මෙරට දේශපාලනය පිළිබඳ අවධානය යොමු කරනවිටදී, ආණ්ඩු පක්ෂය, විපක්ෂය ආදී විවිධ භූමිකා ඔස්සේ කවදත් දෙමළ, මුස්ලිම් ජාතිකයන් නියෝජනය කරන දේශපාලන පක්ෂ මඟින් දෙන දායකත්වය අතිවිශාලය. ඒ අනුව වත්මන් මුස්ලිම් කොංග්‍රසයේ ලේකම්වරයා ද වන විපක්ෂයේ කැපී පෙනෙන භූමිකාවක් නියෝජනය කරනු ලබන, පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පර් මහතා සමඟ අපි කාලීන දේශපාලන කරුණු කිහිපයක් ඇසුරින් මෙරට ඉදිරිය පිළිබඳ සාකච්ඡා කරමු.
ආණ්ඩුවේ වැඩපිළිවෙළ කොහොමද දකින්නේ ?
“ඒක හරි අමාරු, පුළුල් පරාසයක පැතිරෙන ප්‍රශ්නයක්. ඒකට උත්තර දෙන්න නම් මම ඒ හැම පැත්තක්ම දැනගන්න ඕනෑනේ. මං ඒ කියන්නේ ආර්ථික, දේශපාලන ආදිය ගැනයි. ඒ පිළිබඳ මට හසළ දැනුමක් නැහැනේ. ඉතින් මම හරියට පිළිතුරු දෙන්න බැරි දේ ගැන කවදාවත් කතා කරන්නේ නැහැ.”
ඒත් නීතිඥවරයකු විදියට වත්මන් යුක්තිය පසිඳලීම පිළිබඳ ඔබේ මතය ගැන කිව හැකියි නේද?
“ඒක මෙහෙමයි. මට ඒ ගැන ප්‍රශ්න තියෙනවා. හැබැයි, ආණ්ඩුවට යුක්තිය පසිඳලීම ගැන උනන්දුවක් තියෙනවා. ඒත්, එය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ අඩුපාඩුත් බොහොම තිබෙනවා. ඒ කිවුවේ, මෙරට ඉකුත් සිදුවීම් ගණනාවක්ම ඊට ඇතුළත්. අධිකරණය තුළදීත් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් කළානේ. ඒ හැරෙන්නට හිටපු පොලිස්පතිවත් පොලීසියම සෑහෙන කාලයක් තිස්සේ හෙව්වානේ, දැනුත් හිටපු සෞඛ්‍ය ඇමැති කෙනකු පමණක් නෙවෙයි, දේශපාලනඥයන් කිහිප දෙනකුත් දින ගණනාවක් තිස්සේ හොයනවානේ. ඉතින්, මේ ඇත්තටම සෙවීමක් ද? නැතිනම්, ‘ඩීල්’ එකක් ද කියන ප්‍රශ්නයත් මෙතැනදී ඉස්මතු වෙනවා. හැබැයි, සාමාන්‍ය මිනිහකුට ඒක එහෙම නැහැනේ. මම මේ කියන්නේ ඒ ඇල්ලූ හා අල්ලන්න හොයන අය හරි ද, වැරදි ද කියන එක නෙවෙයි, අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය ගැනයි.
පාස්කු ප්‍රහාරය, අබිරහස් අන්දමින් අධිකරණයේදී වෙඩි තබා මෑතකදී කළ ඝාතනය ආදියට අදාළව කටයුතු කෙරෙන්නේ නැත්තේ ඇයි කියන ගැටලුවත් මට තියෙනවා. මෙතැනදී අපිට පෙනෙන දෙයක් තමයි, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය අතින් ආණ්ඩුව පැත්තෙන් ලොකු ගැටලු තියෙනවා කියන එක. දැන් ඉන්න පොලිස්පති වුණත් පාසල් දරුවකුට දඬුවම් දුන්නු එක ගැනත් වෙනමම කතාවක් පවත්වනවා අපි දැක්කා. ඉතින් මෙතැන අවුලක් තියෙනවා.”
අන්තර්ජාතික වශයෙන් මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වාර්තාවෙන් පවා මෙරට ගැටලු රැසක් පෙන්වා දී තිබෙනවා. අතුරුදන් දෙමළ ජනතාවගේ ප්‍රශ්නය, පාස්කු ප්‍රහාරය, නීතිපති ගැනත් එහි සඳහන් වෙනවා. ඒත්, මෙරට ස්වාධීන අධිකරණ පද්ධතියක් සහ නීතියක් තිබෙනවා. හැබැයි, නීතිය ක්‍රියාත්මක කිරීමේදී බරපතළ ගැටලු දක්නට තිබෙනවා.”
