරන බවත් පිළිගන්නා ලදි.
පසුගිය දශක දෙකකට ආසන්න කාලය තුළ මෙරට ආර්ථික ක්‍රියාකාරීත්වය තුළ විශාල වැරදි ගණනාවක් සිදු වූ අතර එම වැරදි නිවැරදි කිරීම IMF ප්‍රතිපත්ති රාමුව තුළින් සිදු විය. මීට පෙර පැවැති ආණ්ඩුව විසින්ද මෙම කොන්දේසිවලට අදාළව තිබූ එකඟතාවන් ක්‍රියාත්මක කළේය. මේ හේතුවෙන් 2024 වන විට 5%ක ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමටත්, විදේශ සංචිත 6.5% දක්වා ඉහළ නැංවීමටත්, උද්ධමනය අවම කිරීමටත්, 25%ක්, 30%ක් වැනි මට්ටමක පැවැති බැංකු පොලී අනුපාතය 12%, 13% මට්ටමට ගෙන ඒමටත් හැකි විය. 2024 වසරේදී බලයට පත්වූ නව රජය විසින් ඉතා හොඳින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති රාමුව අනුව කටයුතු කිරීම හේතුවෙන් 2025 වසර තුළදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කළ ප්‍රමාණයටත් වඩා වැඩි සාර්ථකත්වයක් අත්කර ගැනීමට හැකිව තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් සැමවිටම පෙන්වා දුන්නේ මෙරට රාජ්‍ය මූල්‍ය ප්රතිපත්තීන්හි අකාර්යක්ෂමතාව අවම කළ යුතු බවයි. 2022 වර්ෂයේදී රජයේ අකාර්යක්ෂම බදු ප්‍රතිපත්තිය සහ බදු කළමනාකරණය හේතුවෙන් දළ දේශීය නිෂ්පාදිතය 8%ක් වැනි අවම මට්ටමක පැවතුණි.
රාජ්‍ය ආදායම වැඩිවීම
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් බදු අය කිරීම පිළිබඳ රාමුවක් ලබා දුන් අතර 2025 වන විට රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතය 15%ක මට්ටමකට පත් කළ යුතු බව අවධාරණය කළේය. එමෙන්ම ප්‍රාථමික අයවැයේ ප්‍රාථමික ගිණුමේ 2.3%ක අතිරික්තයක් පවත්වා ගැනීම, උපයෝගිතා සේවාවන්වල පිරිවැයට ගැළපෙන ලෙස මිලක් නියම කිරීම වැනි යෝජනාවන් ද අරමුදල මඟින් ඉදිරිපත් කළේය. මීට පෙර උපයෝගීතා සේවාවන් සහන මිලට ලබා දීම සිදු කළ ද මේවා භාණ්ඩාගාරයෙන් යැපෙන තත්ත්වයෙන් මුදාගෙන පිරිවැයට සරිලන මිලක් අය කළ යුතු බව අරමුදල මඟින් පෙන්වා දුන් අතර වත්මන් ආණ්ඩුව මේ සඳහා කටයුතු කරන ආකාරය දැක ගත හැකිය. ආර්ථික ප්‍රකෘතියට IMFහි පැවැති අනෙකුත් කොන්දේසිද හේතු වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන ආයතනයක් බවට පත්කිරීම ඉන් එකකි. මුල් කාලයේදී මහ බැංකුව රජයේ අවශ්‍යතා අනුව තීරණ ගත් නමුත් වර්තමානයේදී එය ස්වාධීන ලෙස ක්‍රියාත්මක වේ. මුල් කාලයේ අය-වැය හිඟය පියවීම සඳහා මූල්‍ය පහසුකම් සැපයීම මහ බැංකුවේ කාර්යයක් වුවද අද වන විට මහ බැංකුවට එවැනි හැකියාවක් නොමැත. IMF කොන්දේසි අනුව 2027 වර්ෂයේදී නැවත ණය ආපසු ගෙවීම සිදු කළ යුතු අතර අද වන විට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ජාත්‍යන්තර ණය යම් ප්‍රමාණයකට ප්‍රතිව්‍යුහගත කිරීමට අපට හැකියාව ලැබී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙවැනි කොන්දේසි, ප්‍රතිපත්ති මෙරට ආර්ථිකය යළි ප්‍රකෘතියට පත්වීම සඳහා විශාල හේතුවක් විය. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැදිහත් වීම තුළින් ජාත්‍යන්තර ප්‍රජාව තුළ ශ්‍රී ලංකාව පිළිබඳ පැවති විශ්වාසයද සාධනීය ලෙස ගොඩනැඟෙමින් පවතියි.
