2026 වසරේ සිට මෙරටින් අපනයන කරන සියලු ඇඟලුම් තීරු බද්දෙන් නිදහස් කිරීමට බ්‍රිතාන්‍ය තීරණය කරයි.

2026 වසරේ මුල සිට එක්සත් රාජධානියට අපනයනය කරන සියලු ඇඟලුම් නිෂ්පාදන සඳහා සම්පුර්ණයෙන් ම තීරු බදු සහනය ලබා දෙන බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව මෙතෙක් එම සහනය හිමි වූයේ, දකුණු ආසියාතික රටවල්වලින් ලබාගත් අමුද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කරන ඇඟලුම් නිෂ්පාදන සඳහා පමණක් වන අතර නව සහනය යටතේ ඕනෑම රටකින් ලබා ගත් අමුද්‍රව්‍ය ඇසුරින් නිෂ්පාදනය කරන ඇඟලුම් භාණ්ඩ සඳහා අවසර ලබා දීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබේ.

සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළෙඳ යෝජනා ක්‍රමය (developing countries trade scheme) යටතේ ලබා දෙන මෙම සහනය මගින් ශ්‍රී ලංකාවට අමතර වෙළඳ වාසියක් හිමි වන බව මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර ඇත.

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් සඳහන් කර ඇත්තේ, මෙම තීරු බදු සහනය මගින් ශ්‍රී ලංකාවේ ඇඟලුම් අංශයට සැලකිය යුතු ධනාත්මක බලපෑමක් ඇති කිරීමට ඉඩ ඇති බව ය.

Social Sharing
අවකාශය ආර්ථික