සමහරු වංචා – දූෂණවලට හවුල් දේශපාලනඥයන්ට දඬුවම් දීම දේශපාලන දඩයමක් විදියට හඳුන්වනවා?
“මං එතැන නැහැ. දේශපාලන දඩයම කියන වචනය ඒකට පාවිච්චි කරන්න මං කැමැති නැහැ. හැබැයි, රජය බලය ඉල්ලන විටත් කියාගෙන ආවේ දේශපාලන බලය අතැතිව කළ අපරාධවලට එරෙහිව අධිකරණයේ නඩු පවරනවා කියලනේ. ඉතින් ඒ ක්‍රියාවලියේදී දැන් බලයේ සිටින ඇමැතිවරයකුට එරෙහිවත් අධිචෝදනා ගොනු කිරීමට නියමිත බවක් වාර්තා වෙනවා. ඒක හොඳයි. හැබැයි, එවැනි පුද්ගලයකුවත් අමාත්‍ය මණ්ඩලයේ තබාගෙන ආණ්ඩුව කරගෙන යනවා ද කියන ප්රශ්නයයි මෙතැනදී ලොකුම කරුණ වෙන්නේ. ඊට අදාළ ඇමැතිවරයා කැබිනට් සාමාජිකයකු නම් අධිකරණය ඉදිරියේ නඩු කටයුතු විභාග කෙරෙද්දී සාක්ෂිකරුවන්ට බලපෑමකින් තොරව කටයුතු කිරීමට ඉඩකඩ ලැබේදැයි කියන ප්‍රශ්නය මතු වෙනවා. පොලීසියටත් ස්වාධීනව සාක්ෂි මෙහෙයවන්න පුළුවන් ද කියන කරුණත් කැපී පෙනෙනවා.”
මුස්ලිම් ජනතාවගේ දිගුකාලීන ගැටලු විසඳිලා ද?
“ජාතිවාදය පදනම් කරගෙන, එහෙමත් නැතිනම් සිංහල, බෞද්ධ, දේශප්‍රේමී කියන වචනයට මුවා වෙලා, ඉකුත් කාලයේදී කටයුතු කෙරුණා. මේ ආණ්ඩුව යටතේ මැතිවරණ පැවැත්වීමේදී එය එසේ නොවීම ගැන අපිට ලොකු සතුටක් තියෙනවා. ඒත්, එහෙම කියූ පමණින්ම මේ ආණ්ඩුව මුස්ලිම් ජාතීන්ගේ ගැටලු විසඳීමට කටයුතු කර තිබේය කියා කිව නොහැකියි. නැඟෙනහිර පළාතට අය-වැයෙන් ආණ්ඩුව මුදල් වෙන් කළේ නැහැනේ. ඒකට හේතු විදියට කිවුවේ ඉන්දියානු රජයෙන් දෙන ආධාර ලැබෙන නිසා එය එහෙම කරන බවයි.
ඒ අනුව මං ඒ පිළිබඳ පැහැදිලි කරන්නැයි ආණ්ඩුවෙන් ප්‍රශ්න කළ විටදී දැනගැනීමට ලැබුණේ වර්ෂ 2023 වසරේදී පමණ රනිල් වික්‍රමසිංහ මහතා ජනපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේදී නිලධාරීන් හා එවකට සිටි ආණ්ඩුකාරවරයා පමණක් එක්ව අත්සන් කළ ගිවිසුමක් ගැනයි ඒ අය කිවුවේ.