ප්‍රකෘති තත්ත්වයට
ආර්ථිකය ප්‍රකෘති තත්ත්වයට පත්වෙමින් තිබුණ ද අපේ රට ආර්ථික අර්බුදයට පත්වීමට පෙර තිබූ මට්ටමට තවමත් පත්ව නොමැත. ආර්ථික ප්රකෘතියේ විභවතාවට සරිලන ප්‍රගතියක් තවම අත්පත් කරගෙන නොමැත. ඒ සඳහා විවිධ හේතු සාධක පවතියි. ඒ සඳහා ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ ආර්ථික ව්‍යුහයේ ඇති යම් යම් අකාර්යක්ෂමතාවන්ය. ආර්ථික වෘද්ධියේ ප්රතිලාභ ජනතාව වෙත තවමත් නිසි ලෙස නොලැබීම හේතුවෙන් දරිද්‍රතාව ඉහළ මට්ටමක පැවතීම වැනි ගැටලුකාරී තත්ත්වයන් දැක ගත හැකිය. එමෙන්ම තවත් ගැටලුවක් වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට ප්‍රමාණවත් වන පරිදි හෝ මෙරට අවශ්‍යතාවන්ට ප්‍රමාණවත් වන පරිදි විදේශ සංචිත ප්‍රමාණය වර්ධනය වී නොමැති වීමයි. වර්තමානයේදී ඩොලර් බිලියන 6.1ක පමණ විදේශ සංචිත ප්‍රමාණයක් මෙරට සතුව පැවතියද ඉන් වැය කළ හැක්කේ ඩොලර් බිලියන 4.5ක පමණ ප්‍රමාණයක් පමණි. 2027 වසරේදී ණය ගෙවීම් ආරම්භ කිරීමට ඇති බැවින් 2027 වසර අවසානයේදී විදේශ සංචිත ඩොලර් බිලියන 13කට වඩා වැඩි ප්‍රමාණයක් ඉපැයිය යුතුය.
වත්මන් රජයට පළමු අයවැයේදී දීර්ඝ කාලීන සංවර්ධනාත්මක අයවැයක් ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාවක් නොලැබුණු අතර, බලයට පත්වන අවස්ථාවේදී පැවති සංකීර්ණ ගැටලු සඳහා ආධාර ප්‍රතිපත්ති තීරණය කිරීම අය-වැය තුළින් සිදු විය. නමුත් 2026 වසරේදී සංවර්ධනාත්මක අයවැයක් ගෙන ඒම සඳහා රජයට අවකාශ පවතියි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පරාමිතීන්ට අදාළ වන ලෙස රජය මඟින් 2026 වසරේ අය-වැය ඉදිරිපත් කළ යුතු අතර එය එම අරමුදලේ කොන්දේසියකි. ආර්ථික වර්ධනය වේගවත් කිරීම සහ ආර්ථික සංවර්ධනයේ ප්රතිලාභ පහළ මට්ටමට ගෙන යන ආකාරයේ වැඩපිළිවෙළක් රජය විසින් මෙවර අය-වැය මඟින් ඉදිරිපත් කිරීම බෙහෙවින් වැදගත්ය. දරිද්‍රතාවට පත්වූ පුද්ගලයන් සඳහා සහන සැලසීම අත්‍යවශ්‍ය වන අතර රජය ඒ සඳහා ශක්තිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය. පෞද්ගලික අංශය නායකත්වය දෙන ආර්ථික වෘද්ධියකට අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණ අය-වැය තුළ ඇතුළත් විය යුතුය. රජය ව්‍යාපාර නොකළ යුතු බව මෑතකදී ජනාධිපතිතුමන් විසින් අවධාරණය කළ අතර එය ඉතා ප්‍රශංසනීයය. මෙය වර්තමානයේදී ලෝකය පිළිගත් සිද්ධාන්තයක්ද වේ. ඒ සඳහා රජය විසින් පෞද්ගලික අංශයට අවශ්‍ය පහසුකම් සැපයිය යුතුය. රජය සියලු කාර්යයන්ගෙන් ඉවත්ව පෞද්ගලික අංශයට සියල්ල පැවරීමක් ඉන් අදහස් නොවන අතර රාජ්‍ය පෞද්ගලික යන අංශ ද්විත්වයෙහිම එකතුවෙන් ආර්ථික කටයුතු මෙහෙයවිය යුතුය.
ආයෝජන දිරිමත් කිරීම
තවද රජයට ආර්ථික ක්‍රියාවලිය සඳහා ආයෝජන කිරීමට හැකියාවක් නොමැත. එබැවින් දේශීය සහ විදේශීය පෞද්ගලික ආයෝජන දිරිමත් කිරීම මෙහිදී වැදගත්ය. තවද ඍජු විදේශ ආයෝජන දිරිමත් කිරීම සඳහා වැඩපිළිවෙළක් අවශ්‍යය. ඍජු විදේශ ආයෝජන යනු මූල්‍ය ප්‍රවාහයක් පමණක් නොව, ඒ සමඟම තාක්ෂණික සේවා ප්‍රවාහයක් සහ වෙළෙඳපොළක්ද ලැබේ. මෙරට ඇති නිලධාරීවාදය සමඟ ආයෝජකයින්ට ව්‍යාපාර ආරම්භ කිරීමට පහසුකම් නොමැති අතර වංචා, දූෂණ, ආයෝජන සඳහා අවසර ගැනීමට දීර්ඝ කාලයක් ගත වීම වැනි විවිධ දුෂ්කරතා පවතියි. එබැවින් රජය මඟින් ඒ සඳහා තිරසර වැඩපිළිවෙළක් සකස් කළ යුතුය.
තවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසියක් වන රජයේ බදු පරිපාලනය නවීකරණය කළ යුතුය. මෙරට බදු ගෙවීම පහළ මට්ටමක පැවතීමට හේතුව වන්නේ බදු පරිපාලනය කිරීමේ දුර්වලතාව, බදු අනුකූලතාව පහළ මට්ටමක පැවතීමයි. එමෙන්ම මෙරට ආර්ථික වර්ධනයට ඇති තවත් බාධකයක් වන්නේ ඉඩම් පරිපාලනය නම්‍යශීලී නොවීමයි. මෙරට ඉඩම් පිළිබඳ වූ නීතිමය තත්ත්වයන් සමඟ දේශීය සහ පෞද්ගලික ආයෝජන සඳහා ඉඩම් ලබාදීමේදී ගැටලුකාරී තත්ත්වයන් උද්ගත වේ. තවද වර්තමානයට ගැළපෙන පරිදි කම්කරු නීති සකස් කරමින් ශ්‍රම වෙෙළඳපොළෙහි ඇති දුර්වලතා අවම කිරීම, රාජ්‍ය අංශයන් කාර්යක්ෂම කිරීමට කටයුතු කිරීම, දේශීය කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීම වැනි ක්‍රියාමාර්ග ඔස්සේ වත්මන් රජයට මෙරට ආර්ථිකය තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා අවකාශ සැලසේ.
