
අවේලාවේ ආහාර ගනිමින් සිටි නව වැනි ශ්‍රේණියේ පාසල් සිසුන් කිහිපදෙනෙකුට එම පාසලේ විදුහල්පතිවරයා අමානුෂික ලෙස පහර දුන් සිද්ධියක් කන්තලේ ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ කන්තලේ අග්‍රබෝධි විද්‍යාලයේ නව වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් කිහිපදෙනෙකි.
ඉකුත් ජූලි මස 28 වනදා නිසෙල් නේකවිරු නම් සිසුවා පාසලට උදෑසන ආහාරය ලන්ච් ෂීට් එකක රැගෙන පැමිණ ඇති අතර ඔහුගේ පන්තිභාර ගුරුවරිය ඔහුගේ මවට දුරකථන ඇමතුමක් ලබා දෙමින් පවසා ඇත්තේ එලෙසින් ලන්ච් ෂීට් එකක ආහාර රැගෙන ආ ඇයගේ පුතාව විදුහල්පතිවරයාට හසුවූ බවත් ඒ සම්බන්ධව සාකච්ඡා කිරීමට එම මවට පාසලට පැමිණෙන ලෙසයි. ඒ අනුව අංශ භාර ගුරුවරයා පවසා ඇත්තේ මින් ඉදිරියට එලෙස ලන්ච් ෂීට් එකක දරුවාගේ ආහාර නොඑවන ලෙසයි. එම මව නැවත නිවසට පැමිණ ඇති අතර පාසල් නිමාවීමෙන් පසුව නිසෙල් නිවසට පැමිණ තිබේ.
පසුව නිවසට ආ එම සිසුවා පැනඩෝල් බී නිඳාගෙන ඇති අතර අවදි වූ පසු ඔහු පවසා ඇත්තේ ඔහුගේ ඔළුවත්, වම් කණත්, කණ පිටුපස වන්නට බෙල්ලත් රිදෙන බවයි. ඒ අනුව සිදුකළ ප්‍රශ්න කිරීම් අනුව එම මවට දැනගැනීමට ලැබී ඇත්තේ මෙම සිදුවීමත් සමඟ ඔහුට විදුහල්පති පහර දුන් බවයි. ඒ අනුව එදින නිසෙල් සිසුවාගේ වෙනත් පන්තියක ඉගෙනුම ලබන ඔහුගේ මිතුරෙකු පන්තියට පැමිණ නිසෙල් නැමැති සිසුවාගේ උදෑසන ආහාරය ඉල්ලාගෙන ඇති අතර එම ආහාරය ඉල්ලාගත් සිසුවා ඇතුළු තවත් මිතුරන් පස් දෙනෙකු සමඟ ඔවුන්ගේ පන්තියේ ගුරුවරයෙක් නොමැති නිසාවෙන් පන්තියෙන් පිටත පැමිණ ගලක් මත සිට එම ආහාරය රැගෙන ඇත. එම අවස්ථාවේ ඔවුන්ගේ පන්තිභාර ගුරුවරිය ඔවුන්ව එම ස්ථානයෙන් නැවත පන්තියට රැගෙන ගොස් ඇති අතර ඒ පසුපස ආ විදුහල්පතිවරයා එම සිසුන්ට පන්තියෙන් පිටතට රැගෙන අතින් සහ පයින් පහර දී ඇත. පසුව ඔවුන් ආහාර ගත් ස්ථානයට නැවත රැගෙන ගොස් ඔවුන්ව දණ ගස්වා ඇති අතර ආහාරය රැගෙන ආ සිසුවා කවුද යැයි විමසා ඇත. එවිට එම සිසුන් පිළිතුරු ලබා නොදී ඇති අතර එවිට නැවත එම ස්ථානයේ සිටි සිහින නැමැති සිසුවාගේ කණට පහර දී ඇති අතර එම නිසාවෙන් ඔවුන් ආහාර රැගෙන ආ සිසුවාගේ නම හෙළි කොට ඇත. ඉන් අනතුරුව විදුහල්පතිවරයා නිසෙල් සිසුවාව එම ස්ථානයට කැඳවා ඇති අතර එම සිසුවා සමඟ ඔහුගේ තනියට තවත් සිසුවෙක් පැමිණ ඇත. එවිට එම සිසුන් දෙදෙනාටම විදුහල්පතිවරයා පහර දී ඇති අතර නිසෙල් සිසුවාට පළමු වරට කම්මුලට ගසා නැවත ඔහුගේ කම්මුලට පහර දීමට යෑමේ දී නිසෙල් සිය දෑත් වලින් මුහුණ වසාගෙන ඇත. එවිට “තෝ මොකද අත දාන්නේ” යැයි පවසමින් ඔහුගේ කමිස සාක්කුවෙන් අල්ලා ඔහුට නැවතත් කම්මුලටත් කණටත් පහර දී ඇත.
ඉන් අනතුරුව ඔහුගේ පන්තිභාර ගුරුවරියට එන ලෙස දන්වා එම සිසුන්ව දණ ගස්වා ඡායාරූප ලබාගෙන ඇති අතර පසුව 11 ශ්‍රේණියේ සිසුවෙකු කැඳවා ඔහුට පොල්ලක් රැගෙන එන ලෙස පවසා ඇත. එහෙත් එම ස්ථානයට කලාප කාර්යාලයෙන් විදුහල්පතිව මුණගැසීමට නිලධාරියෙක් පැමිණ ඇති අතර එම නිසාවෙන් ඔවුන්ට නැවත පහර දීමක් සිදු නොවී ඇත. පසුව එම ස්ථානයට ගෙන්වාගත් පන්තිභාර ගුරුතුමියට පවසා ඇත්තේ මෙම සිසුන්ගෙන් අවේලාවේ ආහාරගත් බව පවසා ලියුම් ලියාගන්නා ලෙසයි. ඒ අනුව මෙම සිසුන් විදුහල්පතිවරයා පවසා ඇති පරදි ලිපි ලියා දී තිබේ.
මෙම සිදුවීම හමුවේ නිසෙල් නැමැති සිසුවාව ඔහුගේ මව සේරුවාවිල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් පසුව ඔහුගේ කණ පරීක්ෂා කොට ත්‍රිකුණාමල රෝහලට ඇතුළත් කර ඇත. ඔහුගේ කණ පරීක්ෂා කළ වෛද්‍යවරයා පවසා ඇත්තේ ඔහුගේ කණ නොතෙමන ලෙසත් කණ තෙමුනොත් පැසවීමට හැකි බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙම දරුවාගේ මව මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිළි කර ඇති බවට වාර්තා වේ.