ඒත් ඒක අය-වැය විමධ්‍යගත ලේඛනයෙන් අපට ලැබෙන දෙයකුත් නෙවෙයි. අනෙක ඒ එකම ව්‍යාපෘතියක්වත් දැන් ක්‍රියාත්මක තත්ත්වයේත් නෑ. ඒක එහෙම තිබියදී 2024, 2025දී මේ අය – වැය හරහාත් නැඟෙනහිර ජනතාවට මුකුත් ලැබුණේත් නැහැ. ඒක හරි අසාධාරණයි. මුස්ලිම් ජනතාව තුළ පලස්තීන ජනතාව සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය පිළිබඳත් එතරම් සතුටක් නෑ. එසේම, උතුරු නැඟෙනහිර මුස්ලිම් ජනතාවට දේශපාලන වශයෙන් ඇති බලය ගැන කියනවා නම් ඒ ඒ පළාත් සභා නියෝජනයට ජනතා කැමැත්ත තෝරා ගැනීමට ආණ්ඩුවේ මැදිහත්වීමෙන් මැතිවරණ පැවැත්විය යුතුයි. ඒත් තවමත් එහි ලකුණු පෙනෙන්නට නැහැ. මේ වසරේ පැවැත්වෙන බවක් අසන්නටත් නැහැ. මේ අනුව ආණ්ඩුව මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න විසඳන්න එතරම් උනන්දුවක් නොදක්වන බවයි කියන්න තියෙන්නේ. අනෙක, මේ කැබිනට් මණ්ඩලයේ මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන්න මුස්ලිම් නියෝජනයකුත් නැහැනේ. හැබැයි, මුස්ලිම් ජනතාව රජය බලයට එන්න ඡන්දය දුන්නා. ඒත් ඒ ගැනවත් කෘතවේදීත්වයක් ආණ්ඩුවේ නැහැනේ. ඒ අනුව සමස්තයක් විදියට ගත් විටදී අපේ ගැන බලනවා මදි.
ගොවිතැනට පහසුකම් ලැබී තිබෙනවා ද?
“විශේෂයෙන් නැඟෙනහිර මුස්ලිම් ජනතාවගෙන් බහුතරය ගොවියන්. මේ රජය පමණක් නෙවෙයි, ඕනෑම රජයක් කිවුවේ, ගොවියන් රජුන්ය කියලනේ. ඒත් ඒ ප්‍රශ්නය නැඟෙනහිරට පොදුවේ ඇති එකක්. ඉතින් පොදුවේ ජාතිභේදයකින් තොරව ගොවීන්ට පොදු ගැටලු තියෙනවා. සේනානායක සමුද්‍රය ආදී තැන් බොහොමයක ප්‍රතිසංස්කරණ ඉක්මනින් කළ යුතු තත්ත්වයේ තියෙනවා. ඒ ව්‍යාපෘති සඳහා වියදම් අධික වුණත් තවත් කල් නොයවා ආණ්ඩුවෙන් ඒ වැඩ කෙරෙන්න ඕනෑ.”
නීතිය යාවත්කාලීන විය යුතු තැන් ඔබ දකිනවා ද?
යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේදී නීතිය යාවත්කාලීන වීම අතිනුත් සකස් විය යුතු තැන් තිබෙනවා. ඒත් අනෙක් අතට නීතිය හදමින් ඒ අඩුපාඩු සකස් කිරීම පස්සේම යනවාට වඩා පවතින නීති ක්‍රියාත්මක කරගෙන, පවතින ගැටලු නිරාකරණය කර ගැනීම මේ මොහොතේ කෙටිකාලීනව වැදගත් වෙනවා. අනෙක, මෙරට ස්වාධීන අධිකරණ පද්ධතියක් තිබෙනවා. ආණ්ඩුව ස්වාධීන අධිකරණ පද්ධතියට මැදිහත් නොවීමේ තත්ත්වයක් පෙනෙන්නට තිබීමත් සතුටක්. ඒත් මේ ආණ්ඩුව යටතේ සැමට සාධාරණව නීතිය ක්‍රියාත්මක කෙරෙනවා ද කියන එකයි ගැටලුව.”

උතුරු, නැඟෙනහිර ඉඩම් අයිතිය ගැනත් කතාබහක් තිබෙනවා?
“ඉකුත් කාලයේදී මුලතිව් ඉඩම් ප්‍රශ්නය ගැන අපි කතා කළාට පස්සේ ආණ්ඩුව ඒක ඉල්ලා අස්කර ගත්තා. ඒ වගේම මේ රජය පැමිණීමෙන් අලුතින් ඉඩම් ප්‍රශ්නයක් ඇති වී ඇතැයි පෙනෙන්නටත් නැහැ. ඒත් මුස්ලිම් ජනතාවගේ පාරම්පරික ඉඩම් ප්‍රශ්නය ගැන මේ රජය අනිවාර්යයෙන්ම බලන්න ඕනෑ. එතැන හඳුනා ගත් ප්‍රශ්න හුඟක් වෙනවා. විශේෂයෙන් මුස්ලිම් ජනතාවට රජයෙන් දී ඇති ඉඩම් ප්‍රතිශතය ඉතා අඩුයි. රජය මෙයට වඩා ඉඩම් දිය යුතුයි. අපිටත් වඩා දෙමළ ජනතාවට ඉඩම් ප්‍රශ්නය උග්‍ර බවත් මෙතැනදී කියන්න ඕනෑ.
