කාන්තාවකගෙන් වැඳ සමාව නොගත්තා යැයි උරණ වූ තංගල්ල පොලිසිය පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දෙයි.

පුද්ගලයෙකු විසින් කාන්තාවක් සමඟ බහින් බස් වීමේ සිද්ධියකට මැදිහත් වූ තංගල්ල පොලිස් නිලධාරීන් එම කාන්තාවට වැඳ සමාව ගන්නයි කියා පොලිසිය විසින් බලපෑම් කර ඇති අතර අදාල පුද්ගලයා එය ප්‍රතික්ෂේප කිරීමට උරන වූ පොලිසිය විසින් එම පුද්ගලයාට පොල්ලකින් පහරදී, කකුලකට හා තුනටියට හානි සිදුකර ඇත. මෙලෙස පොලිසියෙන් පහර කෑමට ලක්ව ඇත්තේ, තංගල්ල, නෙටොල්පිටිය, රැකව නැගෙනහිර, පොකුණු ගොඩ, යන ලිපිනයේ පදිංචි කෝකු හැන්නැදිගේ ප්‍රභාත් ප්‍රියන්ත යන පුද්ගලයාට වේ. මොහු විවාහක දෙදරු පියෙකු වන අතර ඔහුගේ දරුවන් දෙදෙනාම විවාහ වී, වෙන් වෙන් වශයෙන් ජීවත් වන අතර, බිරිඳ ද විදේශගතව ඇත. මොහු ධීවර කාර්මිකයකු වන බැවින් මොහු එක් දින ධීවර රැකියාව කරමින් තම නිවසේ තනිව ජීවත්වේ.

මොහුගේ නිවසට යාබද නිවසේ පදිංචි කාන්තාවක්, ඇයගේ නිවසේ ඇති කුණුරොඩු මොහුගේ නිවසට දමා මොහුගේ ඉඩම තුළ දිගින් දිගටම පුළුස්සා ඇත. මොහු විසින්ම මෙම තැනැත්තියට අවස්ථා කිහිපයක්ම තම ඉඩමේ තබා කුණු රොඩු පිලිස්සීම නොකරන ලෙස දැනුවත් කර ඇත. ඉකුත් අගෝස්තු දෙවන දා දහවල් කාලයේ මෙම තැනැත්තිය විසින් මොහුගේ ඉඩම තුල නැවතත් කුණු රොඩු පිලිස්සීම සිදු කර ඇත. එයට උරණ වූ ප්‍රභාත් ප්‍රියන්ත, වහා ගොස් මෙම තැනැත්තියට දැඩි සේ චෝදනා කරමින්, බැණ වැදී ඇත. ඉන් අනතුරුව ප්‍රභාත් ප්‍රියන්ත විසින් තම නිවසේ දොරවල් වසාගෙන නිවස තුළට වී නිදයගෙන සිට ඇත. එදින පස්වරු 05.00 ට පමණ, තංගල්ල පොලිසියේ පොලිස් නිලධාරීන් තිදෙනෙකු, මෙම නිවසට පැමිණ, නිවසේ පිටුපස දොර කඩා,නිවසට අයුතු ලෙස ඇතුළු වී, ප්‍රභාත් ප්‍රියන්ත අත්අඩංගුවට රැගෙන, යාබද නිවසේ පදිංචි එම කාන්තාවගේ නිවස ඉදිරිපිට පාරට රැගෙන ගොස්, ඇයගෙන් ප්‍රසිද්ධියේ වැඳ සමාව අයිදින ලෙසට පොලිස් නිලධාරීන් කියා ඇත, එය ප්‍රතිශේප කළ ප්‍රභාත් ප්‍රියන්තට, පොලිස් නිලධාරීන් විසින් අසභ්‍ය වචනයෙන් බැණ වැදී, මත්ද්‍රව්‍ය දමා 54 ගහනවා කියා ප්‍රකාශ කරමින්, පොල්ලකින් ඔහුගේ කකුලට තුනටියට පහර දී ඇත. පහර කෑමට ලක් වූ ‍ප්‍රභාත් ප්‍රියන්ත සිහිසුන්ව ඇද වැටී ඇත. අනතුරුව පොලිස් නිලධාරීන් විසින් මොහුගේ සිහිය රැගෙන ඇති අතර මොහුට නිවසට යන ලෙස දන්වා මුදාහැර ඇත.

                

          පහර දීම් සමඟ සිදුවූ තුවාල හා තැලීම්

පොලිස් නිලධාරීන්ගේ පහර කෑමට ලක් වූ ප්‍රභාත් ප්‍රියන්ත එදින තංගල්ල මූලික රෝහලට ඇතුළත් වීමෙන් අනතුරුව නේවාසික ප්‍රතිකාර සඳහා නතර කරගෙන ඇත.
මෙම සිද්ධියට අදාළව ‍ප්‍රභාත් ප්‍රියන්ත විසින් රෝහල් පොලිසියට දෙන කට උත්තරයකට අනුව අගෝස්තු හය වන දා තංගල්ල පොලිසියේ විවිධ පැමිණිළි අංශය වෙත මොහු කැඳවා ඇත. එහි ස්ථානාධිපති විසින් එය ගොඩින් බේරා ගන්න ලෙසට මොහුට යෝජනා කර ඇති අතර මොහු විසින් ප්‍රකාශ කර ඇත්තේ, මෙතරම් දෙයක් සිදුව තිබියදීත් කොහොමද ගොඩින් බේරන්නේ කියා, අනතුරුව ස්ථානාධිපති විසින් ප්‍රකාශ කර ඇත්තේ, එසේ නම් ඔහුට කරන්න දෙයක් නොමැති බවත්, පොලිසියට විරුද්ධව රාජකාරි කරන්න ඔහුට නොහැකි බව ප්‍රකාශ කළා යැයි, ප්‍රභාත් ප්‍රියන්ත විසින් අප සමග කියා සිටීහ.

මේ වන විට ‍ප්‍රභාත් ප්‍රියන්ත විසින් පොලිස්පති, පොලිස් කොමිසම, මානව හිමිකම් කොමිසම ඇතුළු වග කිවයුතු සියලු ආයතන වෙත ලිඛිතව පැමිණිලි කළ බව වැඩිදුරටත් අප සමග කියා සිටියේය.

 

තරංග එල්. පටබැඳිගේ 

Social Sharing
අවකාශය නවතම