
-ගයාන් සූරිය ආරච්චි-
මේ වසරේ මුල් මාස හතක කාලය තුළ මෙරට අවුරුදු 16ට අඩු බාලවයස්කාර දැරියන් 1344 දෙනකු දූෂණයට ලක්වී ඇතැයි කාන්තා නා ළමා කාර්යාංශය පවසයි. දූෂණයට ලක්වූ එම දැරියන් අතරින් වැඩීම පිරිසක් දකුණු පළාතෙන් වාර්තාවී ඇති අතර, දෙවැනි තැනට වැඩිම දැරියන් පිරිසක් දූෂණයට ලක්ව ඇත්තේ වයඹ පළාතෙන් බව ද කාර්යාංශය කියයි.
පසුගිය 2024 වසරේදී දකුණු පළාතේ බාල වයස්කාර දැරියන් 189 දෙනෙකු දූෂණයට ලක්වී තිබූ අතර, එම වසරට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස හතේදී දකුණු පළාතේ බාල වයස්කාර දැරියන් දූෂණයට ලක්වීමේ පැහැදිලි වර්ධනයක් දැකිය හැකි බවද කාර්යාංශය කියයි.
මේ වසරේ මුල් මාස හතේදී දූෂණයට ලක්වූ බාලවයස්කාර දැරියන් දකුණු පළාතෙන් 20 දෙනෙකුද වයඹ පළාතෙන් 191 දෙනකුද, බස්නාහිර පළාතෙන් 186 දෙනකුද, ඌව පළාතෙන් 173 දෙනකුද, සබරගමුව පළාතෙන් 144 දෙනකුද, නැගෙනහිර පළාතෙන් 88 දෙනකුද, මධ්‍යම පළාතෙන් 77 දෙනකුද සහ උතුරු පළාතෙන් 74 දෙනක්ද ආදී වශයෙන් වාර්තාවන බවද එම කාර්යාංශය කියයි.
මීට අමතරව තවත් දැරියන් 106 ක් ළමා හා කාන්තා කාර්යාංශයටත් ළමා අධිකාරියට එක් දැරියක් ද වාර්තා වී ඇතැයි ද එම කාර්යාංශය සඳහන් කරයි. 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනතට අනුව කාන්තා හා ළමා කාර්යාංශය දුන් තොරතුරු අනුව මෙම කරුණු අනාවරණය විය.
අවුරුදු 16 ත් 18 ක් වයස්වල පසුවන දැරියන් 59 දෙනෙක්ද ඉකුත් මාස හතේ දී දූෂණයට ලක්ව ඇති බවද එම කාර්යාංශය කියයි.
පසුගිය 2024 වසරේ දූෂණයට ලක් වූ බාලවයස්කාර දැරියන් බස්නාහිර පළාතෙන් 282 දෙනෙකු, උතුරුමැද පළාතෙන් 221 දෙනෙකු, වයඹ පළාතෙන් 201 දෙනකු, දකුණු පළාතෙන් 189 දෙනකු, නැගෙන හිර පළාතෙන් 168 දෙනෙකු, මධ්‍යම පළාතෙන් 159 දෙනකු, සබරගමුව පළාතෙන් 154 දෙනකු ලෙස වාර්තා වී තිබිණි.
ළමා හා කාන්තා කාර්යාංශයට දැරියන් හත් දෙනෙකු සහ ළමා අධිකාරියට එක් දැරියක් ද වාර්තාවී තිබිණි. පසුගිය 2024 වසරේ වයස අවුරුදු 16 ක් 18 ක් වයස්වල පසුවන දැරියන් 61 දෙනෙක් ද දුෂණයට ලක්ව ඇත.
