ක්‍රිකට් ක්‍රීඩාවට වෛරයේ කළු පැල්ලම් එකතු කරන ඉන්දියාව!

Asia Cup 2025 ind vs pak

2025 ආසියා කුසලාන තරගාඟාවලියේ මූලික වටයේ තරගයකදි ඊයේ (14/09/2025) ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදි ඉන්දියාව සහ පකිස්ථානය තරග වැදුණි.
විදුලි ආලෝකය හමුවේ පිතිකරුවන්ට පාරදිසයක් බවට පත්වන ඩුබායි තනතීරුවේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවීම තෝරාගැනීම සම්ප්‍රදායක් වන් තත්වයකදි, කාසියේ වාසිය දිනූ පකිස්ථාන නායක සල්මන් අගා, සියල්ලන් මවිතයට පත් කරමින් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. ඔහුගේ තීරණය කෙතරම් දෝෂ සහිතදැයි පසක් කරමින් ඉන්දීය කණ්ඩායම ඉතා පහසුවෙන් පකිස්තාන පිතිකරු බල ඇණියේ කොඳු නාරටිය බිඳ දමා නියමිත පන්දුවාර 20 අවසානයෙදි පකිස්ථාන ඉනිම ලකුණු 127 කට සීමා කළේ කඩුළු 9ක්ම බිඳ දමමින්ය. පකිස්ථාන අංක 9 පිතිකරු ෂයින් ෂා අෆ්රිඩි පන්දු 16කදි නොදැවී රැස් කළ ලකුණු 33 නොවන්නට ලකුණු සියයේ සීමාව තරණය කිරීමද පකිස්ථානයට සිහිනයක් විය.

පිළිතුරු ඉනිම අරඹමින් පකිස්ථාන පන්දුයවන්නන් පිටිය මැද අසරණ කළ ඉන්දිය ආරම්භක පිතිකරුවන් දියත් කළ හරඹයෙන් සාර්ථක පදනමක් දමාගත් ඉන්දියාව ජයග්‍රාහි ඉලක්කය පසු කළේ ඉනිමේ තවත් පන්දු 25ක්ම ඉතිරිව තිබියදීය. ජයග්‍රාහි ලකුණ වාර්තා කරමින් නායක සූර්යකුමාර් යාදවුගේ පිත්තෙන් මිඩ්විකට් කලාපයට ඉහළින් එල්ල කළ දැවැන්ත හයේ පහර තරගය පුරාම ඉන්දීය කණ්ඩායම රඳවාගත් ආධිපත්‍යය පිළිඹිබු කරන සංකේතයක් විය.

ඉන්දීය – පකිස්තාන ක්‍රිකට් සංග්‍රාමය

ලෝකය පුරා විවිධ ක්‍රීඩාවලදි රටවල් අතර සම්ප්‍රදායිකව එකිනෙකාට නොදැවෙනි ලෙස උපරිමයෙන් තරග වදින සංග්‍රාමයන් බොහෝමයකි.
පාපන්දු ක්‍රීඩාවේදි; ආජන්ටිනාව සහ බ්‍රසීලය, ප්‍රංශය සහ ඉතාලිය, ස්පාඤ්ඤය සහ පෘතුගාලය
රග්බි ක්‍රීඩාවේදි; ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය, එංගලන්තය සහ ප්‍රංශය
අයිස් හොකී; කැනඩාව සහ එක්සත් ජනපදය
ඔලිම්පික් තරගවලදි; රුසියාව සහ එක්සත් ජනපදය
ක්‍රිකට්; එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව… එවැනි එකිනෙකා පරයමින් උද්වේගකාරි ලෙස තරගවදින ඉසවුවලට නිදසුන්ය.

