නිල ඇරයුමක් නොමැතිව එංගලන්තයට යාමෙන් රජයට පාඩු සිදු කල බවට කෙරෙන පරීක්ෂණය සදහා හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) අපරාධ පරීක්ෂණය දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට ඉහත දී හිටපු ජනාධිපතිවරයාගේ ලේකම් සමන් ඒකනායක, පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීන්ගේ සහ ආරක්ෂක ප්‍රධානීන් කීහිපදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබා ගෙන තිබිණි.
මේ අතර, 9 වැනි පාර්ලිමේන්තුව නියෝජනය කළ, දූෂණ චෝදනා එල්ලවී ඇති මැති ඇමතිවරුන් 20 කට වැඩි පිරිසක් එම කාල සීමාවේදී පාර්ලිමේන්තුවෙන් ලබාගෙන ඇති දීමනා හා වරප්‍රසාද සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන කණ්ඩායම් කිහිපයක් පාර්ලිමේන්තුවට ගොස් මේ දිනවල විශේෂ විමර්ශනයක් පවත්වමින් සිටින බව වාර්තා වේ.
එම මැති ඇමතිවරුන් සන්තකයේ ඇති වත්කම් පිළිබඳව තහවුරු කරගැනීම මෙම විමර්ශනයේ අරමුණ බව ආරංචි මාර්ග සඳහන් කළේය. අල්ලස් කොමිෂන් සභා විමර්ශන කණ්ඩායම් මේ තොරතුරු ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු සභා ලේඛන කාර්යාලයේ සහ මන්ත්‍රී සේවා කාර්යාංශයේ ද සහාය ලබාගෙන ඇත.
පාර්ලිමේන්තු නිලධාරීන්ගේ සේවය ලබා ගැනීමේ පහසුව සැලකිල්ලට ගෙන මෙම කණ්ඩායම් එම තොරතුරු රැස්කිරීම කරන්නේ පාර්ලිමේන්තුවේ රැස්වීම් නොමැති දිනවලදීය.
