
මූලික අයිතිවාසිකම් ගැන කතා කරන විට ශ්‍රියානි සිල්වා එරෙහිව ඉද්දමල්ගොඩ (SCFR – 471/2000)) නඩුව මග හැර යා නොහැකි මග සලකුණකි. ජීවත් වීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස පිලිගැනීමත්, ජීවත්වීමේ අයිතිය උල්ඝණය වීමක දී දෙවන පාර්ශවයකට නඩු පැවරීමට අයිතියක් ඇති බවට ලැබුන පිලිගැනීමත් නිසා මෙම නඩු තීන්දුව ඓතිහාසිකය, එසේම මූලික අයිතිවාසිකම් උල්ලංඝනයේ දී වග උත්තරකරුවන්ගේ පෞද්ගලික වගවීම පිළිබදවද අධිකරණය මෙහිදී දැක්වූ මතය මූලික අයිතිවාසිකම් වල ඉතා සාධනීය ඉදිරි පියවරක් විය.
මුලික අයිතිවාසිකම් පිළිබද ඉගැන්වීමේදී මේ නඩුව පිළිබද කතා කරන නිසා නීතිය හදාරන අප බොහෝ දෙනෙකු මේ නඩුව පිළිබද දැනුවත්ය. එහෙත් අප නොදන්නේ අමිතා ප්‍රියන්ති පිළිබදවයි. වසර 2000 දී පයාගල පොලිස් අත්තඅඩංගුවේ දී මියගිය ලසන්ත ජගත් කුමාර ගේ අයිතිවාසිකම් පිළිබදව මෙම නඩුව පවරා තිබුණි. මියගිය ලසන්ත දරුවන් හත් දෙනෙකුගේ පවුලක පස්වැනි දරුවා වන අතර අමිතා ප්‍රියන්ති ලසන්තගේ දෙවන සහෝදරිය විය. මෙම නඩුව පිටුපස සිටින දැවන්ත චරිතය ඇයයි.
ලසන්තගේ මරණය පිළිබද මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව ලැබුනත්, වසර 25 කට පසුව අදත් ඒ සම්බන්ධ මහාධිකරණ නඩුව විභාග වෙමින් පවතී, මෙම නඩුවේ අධිචෝදනා ගොනු වන්නේ වසර 13 පසුව වන අතර, නඩු විභාගය ඇරඹෙන්නේ වසර 17කින් පසුවය.
දැන් අමිතා ප්‍රියන්ති සිය ජීවිත කාලයෙන් වසර 25ක් සිය සහෝදරයාට යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් වැයකර ඇත. ශ්‍රියානි එදිරිව ඉද්දමල්ගොඩ නඩුව මෙන්ම, තවම විභාග වන මහාධිකරන නඩුව පිටුපස තිබෙන්නේ අමිතා ප්‍රියන්තිගේ මේ අසීමිත කැපවීමයි. වැදගත්ම දෙය නම් මේ ගෙවුන වසර 25 කාලයේ අමිතා කැපවූයේ තම සහෝදරයාට යුක්තිය ඉටුවීම කෙරෙහි පමණක් නොවීමයි. පොලිස් අත්අඩංගුවෙදී සිදුවන මනුෂ්‍ය ඝාතනයන්ට සහ වධහිංසාවන්ට එරෙහිව මෙන්ම ලංකාවේ නඩු ප්‍රමාදය පිළිබදවද අමිතා ඉතා සක්‍රීයව මැදිහත් වෙමින් කටයුතු කරයි. පොලිස් වධහිංසාවට ලක්ව දැන් අමිතාගේ රැකවරනය නිසා යුක්තිය ඉටු කරවා ගැනීමට ප්‍රවේශ වී සිටින පිරිස අති විශාලය. අපරාධ යුක්තිය ඉුටුකර ගැනීමේ ක්‍රියාවලිය පිලිබද අමිතා සතු නීතිමය සහ ප්‍රායෝගික දැනුම අති විශාලය. අමිතා ප්‍රියන්ති භාරය ලෙසින් දැන් ඇගේ සේවය යුක්තිය අහිමි ප්‍රජාවන් වෙත ලබා දෙමින් සිටි.