ඵෙතිහාසික එදිරිවාදිකම්, රාජ්‍යතාන්ත්‍රික දේශපාලන මතභේද මතින් උණුසුම් ආවේගශිලි තරගඟ විලාසයක් එවැනි කණ්ඩායම් තරග වදිනවිට ක්‍රීඩාවට එකතු වේ. සිය දේශයේ අභිමානය ඉහළින් තබා එලෙස කණ්ඩායම් තරග වදිද්දී සමස්ත ක්‍රීඩා ලෝකයේම අවධානය ඉසවුව්වට යොමුවන අතර, එය ක්‍රීඩාව තව තවත් විචිත්‍රවත් කරවන, තරඟකාරිත්වය ඉහළ දමන මොහොතක් ලෙස හඳුනා ගනී.
ඉහත සඳහන් කළ සියළු සංග්‍රාමයන්ට ඉහළින් ඉන්දු-පකිස්ථාන් ක්‍රිකට් සටහන් වෙයි. පකිස්ථානය, ඉන්දියාවෙන් බෙදී ගිය දා සිට ඇරඹි මේ සංග්‍රාමයේ විටෙක පකිස්ථානයද, විටෙක ඉන්දියාවද පෙරමුණ ගත්තේය. ඉන්දු-පකිස්ථාන තරඟවලට ඇති උද්වේගකාරී උනන්දුව ව්‍යාපාරික අවස්ථාවක් ලෙස හඳුනාගත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය අයිසීසී ක්‍රිකට් තරඟාවලි වලදිදී ඔවුනොවුන් අතර තරඟයක් අනිවාර්යයෙන්ම තරඟ කාලසටහනට එකතු කිරීමට වගබලා ගන්නේය.
කෙසේ නමුත්, පිටිය මැදදී පසමිතුරන් ලෙස ක්‍රීඩා කලද තරඟාවසානයේදී එකිනෙකාට සුභ පතමින් ක්‍රීඩාවේ හරය පවත්වා ගැනීමට ක්‍රීඩකයින් හැමවිටම සමත් වූවෝය. ක්‍රීඩාවේ ජීවය ජය-පරාජය එක ලෙස විඳ දරාගැනීම බව ලෝකයට කියා දුන්නෝය.

ආසියා කුසලානයේ ඉන්දු-පකිස්තාන ඇල්මැරුණු උද්යෝගය

2025 ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියට කණ්ඩායම් අටක් සහභාගි වන අතර එහිදී ඒ කාණ්ඩයට පකිස්ථානය සහ ඉන්දියාව එක් කරන්නේ උණුසුම් ප්‍රේක්ෂක අවධානයක් බලාපොරොත්තුවෙන් බව අමුතුවෙන් කිව යුතු නැත.
පෙර තරඟාවලි වලදී මෙන් මෙවර ඉන්දු-පකිස්තාන තරඟයට බලාපොරොත්තු වූ තරමේ ප්‍රේක්ෂක ආකර්ශණයක් නොළැඹුනු අතර, වෙනදා තරඟයට සති කිහිපයකට පෙර උණු කැවුම් සේ නැරඹීමේ ප්‍රවේශපත්‍ර විකිණී අවසන් වන නමුත් ඊයේ තරඟය ඉතා අසාමාන්‍ය ලෙස හිස් ආසන රැසක් ඉදිරියේ පැවැත්විණි.
එක්සත් අරාබි එමීරයේ පවතින අධික උෂ්ණත්වය ඊට හේතු වූ බව පැවසුනද, පසුගිය මැයි මාසයේ පැවැති ඉන්දු-පකිස්ථාන යුද ගැටුම හේතුවෙන් විශේෂයෙන් බොහෝ ඉන්දීය ප්‍රේක්ෂකයින් තරඟය නැරඹීම වර්ජනය කළ බව බහුතර අදහස විය.

අවලස්සන අවසානය

තරඟය ඉතා පහසුවෙන් ජයග්‍රහණය කළ ඉන්දිය නායක සූර්යකුමාර් යාදව් තම සහායක පිතිකරු ෂිවම් ඩුබේ සමඟ පිටියෙන් ඉවත් වූයේ පකිස්තාන පන්දු රකින්නන්ගේ මුහුණවත් නොබලාය. ඉන් අනතුරුව සම්ප්‍රදායිකව තරඟයක් අවසානයේ දෙපිළේ ක්‍රීඩකයින් සහ කළමණාකාරිත්වය එකිනෙකාගේ අතට අත දී සුබ පැතීම සිදුවිය යුතු නමුත්, ඉන්දීය ක්‍රීඩකයින් හෝ කළමණාකාරිත්වයේ කිසිවකු පකිස්තානුවන් මුණ නොගැසීමට වගබලා ගත්තෝය.
තරගයේ ත්‍යාග ප්‍රදානෝත්ස්වයේදි අදහස් දැක් වූ ඉන්දිය නායක සූර්යකුමාර් යාදවු;
“පහල්ගම් ත්‍රස්තවාදි ප්‍රහාරයේ” වින්දිතයින් සමග අපි සිටගන්නෙමු. අපි අපගේ සහයෝගීතාව ප්‍රකාශ කරමු. අද ජයග්‍රහණය සිය නිර්භීතබව ප්‍රදර්ශණය කළ අපගේ සියළුම හමුදා බලමුළු වෙත පිළිගන්වන්නෙමු. ඔවුන් දිගටම අප සියල්ලන්ම දිරිගන්වනු ඇතැයි බලාපොරොත්තු වන අතර, අපට අවස්ථාවක් ලැබෙන හැම මොහොතකම ඔවුන්ගේ මුවගට සිනහවක් කැන්දන හේතු රැසක් පිටිය තුලදි ලබා දෙන්නෙමු.” ලෙස පවසා සිටියේය.

