ළමයින්ට ශාරීරික දඩුවම් දීම හරහා ඔවුන්ව යහමගට ගත හැකි බව අපගේ සමාජයේ පවතින ප්‍රචලිත මතයකි.
දීර්ඝකාලීනව මෙම අදහස මනෝ විද්‍යාත්මක සහ අධ්‍යාපනය සම්බන්ධ අධ්‍යයන මගින් අභියෝගයට ලක් වී ඇත. එමෙන්ම, මෙය මේ වන විට ලංකාවේ සාමාන්‍ය නීතිය යටතේ දඩුවම් ලබාදිය හැකි වරදක් යටතටද ගැනේ. එය සැලකෙන්නේ ළමා හිංසනයක් ලෙසටය. ලෝක ළමා ප්‍රඥප්තියට අනුවද මෙය ළමා අයිතිවාසිකම් කඩ කිරීමකි. එහෙත් තවමත් ළමුන්ට දෙමාපියන් සහ ගුරුවරුන් විසින් පහරදීම සුලබව සිදු වෙමින් පවතී.
ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වය දරණ රාජ්‍යයකි. එමෙන්ම ශ්‍රී ලංකාව 1990 වසරේදී එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට අත්සන් කලේය. පහත දැක්වෙන්නේ ළමුන්ට ශාරීරික දඩුවම් දීම පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශාරීරික දඩුවම් හරහා ළමයින් තුළ හානිකර මානසික සහ ශාරීරික ප්‍රතිචාර ඇති කරණ බව පැහැදිලිව ප්‍රකාශ කර ඇත. එමෙන්ම, මෙම පහරදීම් මගින් දරුවන් තුළ වේදනාව, බිය, දුක, කෝපය, ලැජ්ජාව සහ වරදකාරීත්වය ඇති කරන බව ඔවුන් පවසයි. එපමනක් නොව ශාරීරික දඩුවම් දීමෙන් ළමයින් තුළ අනතුරක් පිළිබඳ තර්ජනයක් ඇති කරණ බවත් එය විසින් අනතුරක හැගීමක් සමඟ කටයුතු කිරීම සදහා ඔවුන්ගේ ශරීරයේ ඇති ස්නායු මාර්ග සක්‍රීය කරන බවත් ඔවුන් පවසයි.
මෙනිසා ශාරීරිකව දඩුවම් ලබා ඇති දරුවන් තුළ ආතතීන් සදහා අධි හෝමෝන ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරන බවත්, ඔවුන්ගේ ස්නායු පද්ධති, හෘදවාහිනී සහ පෝෂණ පද්ධති වැනි ජීව විද්‍යාත්මක පද්ධති පීඩනයකට ලක් වී ඇති බවත්, මොළයේ ව්‍යුහයේ සහ ක්‍රියාකාරීත්වයේ වෙනස්කම් පෙන්නුම් කරන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය මතුකරන තවත් වැදගත් කරුණක් නම් සුළු දඩුවම් දීම විසින්ද පහරදීම වැනි දරුණු අපයෝජනයකදී මොළයට වන බලපෑමට සමාන බලපෑමක් සිදු කරණ බවයි. මෙය සුළු දඩුවම් දීම එතරම් හානිකර නොවේයැයි පවතින ප්‍රචලිත තර්කය යටපත් කරණ අදහසකි. පර්යේෂණ ගණනාවක් මගින් ශාරීරික දඩුවම් විසින් ළමුන්ට කෙටි කාලීන සහ දිගු කාලීන ඉතාමත් ඍණාත්මකවන ප්‍රතිඵල ඇති කරණ බව පෙන්වා දී ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

පහත දැක්වෙන්නේ එසේ සිදුවිය හැකි කෙටිකාලීන සහ දීර්ඝ කාලීන ගැටළුය.
- සෘජු ශාරීරික හානි සිදුවීම, දිගු කාලීන ආබාධිත තත්වයන්ට පත් වීම, මරණය පවා සිදුවීමට හැකියාව
- වැඩිහිටි කාලය කරා ඇදී යා හැකි මානසික ගැටළු – කාංසා ආබාධ, මානසික අවපීඩනය, බලාපොරොත්තු සුන්වීම, අඩු ආත්ම අභිමානය, ස්වයං-හානිකර ගැනීම සහ සියදිවි නසාගැනීමේ උත්සාහයන්, මත්පැන් සහ මත්ද්‍රව්‍ය මත යැපීම, සතුරුකම සහ චිත්තවේගීය අස්ථාවරත්වය වැනි මානසික ගැටළු ඇති වීම.
- සංජානන සහ සමාජ-චිත්තවේගීය සංවර්ධනයේ ගැටළු, විශේෂයෙන් හැඟීම් පාලනය කර ගැනීමේ සහ ගැටුම් කළමණාකරණය කරගැනීමේ හැකියාවන්ගේ ගැටළු ඇති වීම.
- අධ්‍යාපනයේ ඇතිවන ගැටළු – පාසැල් හැරයාම්, අධ්‍යාපනික සහ වෘත්තීය සාර්ථකත්වයේ ගැටළු ඇතිවීම.
- සමාජ ගුණාංග අභ්‍යන්තරීකරණය කර ගැනීමේ ගැටළු සහ සමාජ විරෝධී හැසිරීම් වර්ධනය වීම.
- ළමුන් තුළ ආක්‍රමණශීලීත්වය වර්ධනය වීම.
- ප්‍රචණ්ඩකාරී, සමාජ විරෝධී සහ අපරාධකාරී හැසිරීම් සිදු කිරීම.
- ජීව විද්‍යාත්මක පද්ධතිවලට ඇති වන පීඩනය නිසා ශරීරයට වක්‍රව සිදුවිය හැකි හානි – වැඩිහිටිභාවය දක්වාම පවතින පිළිකා, මධ්‍යසාර ආශ්‍රිත ගැටළු, ඉරුවාරදය, හෘද වාහිනී රෝග, ආතරයිටිස් සහ තරබාරුකම වර්ධනය වීම වැනි ගැටළු.
- සමාජයේ පවතින ප්‍රචණ්ඩතාවයන් පිළිගැනීමට ඇති නැඹුරුව සහ එවැනි ප්‍රචණ්ඩ භාවිතාවන් භාවිතය වැඩි වීම.
- හානි වූ පවුල් සබඳතා.
මෙම කරුණු දීර්ඝකාලීන පර්යේෂණ මගින් පෙන්වා දී ඇති කරුණුය. එමෙන්ම රාජ්‍යයක් වශයෙන් ශ්‍රී ලංකාව ළමුන්ගේ අයිතිවාසිකම් රැක දීමට බැදී සිටින සහ ඒවා ආරක්ෂා කිරීමට ප්‍රතිඥා දී ඇති රටකි.
තවදුරටත් ළමයින්ට ශාරීරික අඩුවම් දීම ළමයාගේ යහපත පිණිස සිදු කරණ දෙයක් බවට ඇති මිත්‍යාව කරේ තබා ගෙන යාම අප නැවැත්විය යුතුය. ළමයාගේ ජීවිතය යනු අපට හිතුමතයට හැදිගාන්නට ඇති හොද්දක් නොවේ. ළමයාගේ ජීවිතයේ අයිතිය ඇත්තේ ළමයා සතුවය.
තොරතුරු – WHO වෙබ් අඩවියෙන්.
Social Sharing