හර්තාලයක් ඉකුත්දා උතුරේදී සුළු කාලයක් පමණක් පැවතුණා නේද?
ඒක යුක්තිය පසිඳලීමේ ප්‍රශ්නයක්. හමුදාවේ නිලධාරීන්ගේ වැඩකටයුතු මුල් කරගෙනයි ඒ අය කරුණු මතුකරලා තිබුණේ. ඉතින් හමුදාවේ කඳවුරක් ඉවත් කරනවා කියලා ජනතාවට ඇවිත් එතැන අස්පස් කරලා, යකඩ, සුන්බුන් ඉවත් කරන්න එන්න කියනවා. ඊටත් පස්සේ සමහර විටදී ජනතාවට පහරදීම් ආදිය ගැනත් වාර්තා වෙනවා. ඒ කළයුතු වැඩකටයුතු නොකර නීතිය අතට ගෙන ආණ්ඩු ක්‍රියා කළ පරණ විදිය. ඒත්, ඒක විනයානුකූල කිරීමට මේ රජය ක්‍රියා කරලා තියෙනවා මදි. අපේ කනගාටුවට කරුණක් වෙලා තියෙන්නේ වත්මන් රජය මෙතරම් ප්‍රබල ජනවරමක් ඇතිව සිටියදී එය එසේ වීමයි. විශාල ප්‍රතිශතයක් හිමි පාර්ලිමේන්තුවක් මේ අයට තියෙනවා. හමුදා හා ආරක්ෂක අංශ හරහා උතුරු, නැඟෙනහිර කටයුතුවලට ආණ්ඩුවේ මැදිහත්වීම අඩුකම තමයි මෙයින් පෙනෙන්නේ. දෙමළ, මුස්ලිම් සිවිල් ජනතාව සකේතාත්මකව ඒකටයි ඉකුත්දා විරෝධය පළකළේ. ස්වාධීන පරීක්ෂණ පැවැත්වීම කෙරෙහි ආණ්ඩුව යොමු කරවීමයි එයින් ජනතාව අපේක්ෂා කළේ.
සංචාරක ව්‍යාපාරය උතුරු, නැඟෙනහිරට ආලෝකයක් ද?
සංචාරක ව්‍යාපාරය දියුණු වීම කියන්නේ මේ ආණ්ඩුවේ ප්‍රශංසාවට හේතුවක් නම් නෙවෙයි. මේක ලස්සන, සෞන්දර්යයෙන් පිරුණු රටක්. ඒත් පහුගිය කාලයේ විවිධ ප්‍රශ්න නිසා විදේශ සංචාරකයන් ආවේ නැහැ. ඒත් දැන් එනවා. ඉතින් දැන් ජනවරමක් එක්ක දේශපාලන ස්ථාවරයක් ආණ්ඩුව දිනා ගත්තානේ. හැබැයි, ඊශ්‍රායල් ජාතිකයන්ම නැඟෙනහිර ඇතැම් ප්‍රදේශවලට සංචාරකයන් විදියට එනවා නම් ඒ පසුපසින් එන්න පුළුවන් ප්‍රශ්න ගැනත් ආණ්ඩුව විමසිල්ලෙන් සිටීම වැදගත්.”
දෙමළ භාෂිත කවිය සහ සාහිත්‍ය උන්නතියේ වැදගත්කම ගැනත් සාහිත්‍යකරුවකු විදියට යමක් කිව හැකිද?
දෙමළ සාහිත්‍යයට කිසිම අවකාශයක් මෙරට රාජ්‍ය මාධ්‍යයේවත් නැහැනේ. ඒ සාහිත්‍ය පොත්පත් ගත් විටත් එය එසේමයි. රජය ඒ ගැන අවධානයක්වත් යොමු කර නැහැ. මෙතැන ආකල්ප ගැනත් ප්‍රශ්නයක් තියෙනවා. ඉන්දියානු කලාවේ විශිෂ්ටත්වය සහ ඊට ආකර්ෂණය වී සිටියදී මෙරට සුළු දෙමළ ජන කොට්ඨාසයට සාහිත්‍යය අතින් ඉදිරියට එන්න නම් විශේෂයෙන් රජයේ හා පරිත්‍යාගශීලීන්ගේ අතහිත ඒ කෙරෙහි යොමු කරන්නම ඕනෑ. පොදුවේ කියනවා නම් තවදුරටත් ඒ ගැන අවධානය යොමු කරන්න.”
දිනමිණ | නුවන් මහේෂ් ජයවික්‍රම