2022 අප්‍රේල් 22වැනිදා, ජම්මු කාශ්මීරයේ සංචාරක ගමනාන්තයක් වන පහල්ගම්හි, බයිසාරම් නිම්නයේදී දේශීය ඉන්දීය සංචාරකයින් 26 දෙනෙක් ත්‍රස්ත්‍රවාදීන් විසින් වෙඩි තබා ඝාතනය කෙරිණි.
පකිස්තාථානු නායක සල්මන් අඝා තරඟය පිළිබද අදහස් පළ කිරීමට නොපැමිණියේය.
ඉතිහාසය පුරා ඉන්දීය-පකිස්ථාන දේශපාලන එදිරිවාදිකම් කොතෙක් තිබුනද, ඒවා ක්‍රීඩා පිටියට කැඳවා ගෙන නොඒමට දෙපාර්ශවයේම ක්‍රීඩකයින් සහ කළමණාකාරිත්වය වගබලා ගත්තෝය. ක්‍රීඩාවට එම අවබෝධය එක් කළ වටිනාකම අතිමහත්ය. 1996 ක්‍රිකට් ලෝක කුසලානයට පෙරාතුව ශ්‍රී ලංකාවේ බෝම්බ පුපුරායාම හේතුවෙන් ඔස්ට්‍රේලියානු සහ කොදෙව් කණ්ඩායම් ශ්‍රී ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කළ විට ඉන්දු-පකිස්ථාන ඒකාබද්ධ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ ප්‍රදර්ශණ තරඟයක් පවා ක්‍රීඩාකිරීමට අත්වැල් බැඳ ගත්තෝය.
ගතවූ දශක දෙකක පමණ කාලයෙදී ඉන්දු-පකිස්තාථාන ක්‍රිකට් සමගිය බිඳ වැටෙන සලකුණු බොහෝ සටහන් වූ නමුත් (පකිස්තානුවන්ව අයි.පී.එල් තරඟවලට තෝරා නොගැනීම, කණ්ඩායම් දෙක සිය මවුරටවලදි තරඟ නොවැදීම, ක්‍රීඩා පිටිය තුල දෙපාර්ශ්වයේ ක්‍රීඩකයින් අතර වාග් ගැටුම්…) කිසිම විටෙක අවසානයයේදී ක්‍රීඩාවේ ජීවයට හානියක් නොකළේය.

මේ සටහන් වන්නේ මහත්මා ක්‍රීඩාවක අවසානයද?

ක්‍රීඩාව යනු තරඟවැදීම පමණක් නොවේ. එය අපට අපවම අභියෝගයට ලක්කරමින් වැඩෙන්නට අත්වැල සපයන්නේය. ක්‍රීඩාවේදි අපි සීමා බිඳ ලන්නෙමු. විනයගරුක වන්නෙමු. අනෙකා සමග සබඳතා ගොඩනගා ගන්නෙමු. ජයග්‍රහණය නිහතමානීවත්, පරාජය ධෛර්යවන්තවත් දරා ගැනීමට ක්‍රීඩාව අපට උගන්වන්නේය. ශක්තිමත් සිරුරක් සේම ශක්තිමත් මනසක් නිර්මාණය කර දෙන්නේය. ක්‍රීඩාව අපිට තරඟ වැදීමේ සතුට කැඳවන අතර කණ්ඩායම් හැඟීමේ බලය වටහා දෙන්නේය. සියළු අභියෝගයන් හමුවේ වඩාත් හොඳ මිනිසකු වීමේ වටිනාකම පසක් කරදෙන්නේය.
ඊයේ දිනයේදි විශේෂයෙන් ඉන්දිය කණ්ඩායම ක්‍රීඩාව තුලින් අප හදුනාගන්නා ඒ සියළු යහගුණයන් අළුයම ලූ කෙළ පිඩක් සේ ඉවත දමා අතිශයින් අවලස්සන දිශානතියක් වෙත ක්‍රීඩාව ධ්‍රැවීකරණය කරන බව පෙන්වා දුන්නෝය.
මේ ගැයෙමින් තියෙන්නේ බොහෝ ක්‍රීඩා ලෝලින්ගේ විශේෂයෙන්ම දකුණු ආසියාතිකයින්ගේ ජීවිතවල කොටසක් වූ ක්‍රිකට් ක්‍රීඩාවේ හංස ගීතය නොවේද?

NEXT WATCH පිටුවෙනි
Social Sharing
අවකාශය නවතම විශේෂාංග